ආසියානු කුසලාන තරඟාවලියට ක්‍රීඩකයන් තේරීමේදීත් කැපිල්ලක්

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ගේ පක්ෂග්‍රාහී ක්‍රියා කලාපය හේතුවෙන්, මෙවර පැවැත්වෙන ආසියානු කුසලතා සීමිත ඕවර් ක්‍රිකට් තරඟාවලියට සහභාගී විය යුතුව සිටි දක්ෂ ක්‍රීඩකයන් ගණනනාවකට එම අවස්ථාව අහිමි කොට ඇතැයි වාර්තා වේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම ආසියානු කුසලාන සීමිත ඕවර් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වීමට ක්‍රීඩකයන් 16 දෙනකු නම් කොට ඇති අතර, ඊට ලසිත් මාලිංග , දිල්රුවන් පෙරේරා සහ අමිල අෆොන්සු යන ක්‍රීඩකයන්ගේ නම් ද ඇතුලත් කර ඇත.

ලසිත් මාලිංග නැවත කණ්ඩායමට කැඳවා තිබීම වැදගත් කරුණකි.

පසුගිය දා පැවැත්වූ දකුණු අප්‍රිකානු සීමිත ඕවර් ක්‍රිකට් තරඟ සඳහා ක්‍රිඩා කර අසාර්ථක වූ ක්‍රීඩකයන් කිහිප දෙනකුද , මෙම ආසියානු කුසලාන සීමිත ඕවර් තරඟාවලිය සඳහා සහභාගිවන කණ්ඩායමට ඇතුලත් කිරීමට තේරීම් කමිටු සභාපතිවරයා ක්‍රියා කොට තිබීම පුදුම දනවන කරුණක් බව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වී තිබේ.

සීමිත ඕවර් තරඟ සඳහා දක්ෂ පන්දු රකින්නන් ඇතුලු දක්ෂ ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවයක් ඇති මොහොතක, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, ලහිරු තිරිමාන්න, වැනි ක්‍රිඩකයන්ට මෙම තරඟාවලියට සහභාගිවීමට ඇති අවස්ථාව අහිමි කොට තිබීම පුදුමය දනවන කරුණකි.

එසේම ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් තරඟාවලියේදි දක්ෂතා පෙන්වූ දිමුත් කරුණාරත්න මෙන්ම ශම්මු අශාන්, අසලංක වැනි නවක අය ද මෙම තරඟාවලිය සඳහා සහභාගිවන කණ්ඩායමට නම් කොට නොමැත.

තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝaයි විසින් සිදු කරන මෙම පක්ෂග්‍රාහී තේරීම් ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ව්‍යසනයක් අත්වෙමින් පවතින බව ක්‍රිඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *