ධවල වස්ත්‍ර යට සැඟවුණු රාජපක්ෂවරු සහ සෞදියේ සල්මාන්

සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි   තුර්කියේ සෞදි තානාපති කාර්යාලය තුළ දී අමු අමුවේ ඝාතනය කළ බවට සාධක තොග ගණනක් තිබිය දී එවැන්නක් නැතැයි  දිවුර දිවුරා කියා සිටි සෞදි අරාබිය බැරිම තැන  දැන් එය පිළිගෙන ඇත.

එය ද කර ඇත්තේ සුපුරුදු ආකාරයේ බොරුවක් මගිනි. එනම්, ප්‍රශ්න විචෑරීමේ දී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඔහු මරණයට පත් වූ බව කියමිනි.

පොලිස් අත් අඩංගුවේ සිටිය දී ආයුධ පෙන්වීමට ගොස් මාංචු දැමූ අත්වලින් බෝම්බ ගසන්නට ගොස් මැරුම් කෑ සැක කරුවන් ගැන ඕන පදම් අසා ඇති ශ්‍රී ලංකාවේ අපට නම් ඒ කතාවේ අරුමයක් නැත.

එහෙත් ලෝකෙට ලොක්කා  වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට නම් ඒ කතාව තරම් ඇත්තක් ලෝකයේ තවත් නැතිලු! ඩොලර් බිලියන 110ක් ආයුධ ගනුදෙනුව සමග ගත් කල උන්නැහේට මිනිස් අයිතිවාසිකම්  මොන මගුලක් ද? හරියට මෙරට දෙශප්‍රේමී පප්පලාට සහ දූ පුතුන්ට මෙනි.

ට්‍රම්ප් මුල සිට ම උත්සාහ  කළේ  සෞදි ආණ්ඩුව වගකීමෙන් නිදහස් කිරීමේ මගක් සෙවීමට ය.සමහර විට මුලින් දැක්වුණ ගැලවීමේ සූත්‍රය ඔහුගේ ම වන්නට ද  පුළුවන.

මෙය හුදු මිනීමැරුමක් ම නො වේ. එක් අතකින් එය වෙනත් රටක සිය තානාපති කාර්යාලය තුළ දී කෙරුණකි. හුදෙක් මරා දැමුවා පමණක් නොව කෑලි කෑලිවලට කපා දේහය අතුරුදන් කිරීමකි.ඒ කාර්යය සඳහා සල්මාන්ගේ සමීපතමයන් රැළක්  සෞදියේ සිට වෙන ම පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඝාතනය සිදු කොට හොරෙන් ම ආපසු යාමකි. ඉන්පසු ස්ථානය සෝදා පවිත්‍ර කොට අලුතින් තීන්ත ද  ආලේප කොට ඇත.ඉන්පසු  බොරු පිට බොරු කියමින් ලොව ම රැවටීම ය.

සල්මාන් කුමරු ම මේ බොරුවලට  කෙළින් ම  සම්බන්ධ වී ඇත. තනි මිනිහෙක් මැරීම ගැන ඔච්චර කෑ ගහන්න ඕන ද  , ඔයිට වඩා අපරාධ කොච්චර වෙනවා දැයි කියන අමනයන්ට වෙනස් ලෙස මෙම සිද්ධිය  ලොව ම කළඹා ඇත.

21 වැනි සියවසේ රාජ්‍ය අනුග්‍රහයෙන් නිරායුද පුද්ගලයකු මෙලෙස අමු අමුවේ  ඝාතනය කිරීමක් කෙසේවත් සිදු වීමට ඉඩ නොදිය යුතු  ය. සෞදියේ සම්පූර්ණ බලය අතට ගෙන, ප්‍රතිසංස්කරණකාරයකු ලෙස බටහිර  රටවලට එළිය පෙන්වන මොහු කෙවන් වූ ම්ලේච්ඡයකු ද යන්න මෙමගින් හෙළිදරව් වී ඇත.

මෙවන් ම්ලෙච්ඡයෝ මෙරට ද  එළියවල් පත්තු කරන්නේ නිකම්ම නො වේ. ප්‍රගීත් එක්නැලිගොඩ, තාජුඩීන්, පැහැර ගෙන ගිය තරුණයන්  එකොලොස්  දෙනා මරා දැමූ ආකාරය කවදා හෝ හෙළි වූ විට, ඒ වර්ගයේ ඝාතන පිළිබඳ ව අප සතූ වාර්තා එම ඝාතනය සමග සමතැන් ගැනීමට බෙහෙවින් ම ඉඩ ඇත. ඒවා වහංගු කොට චූදිතයන් බේරා ගැනීමට තැත් කිරීමේ දී අපේ නායකයන් සල්මාන් කුමරු සමග තකට තක වූ බව ද නිශ්චිතවම අනාවරණය වනවා ඇත.

දෙගොල්ලා ම අඳින්නේ සුදෝ සුදු වස්ත්‍ර ය.

ටී. අන්ද්‍රාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *