ශක්තිමත්වන ඩොලරය ඉදිරියේ බකන්නිලා සිටින අඳ බාලයෝ

රුපියල නොකඩවා බාල්දු වීම හුදෙක් ඇමරිකන් ඩොලරයේ ශක්තිමත්  වීමේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වා ඇඟ  බේරා ගැනීමට අන්තිමේ දී ආණ්ඩුව  ක්‍රියා කරමින් ඇති අතර  , ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය භාරය වනුයේ  ආණ්ඩුවට හූමිටි තැබීම යැයි සිතන මහ බැංකු අධිපති ඇතුළු පාලකයෝ ආණ්ඩුවේ ප්‍රකාශ සාධාරණීකරණය කරන අන්දමේ ප්‍රකාශයන් කිරීමට පටන් ගෙන ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ දා සිට ඔහු ගෙන යන උග්‍ර  ආරක්ෂණවාදී ප්‍රතිපත්ති නිසා ලෝක ආර්ථිකය අවුලෙන් අවුලට පත් වන බවත් ඩොලරය ශක්තිමත් වන බවත්  පැහැදිලි ව දක්නට තිබිණ. ට්‍රම්ප් එළිපිට ම ප්‍රකාශ කර ඇති පරිදි, චීනය මේ තාක් ලබා ගෙන ඇති වාසිදායක තත්ත්වයන් නැති කර දැමීම ඔහුගේ ප්‍රතිපත්තිවල ප්‍රධාන ම අරමුණක් වී ඇත.

එනම්, මීට දශක කීපයකට පෙර ජපානය ප්‍රබල ව ආර්ථික බලවතකු ලෙස නැගී එද්දී  ජපන් විරෝධය  විවෘත ව ම පෙරට දා එය වැට්ටවීමට  ඇමරිකාව ක්‍රියා කළ පරිදි ම , දැන්  චීනය වැට්ටවීමට ට්‍රම්ප් ක්‍රියා කරමින් ඇත. මොහුගේ ක්‍රියා කලාපය චීනයට එරෙහි ව පමණක් නො ව ඇමරිකාවේ  සගයන් වන බටහිර යුරෝපයට ද  බලගතු ලෙස ආර්ථික වශයෙන් විනාශකරී ව ඇත. මොහුගේ ප්‍රතිපත්ති නිසා රටවල් ගණනාවක මුදල් ඒකකයන් දනටමත් කඩා වැටී ඇති අතර වෙනෙසුඑලා ව සිය මුදල් ඒක්කය සියයට දස දහස් ගණනකින්  බාල්දු වීම නිසා අලුත් ම මුදල්  ඒකකයක් හඳුන්වා දී ගොඩ ඒමට මාන  බලන තත්වයකට මාරු වී ඇත.

ඒ අනුව ඩොලරයේ ශක්තිමත් වීම රුපියලේ බාල්දු වීමට බාහිර හේතුවක් ලෙස බල පා ඇති නමුදු  , ආණ්ඩුවේ සහ මහ බැංකුවේ කාර්ය ය වනුයේ එම හේතු දක්වා බකන්නිලා ගෙන සිටීම නො වේ.අනාගතයේ ගෙවීමට ඇති  ණය ගෙවීම සඳහා යැයි කියමින්  ඩොලර් පොට්ටනි ගසා ගෙන සිටීම නො වේ.

ඩොලරය මෙසේ ශක්තිමත් වීම හමුවේ ගත හැකි පියවරයන් මොනවා දැ යි අවම වශයෙන් ආර්ථික විශේ ෂඥයන් අතරවත් සංවාදයක් ඇති කිරීමට මොවුන් ක්‍රියා නොකළා පමණක් නොව,  ඩොලරය ශක්තිමත් වීමෙන් රුපියලට ඇති විය හැකි ප්‍රතිඵලයක් තිබේද යන්න ගැනවත්  ජනතාවට කිසිවක් කීවේ නැත. ඒ තත්ත්වය හමුවේ ජනතාව ඉදිරියේ මහා ආර්ථික විද්‍යාඥයා ලෙස වැජඹුණේ,  රුපියල අහවල් ගණන දක්වා ඉහළ යන බවට අනාවකි කී ටියුෂන්කාර  බන්දුල ගුණවර්ධන ය. මේ අනාවැකිකාරයන් අතරට අලුතින් ම එක් ව ඇත්තේ   ඉදිරියේ දී ඩොලරය තවත්  ඉහළ යන බව  පාර්ලිමේන්තුවේ දී  කී මුදල් ඇමති මංගල සමරවීර ය.

කුණු කිරිපැකට් ගැන පවා පැය ගණන්  විවාද සංවාද පවත්වන රූපවා හිනී නාලිකා මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යඥයන් සමග කෙරෙන සංවාදයක් නොපැවත් වූවා පමණක් නො ව , අවම වශයෙන් මුලු ලොවට ම බලපෑමට නියමිත වූ  සහ බලපාන ඩොලරයේ ගමන්  මග ගැන සිය ප්‍ර වෘත්ති ප්‍රචාරයන් තුළ දී හැඟවීමකුදු කළේ නැත. අදත් නැත.

මහින්ද රාජපක්ෂ සමග පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී    ඔහුගෙන් ඩොලරය ගැන විමසූ  විට ඔහු අන්දුන් කුන්දුන් වී තමා දෙපස සිටි දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහා ආර්ථික විද්‍යාඥයන් දෙස  පිහිට පතා බැලූ දුක්මුසු දසුන හද කම්පා කරනසුලු විය. පිටුපස සිටියේ මහ බැංකු අධිපති ධුරය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් අන්ත නීච ලෙස ගණිකා වෘත්තියේ යෙදූ  සහ තවමත් යොදවන අජිත් නිවාඩ් කබ්රාල් ය.

තමාට බලය තිබේ නම් මෙය විසඳන හැටි තමා දන්නා බව මහරජ මහින්ද  කියා සිටි අතර , මේ ආණ්ඩුව මකබෑ වී යා යුතු ය යන සිය සුපුරුදු වාචාල කතාව ඩොලරය බාල්දු වීමට විසඳුම ලෙස මහා ආර්ථික විද්‍යාඥ  විමල් වීරවංශ  සුපුරුදු වාචාල ඉරියව්වෙන් ම  යුතු ව ඉදිරිපත් කළේ , ශිරානි බණ්ඩාරනායක පාර්ලිමේන්තු නඩු විභාගයේ දී විනිසුරුවකු ලෙස දැක් වූ සුරු විරුකම් ඩොලරයට කෙළීමේ දී ද තමා සතු ව නොඅඩු ව  පවතින බව නොවරදින සේ සනාථ කරමිනි. මෙහි සිටිය යුතු ම වූ බන්දුල ගුණවර්ධන මෙයට සහභාගී නොවූයේ මොවුන් සමග එක්වී ඩොලරය ගැන කතා කරන්නට ගොස් තමා ද රුපියල මෙන් ම මස්තබාල්දු වීමෙන් ගැලවෙනු පිණිස විය යුතු  ය.

ටී. අන්ද්‍රාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *