සිරිසේනගේ කුමණ්ත්‍රණය ජය ගනී ෆොන්සේකාට නීතිය හා සාමය අහිමි වෙයි

ජනාධිපති සිරිසේන විසින් නීතිය හා සාමය අමාත්‍යධූරය එක්සත් ජාතික පක්ෂයේ රංජිත් මද්දුම බණ්ඩාරට ලබා දී තිබේ. රංජිත් මද්දුම බණ්ඩාර මේ වන විට රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යවරයා ලෙස ද ක්‍රියා කරයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ දූෂිතයන් සහ මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩු කරමින් සිටින රාජපක්ෂවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූෂිතයන් ව නීතිය හමුවට ගෙන ඒම වැලැක්වීම සඳහා ජනාධිපති සිරිසේන විසින් නීතිය හා සාමය අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට ලබා නොදීමට ස්ථීර ලෙස තීරණය කර ඇති බව අප වෙබ් අඩවිය විසින් පසු ගිය පෙබරවාරි 27 වැනිදා “නීතිය හා සාමය සරත් ෆොන්සේකාට අහිමි වෙයි ” යන ශීර්ෂ පාඨය යටතේ පළ කළ ප්‍රවෘත්තියෙන් එළිදරව් කළෙමු.

පසු ගියදා සිදු කැරුණු නව කැබිනට් සංශෝධනයට අනුව නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකා පත් කරන ලෙස එ. ජා. ප. ය විසින් ජනපති සිරිසේනට නිර්දේශ කර තිබුණු නමුත් සිරිසේන විසින් එය ප්‍රතික්ෂේප කැරුණි. එහෙත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොවිනි.

කැබිනට් සංශෝධනය සිදුවන අවස්ථාවේ දී සරත් ෆොන්සේකා දිවයිනෙන් බැහැරව සිටි අතර, නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍යවරයා වෙත පැවරුණි. එම පැවරීම තාවකාලිකව සිදු වූවක් බවත්, එය සරත් ෆොන්සේකාට ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් එ. ජා. පෙරමුණේ ප්‍රබලයන් වූ රාජිත් සේනාරත්න ඇතුළු බොහෝ දෙනා මාධ්‍ය හමුවේ කියා සිටියහ.

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ලබා දීමට සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු සිරිසේන පාර්ෂවයේ රාජපක්ෂවාදීන් මෙන්ම රාජපක්ෂවරු ද ප්‍රසිද්ධියේ විරෝධය පල කළහ.

යහපාලන ආණ්ඩුවේ ආරම්භයේ සිටම නීතිය හා සාමය අමාත්‍ය ධූරයත්, අධිකරණ අමාත්‍ය ධූරයත් එ. ජා. ප. යට හිමිවී තිබූ නමුත්, දූෂිත රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ඔවුන් ක්‍රියාත්මක නොවුනා පමණක් නොව දූෂිත රාජපක්ෂවරු නීතියෙන් ගලවා ගැනීමට තමන්ගේ අමාත්‍ය ධූරවල බලතල යොදා ගැනීමට ද ඔවුන් ක්‍රියා කළ ආකාරය රටේ ජනතාවට මනා සේ පැහැදිලි විය.

ඇවන්ගාඩ් නඩුවේ ප්‍රධාන සැකකරු වූ නිශ්ශංක සේනාධිනායක සමඟ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇමැරිකාවේ විනෝද චාරිකාවල නියැළුනු ආකාරය ඡායාරූප ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරනු ලැබුවේ ද සරත් ෆොන්සේකා විසිනි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවකු වූ එ. ජා. ප. යේ ඇතැමුන් රාජපක්ෂවරු බේරා ගැනීමට එදා ඩබල් ගේම් ගැසූ අතර, අද රාජපක්ෂවරුන් නීතියේ රැහැනින් බේරා ගැනීමට ඩබල් ගෙම් ගසමින් සිටිනේ ජනාධිපති සිරිසේන ය.

නීතිය හා සාමය අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට එ. ජා. ප. ය විසින් ජනපති සිරිසේනට වාචිකව හා ලිඛිතව අවස්ථා ගණනාවක දී දන්වා තිබුණ ද , සිරිසේන හා රාජපක්ෂවරු අතර පවත්වා ගෙන යන රහස් එකඟත්වය මත සිරිසේන විසින් නීතිය හා සාමය අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට ලබා නොදීමට ස්ථීර නිගමනයකට එළැඹ තිබිණ.

අප විසින් පසු ගිය පෙබරවාරි 27 වැනි දින අදාල ප්‍රවෘත්තිය පළ කරනු ලැබුවේ , 2020 දී නැවතත් ජනාධිපති පදවියට පැමිණීම වෙනුවෙන් රාජපක්ෂවරුන්ගේ සහාය ලබා ගැනීම උදෙසා රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති නීතිමය කටයුතු යටපත් කිරීමට හා අඩාල කිරීමට ජනපති සිරිසේන එකඟ වී ඇති හෙයින් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍ය ධූරය ලබා නොදීමට සිරිසේන විසින් ස්ථීර නිගමනයකට පැමිණ ඇති බවට ජනාධිපති කාර්‍යාලයට සම්බන්ධ ඉතා විශ්වාසදායක තොරතුරු අප වෙත ලැබුණු හෙයිනි.

ජනපති සිරිසේන විසින් නීතිය හා සාමය අමාත්‍ය ධූරය ලබා දී ඇති රංජිත් මද්දුම බණ්ඩාර යනු මීට කලකට පෙර දී එ. ජා. ප. ය තුළ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කිරීමට දියත් කළ රනිල් විරෝධී ව්‍යාපාරයක ප්‍රබල චරිතයකි.

තමන්ට පාලනය කළ හැකි පුද්ගලයෙකුට නීතිය හා සාමය අමාත්‍ය ධූරය ලබා දීම ජනාධිපති සිරිසේනගේ අභිප්‍රායා වී තිබුණි. රංජිත් මද්දුම බණ්ඩාරගේ ඉදිරි ක්‍රියා කලාපය අනුව ඒ බව ඉදිරියේ දී පැහැදිලි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *