ලිපත් නිවෙනකම් බලා ඉන්න ජනාධිපතිගෙන් රොටිය පුච්චවා ගැනීම හිතළුවක් ?

ජනාධිපතිවරයා පසුගිය 21 දා වව්නියාවට ගොස් නව ව්‍යවස්ථා විරෝධීන්ට තඩි බෑවා.ඒ සියලු දෝෂයන් මහින්ද ගේ ජාතිවාදී එකවුන්ට් එකට බැර කිරීමට. නුමුත් එය අයුක්ති සහගතයි. උතුරට ගිහින් දකුණේ ජාතිවාදීන් ගේ පළු අරින ජනාධිපතිවරයා දකුණට ඇවිත් උතුරේ අන්තවාදීන්ට හා NGO වලට බැන වදිමින් දකුණේ ජාතිවාදී මිනීමරුවන් රණවිරු ලේබලය අලවමින් ආරක්‍ෂා කරනවා. එවගේම නව ව්‍යවස්ථා විරෝධී පෙරහැරේ කසකරුවන්, මල් බයිකල් කරුවන් වූවේ ජනාධිපති උපදේශක අතුරලියේ  රතන සාදු, සාදූ ගේ උපදේශක අශෝක් අබේගුනවර්ධන හා මෛත්‍රී පිළේ ශ්‍රී.ල.නි.ප. නායකයන්‍. මහින්ද ගේ ජාතිවාදී බඩ පිණුම්කරුවන් ආවේ ඊට පස්සේ. ඊටත් පසුව තමයි මල්වතු – අස්ගිරි අනුනාහිමිවරුන් වැඩියේ.වව්නියාවෙදි ජනාධිපතිවරයා අවසාන වශයෙන් අවධාරණය කර සිටියේ “මේ ප්‍රශ්ණවලට සාධාරණ විසඳුමක් දුන්නේ නැතිනම් මේ රටේ අනාගතය පිළිබඳව ඇතිවෙන ප්‍රශ්න වලට ඒ ගොල්ලෝ වග කියන්න ඕනෑ”යි කියලා. එහෙත් කුමන අභියෝග ආවත් නව ව්‍යවස්ථාව සම්මත කරලා,ජාතික ප්‍රශ්නය විසඳලා මිස මම මේ පුටුවෙන් යන්නේ නෑ කියල ජනාධිපතිවරයා නොකීවේ මන්දැයි උපදින්නේ සැකයක්. මොකද බණ්ඩා – චෙල්වා ගිවිසුම පුළුස්සා දමමින් බණ්ඩාරනායකද කළේ මෙවැනිම ප්‍රකාශයක්. අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා යැයි මා අසා තිබුනේ මීට වසර පනහකට පමණ පෙර.94 සිට එය අත්විඳිමින් ඉන්නේ. යේසුස් ක්‍රිස්තුස් ඝාතනයේ වගකීම ප්‍රතිගාමී පූජකයන්ට භාරදීල පිළාත් රජ්ජුරුවොත් අත් දෙක හෝදා ගත්තලු.

 කොහොම වුනත් ව්‍යවස්ථාවට විරුද්ධව මහින්ද හා ඔහුගේ ගෝල බාලයෝ පෙනී සිටීම ගැන අපට මොනවත් කියන්න බැහැ. මොකද ඒ නඩය ජනාධිපතිවරණයේදිත් ඊට පසු පැවැති මහ මැතිවරණයෙදීත් පෙනී හිටියෙ බලය නොබෙදන, මානව හිමිකම්,  නීතියේ ආධිපත්‍ය නොසලකන ඒකාධිපති 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන්. මහ ඇමැති ඉසුර, වීරක්කොඩි, ජෝන්, නිමල් සිරිපාල, ඩිලාන්, සුසිල් , එස්.බී, විජිතමුණි  සහ අමරවීරලා පෙනී හිටියෙත් ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන්. පක්‍ෂ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් මේ පරාජිත මහින්දවාදීන් ආණ්ඩුවට ගත්තේ සිරිසේන ජනාධිපතිවරයා.
හැබැයි ජනාධිපතිවරයා නම් කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න ඕන නිසා ඒ අය ගත්ත කියලා. ඒත් ජනාධිපතිකමේ දිව්‍ රුම් දීල මහින්ද අමරවීරත් එක්ක දේශපාලන ඩීල් එකක් ගැහැව්වේ නැතිව දින 100 පොරොන්දු හරිහැටි කලානම් වෙනස් තත්වයක් ඇතිවෙන්නත් තිබුනා. එහෙම වුනානම් දැනට මහින්ද ලඟ ඉන්න 51 දෙනත් බඩගාගෙන ජනාධිපති ලඟට එනවා. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් එක පක්‍ෂයකට ගියොත් එයින් ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් වෙනව කියලා ජනාධිපතිවරයා කිව්වා. එහෙම  කිව්වේ දින 100 න් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැත්තේ ඇයි ද කියන එකට පිළිතුරක් විදියට.නව ව්‍යවස්ථාවක් ගෙනෙන්න පාර්ලිමේන්තුවට බහුතර ජනවරමක් දීල නැහැ කියන එක තමයි අද මෛත්‍රී පිළේ ප්‍රධාන තර්කය වෙලාත් තිබෙන්නේ. එහෙම බැලුවාම ජනාධිපති සිරිසේන බොහෝ කලක ඉඳලම තමන් ගේම න්‍යාය පත්‍රයක සැලසුම් සහගතව කටයුතු කරගෙන ආවාද කියන සාධාරණ සැකයක් මතුවෙනව. කොහොම වුනත් ජනාධිපතිවරයා කැන්දා ගත්ත මහින්දවාදී සෙට් එක සමඟ හැට දෙලක්‍ෂයක් වූ ජනතාවට සම්මුතියක් නැති නිසා මේ සියලු දෙනා ගේ වගකීම භාරගත යුත්තේ ජනතා සම්මුතියක් තිබෙන ජනාධිපතිවරයා.හේනෙ මාමාට රෙදි දීල කොක්කු පස්සේ යන එකේ තේරුමක් නැහැ.
එහෙම වුනත් මෛත්‍රී පිළේ අය ආණ්ඩුවේ ඉඳගෙන කියන කරන දේ ජයග්‍රාහී මතවාදයට හානියක්වන නිසා ඒ ගැන යමක් කියන්න වෙනවා.මේ ඇමැති සෙට් එක ජයග්‍රාහී මතවාදයට එරෙහිව යම් යම් දේ ප්‍රකාශ කරල අවසානයේ දී කියන්නේ ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියල.වැල්ලේ රා පොළේ වගේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ සාකච්ඡාව සඳහා පමණයි. ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට පෙර ඒ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව රට තුළ තිබුනා.දෙවරක්ම එම මතවාදය ජය ගත්තා.දැන් ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාදායකට මධ්‍යගත කරල තිබෙන්නේ.ඒ නිසා වාද විවාද තිබිය හැක්කේ දිනූ මතවාදය ක්‍රියාත්මක කළ හැකි වඩාම යෝග්‍ය, සුදුසු ක්‍රමවේද පිළිබඳව පමණයි.එතැනැදි ඩාර්ලි පාරෙදි තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇමැති කෙනෙක් විදියට මහ පාරේදී නැහැ කියන එක මතක් කර දෙන්න කැමැතියි.94 ඉඳන් රස විඳපු ඇමැතිකම් නැතිවුනාම සුනිල් එදිරිසිංහ කියන්නාක් මෙන් බිරින්ඳෑ නෑගම් ගියා වාගේ වෙන්නැති.වවුලා ගේ මඟුල් ගෙදර ආවානම් එල්ලීලා හිටු කිව්වලු.එහෙම බැරිනම් ජාතිවාදී මහින්ද එක්ක වහෙන් ඔරෝ නැතිව එක පෙලට හටගන්නා ඕනේ.
 
                   
 ශ්‍රී.ල.නි.ප.යේ ඔවුන් කියන්නා වූ බණ්ඩාරනායක ප්‍රතිපත්ති අද තිබේද?
බණ්ඩාරනායක බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගනු ලැබූවත් ලබාගත් බලය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ෆෙඞරල් ව්‍යවස්ථාවකට එකඟ වුනා. නමුත් 94 සිට ශ්‍රී.ල.නි.ප.නායකයන් බලය ලබාගැනීමට, බලය විමධ්‍යගත කිරීමට එකඟ වුවත් ලබාගත් බලය පවත්වා ගැනීම වෙනුවෙන් හැම විටම පාවිච්චි කළේ ජාතිවාදය. බණ්ඩාරනායක බලය ලබාගෙන පරදේශක්කාරයන් සතුව තිබූ ලාංකීය දේපල රජයට පවරා ගත්තා. ඒත් 94 සිට වසර නවයක දී චන්ද්‍රිකා රජය කොම්පැණිකාරයන්ට විකුණූ මහජන දේපළ  ප්‍රමාණය 57ක්.මහින්දට විකුණන්නට මහජන දේපළ  ඉතිරි වී නොතිබුනු බැවින් ඔහු කළේ භූමිය විකුණා දැමීම.අවශ්‍ය නම් ලැයිස්තුවක් දිය හැක.එනයින් බලන කල ශ්‍රී.ල.නි.ප.යේ අද බණ්ඩාරනායක ප්‍රතිපත්ති ද නැත. තිබෙන්නා වූ එකම ප්‍රතිපත්තිය එදා වේළ ටුවර්ස් නැතිනම් කෙක්කෙන් හෝ කොක්කෙන් රාජ්‍ය බලය කෙසේ හෝ ලබා ගැනීමය. ඒ වෙනුවෙන් ඕනෑම එකෙක් සමඟ යහන් ගතවීමටද සූදානම්‍ ය. පොහොට්ටුකාරයන්ගේත් මෛත්‍රී පිළේත්  ශ්‍රී.ල.නි.ප.නායකයන් සිය ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු කර පෙන්වා තිබෙන්නේත්, පෙන්නුම් කරමින් සිටින්නේත් එයයි. රජ සැප නම් හිමගිර අරණේ වැදිරජු වුවත් කම් නැත.
සෝභිත හාමුදුරුවන් ජනපතිටයි, අගමැතිටයි  නිතරම කියපු දෙයක් තමයි “මහත්තයෝ තැටිය නිවෙන්න ඉස්සෙල්ල රොටිය පුච්චන්න,” කියල. ඒත් අගමැති රනිල් නව ව්‍යවස්ථා රොටිය පුච්චන්න ගත්තේ තැටිය විතරක් නෙමේ ළිපත් නිවිල ළිප්බොක්කේ බල්ලොත් ලැග්ගට පස්සේ. දැන් බල්ලො එළවල, ළිප ගිනි මොළවල තැටිය රත්කරන කොට 2020 ත් වෙලා තියේවි. ඒත් රනිල්ටත් ප්‍රශ්නයක් නෑ. රුක් දෙවියාට කියන්න වෙන්නේත් “රනිල් මඟ සිටියත් තා නොනසී, ගෙට ගියත් අඹු නොනසී” කියලා.
නව ව්‍යවස්ථාවට විරුද්ධ සංඝයාගේ අවවාද අනුශාසනා අනුව රට කරවන්න කියලා තමයි (සිරිසේන ජනාධිපතිවරයා එක්ක ඉන්න අයත් ඇතුළුව) ජාතිවාදී, ආගම්වාදී මහින්දවාදීන් කියන්නේ. ප්‍රඥාවන්තයෙක් හෝ මෝහයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්  දෙන්නා වූ උපදේශ පිළිපැදීම කෙතරම් විනාශයක් අත්කර දෙන්නේද කියල බෞද්ධ සාහිත්‍යයේම මැනවින් පෙන්නා දීල තිබෙනවා. දිසාපාමොක් ක්‍රෝධයෙන්, වෛරයෙන් අහිංසක නැමැති කුමාරයාට දුන් උපදෙස ඔහුත් කිසිත් නොවිමසා භාර ගත්තේ ගුරුවරයාට තිබූ භක්තිය නිසාමයි. ඉතින් එලෙස වූ ප්‍රඥාවක් හෝ නොමැති මේ සංඝයාත් මෝහයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දෙන්නා වූ දිසාපාමොක් පන්නයේ උපදෙස් ලක්‍ෂ  62 ක් හෝ ප්‍රතික්‍ෂේප කිරීම රටේ වාසනාවක්. මේ සංඝයා ද ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදීන් ගේ ඇඟිලි මාලයක්. ජාතිවාදී, ආගම්වාදී මහින්දවාදීන් කඩු මුවහත් කරන්නේ ගුරු පූජාවට බව කිසිඳු සැකයක් තබා ගතයුතු නැහැ.
ප්‍රතිගාමීන් එලෙස පෙළ ගැහෙද්දී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසුණු ජයග්‍රාහී ජනවාරි 08 පක්‍ෂ හා සංවිධානද පසුගිය දා නැවත එක්වුනා.  ඒ “ලක්‍ෂ 62 සීරුවෙන්” යන මැයෙන් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී. ඉන්පසු නුවරදී ද ඉතාමත් සාර්ථක රැළියක් පැවැත්වුවා. එයින් සිය ශක්තිය නැවැත කිරා මැන බලා ගැනීමට හැකිවුනා. දැන් ලක්‍ෂ හැටදෙක සීරුවෙන්… සිටින්. පහසුවෙන්… නොසිට, වමට… හැරෙන්. ගමනේ… යා.

 ඥානසිරි කොත්තිගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *