මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකත්වය අත්හරී

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතා විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් ” ලංකා ස්කයි ” වෙත වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යුතු බවට මීට ඉහත දී  පක්ෂයේ බහුතරයකගේ මතය වී තිබුණි.

මේ අතර යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධූර වලින් නෙරපා හරිනු ලැබූ ශ්‍රී ල. නි. ප. ” 16 කල්ලිය ” ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වී  ඉදිරි ජනාධිපතිවරණයට  මහින්ද රාජපක්ෂ විසින් නම් කරනු ලබන අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කොට තිබේ .

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මේ වන විට දරුණු මත ගැටුමක් පවතින අතර, එක් පාර්ශවයක් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කළ යුතු බවටත්, අනෙක් පාර්ශවය ඒ සඳහා චමල් රාජපක්ෂ වැනි පුද්ගලයෙකු ඉදිරිපත් කරන හැටියටත් මහින්ද රාජපක්ෂ වෙත  බලපෑම් සිදු කරමින් සිටිති.

ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය නුසුදුසු බවට වූ බලපෑම මේ වන විට ඉතා දරුණු අන්දමින් තීව්‍ර වෙමින් පැවැතීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මේ වන විට ඉතා දරුණු බෙදීම් ගණනාවක් ආරම්භවී ඒවා පුපුරා යෑමේ තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තෝරා ගැනීමට නොහැකි මට්ටමේ දේශපාලන අර්බුදයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තුළ හට ගෙන ඇති බවත් ශ්‍රී ල. නි. ප. ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.

දේශපාලන ක්ෂේත්‍රය තුළ මතුවී ඇති මෙම දරුණු අර්බුදය හේතුවෙන්, ඉදිරි ජනාධිපති මැතිවරණයේදී , එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාට නියත හා පහසු ජයක් ලබා ගැනීමට හැකිවනු ඇති බවට දේශපාලන ගණන්  බැලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිණත දේශපාලනඥයන් ගෙන් සමන්විත  අප්‍රකාශිත කමිටුවක් විසින් සිදු කොට ඇතැයි ශ්‍රී ල. නි. ප. අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසා විශාලතම ඡන්ද ප්‍රමාණය ලබා දී ඇත්තේ , එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සංධානය හා මුස්ලිම් ජාතික පක්ෂ කිහිපයක ජනතාව විසින් බවත්,  එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්   ලබා ගැනීමට හැකි වුයේ ඉතාමත් සුළු ඡන්ද ප්‍රමාණයක් පමණක් බවත් ශ්‍රී ල. නි. ප. ප්‍රකාශකයා පැවසීය.

මෙම දේශපාලන යථාර්ථය පිළිබඳව නිසි ලෙස විශ්ලේෂණය  කළ ශ්‍රී ල. නි. ප. යේ අදාල  කමිටුව විසින්, ඉදිරි ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙසට  පක්ෂ නායකත්වයට නිර්දේශ  ඉදිරිපත් කොට ඇතැයි ද එම ප්‍රකාශකයා කියා සිටී.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ හොත් අන්ත පරාජයකට පත්වීම නො වැලැක්විය හැකි බව පෙන්වා දී ඇති අදාල කමිටුව, ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ දෙකක් ඉදිරිපත් කොට තිබේ.

කමිටුව විසින් ඉදිරිපත් කොට ඇති එක් නිර්දේශයක් වී ඇත්තේ , ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තෝරා ගන්නා රාජපක්ෂවරයෙකු නොවන අපේක්ෂකයෙකුට, කොන්දේසි සහගතව සහය පළ කරමින් එම අපේක්ෂකයාගේ ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවය.

කමිටුවේ ඊළඟ නිර්දේශය වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හැර වෙනත් පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම්  කොන්දේසි සහිතව එම අපේක්ෂකයා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ යුතුය යන්නය.

මේ අනුව ඉදිරි ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ල. නි. ප. සභාපති හා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ථීර ලෙසම ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බව ශ්‍රී ල. නි. ප. ප්‍රකාශකයා වැඩි දුරටත් සහතික කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *