සිරිසේන, ද්‍රෝහී සම්මුතියකට යෑමට සූදානම්

රුපියල දිගින් දිගට ම බාල්දු වීම, බඩු මිල දිගින් දිගට ම ඉහල යාම, මිනිමරුම් දිගින් දිගට ම ඉහල යාම , දුෂණය නොකඩවා මහා පරිමාණව සිදුවීම යනාදියට අමතර ව , ලෝකෙන් උතුම් රටට ම ගැලපෙන ආකරයේ අරුම පුදුම කුමන්ත්‍රණයක් සහ ඒ පිළිබඳ අරුම පුදුම විමර්ශණයක්  සිදු වීම යනාදී , යමකු ඔල්මොරොන්දම් කරනසුලු  දහසකුත් එකක් කරුණු මධ්‍යයේ ජීවත් වීමට මෙරට ජනතාවට තවදුරටත් සිදු ව ඇත.

ඒ මදිවාට, මේ සියල්ල විසඳිමේ කෝකටත් තෛලය , 2015 ජනවාරි 8 දා   දා  ජනතාව විසින් පා පහර දී බලයෙන් පහ කෙරුණ සහ ඉන් තදනන්තරව සිය බලලෝභීත්වය ඉවක් බවක් නැතිව මෙන් ම අතිශය නිර්ලජ්ජීත ව ලොවට ප්‍රදර්ශනය කරමින් සිටින මහින්ද රාජපක්ෂව යළි මහරජ පුටුවේ තැන්පත් කිරීම බැව් දොඩමින් පොහොට්ටුවෝ සිය අමනකම මහත් උජාරුවෙන් ලොවට ප්‍රදර්ශනය කරමින් සිටින්නාහ.

රට ජයෙන් ජයට පත් කිරීමේ මනෝරාජ්‍යමය යෝජනා, එකකට එකක් පසු ගෙනහැර පාමින් රනිල් වික්‍රමසිංහ විහිලු සපයද්දී , අනුන්ගේ කෙරුවාවල් තම පතට ම බෙදා ගැනීම ජන්ම පුරුද්ද්ක් කර ගෙන සිටින ජනාධිපති සිරිසේන, රනිල්ගේ ව්‍යාපෘති හරි ගිය හොත් ඒවායේ ගෞරවය තමාට සින්නක්කර ලියා  ගැනීම පිණිස  අටවා ගත් ඊනියා ආර්ථික සභාවට සහභාගී වන ලෙස  බන්දුල ගුණවර්ධන  ටියුෂන් ලොක්කාට විශේෂ ආරාධනයක් ද කරමින් මොවුන්ගේ විනෝද සමය තවත් පියවරකින් ඉදිරියට ගෙන ගියේ ය.

මෙහිලා පුදුම වීමට දෙයක් නැත.  ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස පාරම්බාමින් 1960 ජූලි මස  දී බලයට පත් සිරිමා බණ්ඩාරනායක , අයවැයක් පවා හරිහැටි සකසා ගත නොහැකි ව තම පක්ෂයේ මුදල් ඇමතිලා හතර දෙනෙකු ම (ෆීලික්ස් ඩයස් , සී.පී.ද සිල්වා, පී.බී.ජී. කලුගල්ල සහ ටී.බී.ඉලංගරත්න )  හතර ගාතෙන් වැටී සිටිය දී සමසමාජ පක්ෂයේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ව මුදල් ඇමතිකමට  කුලියට ගත්තේ ද මෙලෙස ම ය. වෙනසකට ඇත්තේ ඇය කුලියට ගත්තේ ආර්ථික විශාරදයකු වීමත් මොහු කුලියට ගන්නට යන්නේ ආර්ථික විද්‍යාඥයකු ලෙස වෙස් වළා ගත් ටියුෂන් කාරයකු වීමත්  ය .

ජනාධිපතිවරයා ම මුදල් ඇමති වූයේ නම් රුපියලට යන්නට තිබූ කලදසාව, ශිෂ්‍යත්ව විභාගයෙන් අඩුම ලකුණු ගත් ළමයා වුවත් ටක්කෙට ම කියනු ඇත.

මොවුනට  ආර්ථික කටයුතු  යනු , රාජ්‍ය ආදායම තම තමන්ගේ ඡන්ද පදනම් තවුරු කර ගැනීම සහ වැඩි කර ගැනීම සඳහා හිතෙන හිතෙන ආකාරයෙන් වියදම් කිරීමට ඉඩ ලබා දෙන  සහ දිය යුතු ආකරයකි. මේ ආකරයේ මුදල් තිබුණත් නැතත් ඔවුනට කම් නැත.මුදල් අච්චු ගැසීමත් ණය ගෙවා  අවසන් කරන බවට පම්පෝරි ගසමින් තව තවත් ණය කඳු ගොඩ ගැසීමත් මොවුන්ගේ ක්‍රමයයි.

දරුණු නියගයකින් දිගු කලක් තිස්සේ  ලක්ෂ සංඛ්‍යත ජනතාවක් පෙළෙමින් සිටිය දී ඒ ගැන වගේ වගක් නැති ව සිටි ජනාධිපතිවරයා , ජනපතිවරණය ආසන්න වත් ම නින්දෙන්  හිටි හැටියේ අවදි  වූවකු මෙන් ලෝස් නැති  ව මිලියන 9000ක් අත දිග හැර වෙන් කරවා ගත්තේ  ඒ අනුව ය.

මේ ඊයේ පෙරේදා එක් පාසලක උත්සවයක දී  තමා එම පාසලට රුපියල් ලක්ෂ 25 ක් තෑගි දෙන බව කියා සිටියේද ඒ අනුවම ය. රැකියා 20000ක් සඳහා අගමැතිවරයා ප්‍රතිපාදන වෙන් කළ  බව ඊයේ පෙරේදා නිවේදනය  කෙරුණේ ද ඒ අයුරින් ම ය. සජිත් ප්‍රේමදාස ඇතුළු අනික් උන්නැහේලා ද කටයුතු කරන්නේ මේ ආකාරයෙන් ම ය. රුපියලේ දරුණු බාල්දු වීම මධ්‍යයේ පවා මොවුන් කටයුතු කරන්නේ ද ඒ ආකාරයෙන් ම  ය.

මහින්ද රාජපක්ෂ අගමැති කළ විට ”ආසියාවේ  ආශ්චර්යය ” යළි ඇති වන්නේ ය යන ගොන් කතාව හැරුණ විට  ,රුපියලේ බාල්දු වීමේ  ප්‍රශ්නයට  කිසියම් ම විසඳුමක් පොහොට්ටුවන්ට නැත. රනිල් වික්‍රමසිංහ අන් ප්‍රශ්න සම්බන්ධ යෙන් මෙන් ම  මෙම ප්‍රශ්නයේදී ද අනුගමනය කරන්නේ කිසිදු ප්‍රශ්නයක් නැතිවක් මෙනි.

සිය පක්ෂයේ මන්ත්‍රී රොබෝලා,  කල් මැරීමේ සිය ක්‍රියාකලාපයට සහාය දෙන තාක් දුරට තමාට ප්‍රශ්නයක් නැති හෙයින් ,  රටට අඩුවකට තිබෙන අනෙක් අංශවල රොබෝලා පාවිච්චි කරන්නේ කෙසේ ද  යන්න සොයා  බැලීමට ඔහු මේ දිනවල නෝර්වේහි දී තදියම් වීම බෙහෙවින් ම සංකේතත්මක වේ.

ඔහුගේ කුප්‍රකට වයිෆයිය නවතාලිමට ක්‍රියා කළ පරිදි ම, ආර්ථිකයේ ප්‍රධාන තැන ගත යුත්තේ කෘෂි කර්මයය යන හංපඩ ගැහුණ  මෝඩ මතය හිස් මුදුනේ තබා ගෙන සිටින ජනපති සිරිසේන  නොර්වේ රොබෝලා හට ද  කෙළීම අනිවාර්ය  ය.

මීළග ජනපතිවරණයේදී ඇපත් රාජසන්තක වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන දැන් විවිධ සෙප්පඩ විජ්ජා  දමන්නේ, එක්කෝ  , පරණ පොදු අපේක්ෂකකම යළි සිය  කර මතට ගැනීමට ය; එයට ඇති ඉඩකඩ කොහෙත් ම නැති තරම් වන හෙයින්, රාජපක්ෂලා යළි බලයට පත් වුවහොත්  අඩි හයක් යට සදා  සැතපීමට වීමෙන් වැළකෙනු  පිණිස ඔවුන් සමග කිසියම් අන්ත ද්‍රොහී සම්මුතියකට යාමට ය. භරකාර ආණ්ඩු  සහ තවත් විවිධ උප්පරවැට්ටි ගැන කසුකුසු කුට්ටම් පවතින්නේ  ඒ අනුව ය.

මේ අතර ඇහැළියගොඩ වසලයා පමණක්  මොනයම් ක්‍රමයකින් හෝ සිය වහල් ස්වාමියා  වන මහින්ද  අගමැති පුටුවේ වැඩ සිටුවීමේ වීර්ය  පාරමිතාව පුරමින් සිටියි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට දැන් කාලය පැමිණ ඇතැයි මහරජ මහින්ද ඊයේ පෙරේදා  ප්‍රකාශ කළේත්, මෛත්‍රී -මහින්ද හොර සාකච්ඡා ගැන වාර්තා  පිට වාර්තා කලඑළි බහිමින් තිබෙන්නේත් තමාට ඡන්දය දුන් 62 ලක්ෂය පාවාදීමේ යෝධ පියවරක් තැබීමට අහවලා සූදානම්  බැව් ප්‍රකාශයට පත් කරමිනි.

ඔහු ඉන් වළක්වා ගැනීම පිණිස ඔහුට යළි පොදු අපේක්ෂකත්වය ලබා දීමේ කැරට් අලය යූ.ඇන්.පීයේ සමහර කෙරුමන් පෙන්වන්නට පටන් ගෙන ඇත්තේ ද මේ නිසා ය. මොවුන් මේ නෙයියාඩම් නටමින් සිටියදී, රටේ ප්‍රධාන ම දේශපාලන කර්තව්‍යය වන මේ හොර තුන් කට්ටුවට එරෙහි ව ධනේශ්වර-විරෝධී ක්‍රියා මාර්ගයක් මත කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාව බලමුළු ගැන්වීමට  කිසිදු පියවරක් රට තුළ දක්නට නොමැත.

මොවුන් එකෙකුටවත් , ජනතා ප්‍රශ්න විසඳීමේ හැකියාව කෙසේ වෙතත් අවශ්‍යතාවක්වත් නැත. මොවුන්ට රටේ ප්‍රශ්න යනු තම බලය රැක ගැනීම  හෝ තමන් බලයට පත් වීම හෝ සඳහා වන තුරුම්පු පමණි. එසේ තිබිය දී දේශපාලන වේදිකාව ඔවුනට සහ ඔවුන් පුම්බන ජරාජීර්ණ මාධ්‍ය හිමියන්ට භාර දී  සිටීම මහා අපරාධයකි.

ටී. අන්ද්‍රාදි

 

One thought on “සිරිසේන, ද්‍රෝහී සම්මුතියකට යෑමට සූදානම්

  • October 13, 2018 at 7:51 am
    Permalink

    The votes for 2015 Presidential election includes many proportion of UNP votes as well. Now how could president be away with UNP with his Presidential post.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *