රනිල්ගෙන් මෛත්‍රීට කණේ පහරක්

ජනාධිපති මෛත්‍රීපාල මහතා පසුගිය 25 වැනිදා   පානදුර  නගරයේ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැළියක දී ප්‍රධාන දේශපාලන පක්ෂවල සිටින ” මහා වීරයන්ට ” කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂයේ මහා වීරයා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාර ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ අභියෝගය වූයේ බැඳුන්කර ගනුදෙණුව සහ බරපතල දූෂණ ,වංචා පිළිබඳ පාර්ලිමේන්තුවට භාර දී ඇති කොමිෂන් සභා වාර්ථා දෙක පිළිබඳව හැකි නම් පෙබරවාරි 10 වැනිදාට පෙර එක දවසක හෝ විවාදයක් කර පෙන්වන ලෙසය.

පසුගිය 25 වැනිදා ජනාධිපතිවරයා විසින් සිදු කළ මෙම අභියෝගය ඊට පසු දිනම භාරගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා , පෙබරවාරි 8 වැනි දින මෙම විවාදය පැවැත්වීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලිමක්   කොට තිබේ.

මෙම ඉල්ලීමට අනුව කතානායකවරයා පෙබරවාරි 8 වැනිදා අදාල විවාදය සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය.

ජනාධිපති කොමිෂන් වාර්ථා දෙක පාර්ලිමේන්තුවට ලබා දුන් පසුව , දූෂිත ප්‍රභූන්ගේ සංධානය, සංධාන ගතවී මේ වාර්ථා දෙකම විවාද නො කොට වසා තැබීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා අදාල ප්‍රචාරක රැස්වීමේදී පැවසූ අතර, චන්දයට පෙර මේ ගැන විවාදය සිදු කළ හොත් දෙගොල්ලන්ගේම ඇඳුම් බුරුල් වෙන බවත්, දෙගොල්ලන්ගේම ඒවා පෙනෙන බවත් කියා සිටියේ ඉතා උද්වේගකර හා හැඟුම් බරවය.

හොරු රැළ බොරැල්ලේ නිවසක දී හමු වී මෙම විවාදය නොකිරීමට තීරණය කර ඇතැයි පැවැසූ ජනාධිපතිවරයා, හැකි නම් පෙබරවාරි 10 ට පෙර පාර්ලිමේන්තුව රැස් කර කොමිෂන් සභා වාර්ථා දෙක පිළිබඳව එක දවසක හෝ විවාදයක් කර පෙන්වන ලෙස , ඔය කියන මහා වීරයන්ට තමා අභියෝග කරන බවද කියා සිටියා ය.

ජනාධිපතිවරයාගේ මෙවැනි ප්‍රකාශ අනුව ජනතාවට හැඟී යන්නේ ජනාධිපතිවරයා සහ ඔහු සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම චන්දයට පෙර මෙම විවාදය ලබා ගැනීමට මහත් උත්සාහයක යෙදී ඇතත්, ඊට බාධා කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ල නි ප කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂය බවට ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වේදිකා මත නැඟී කොතරම් කෑ මොර දුන්න ද කොමිෂන් සභා වාර්ථා දෙක පිලිබඳ පාර්ලිමේන්තු විවාදයට දින තීරණය කිරීම සඳහා පසුගිය 24 පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ , විවාදය පෙබරවාරි 19 ට දින නියම කරන විට මෛත්‍රීපාල සිරිසේන්ගෙ නියෝජිතයා ලෙස ඊට සහභාගි වී සිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර කිසිදු විරෝධයක් හෝ වෙනත් යෝජනාවක් හෝ ඉදිරිපත් කොට නැත.

තත්ත්වය එසේ නම් ජනාධිපතිවරයාගේ පානදුර කතාවට අනුව, මහින්ද අමරවීරත් දූෂිත ප්‍රභූන්ගේ සංධානයේ සාමාජිකයෙකි. මන්ද විවාදය චන්දයෙන් පසුව පැවැත්වීමට තීරණය ගනු ලැබුවේ මහින්ද අමරවීරත් සහභාගි වූ රැස්වීමකදී වන බැවිනි.

මීට අමතරව පාර්ලිමේන්තුව කල්තැබීමට පෙර අවසන් වරට පැවැත්වූ පක්ෂ නායක රැස්වීම සඳහා මෛත්‍රී පිල නියෝජනය කරමින් සහභාගි වී ඇති මහින්ද සමරසිංහ සහ දයාසිරි ජයසේකර යන අයද, චන්දයට පෙර විවාදය අවශ්‍ය බවට කිසිදු ඉල්ලීමක් හෝ යෝජනාවක් කතානායකවරයාට ඉදිරිපත් කොට නැත.

ජනාධිපති මෛත්‍රීපාලට අනුව මේ ඇමැතිවරු දෙදෙනා ද බොරැල්ලේ නිවසක හොරෙන් රැස්වුනා යැයි කී හොරු රැළේ සාමාජිකයන් දෙදෙනකු විය හැක.

බැඳුන් කර කොමිෂන් වාර්ථාව පිළිබඳව කිසිදු කියවා බැලීමක් සිදු නොකොට කවුරුන් හෝ ලියා දුන් කොල කැබැල්ලක් රට හමුවේ කියවා දමා මේ වන විට පඹ ගාලක පැටලී සිටින ජනාධිපති මෛත්‍රීපාල , සැලකිය යුතු පිටු ගණනක් ද නොමැතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අසම්පූර්ණ කොමිෂන් සභා වාර්ථාවක් යොදා ගනිමින් අනුන්ගේ රෙදි බුරුල් කරන්නට හා අනුන්ගේ දේවල් එලියට ඇද පෙන්වන්නට හිතාගෙන විවාදයක් පැවැත්වීමට අභියෝග කිරීමෙන් දැනට පටලවාගෙන ඇති පැටලවිල්ල, තවතවත් පටලවා ගැනීම නොවැලැක්විය හැකි යැයි මධ්‍යස්ථ  දේශපාලන  විචාරකයන්ගේ මතය වී  ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *