දෙමළ රැඳවියන්ගේ අරගලය මැඬලීමේ කුමන්ත්‍රණයක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කර සිටින දෙමළ රැඳවියන් විසින් නිදහස ඉල්ලා බන්ධනාගාර තුළ ආරම්භ කර ඇති අරගලය,  කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් යහපාලන රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කොට ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

යුධ සමයේ අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ගේන්  12, 000 කට අධික ප්‍රමාණයක් මේ වන විට පුනුරුත්ථාපනය කොට සමාජගත කර ඇතත්, ඉතා සුළු පිරිසක් තවමත් දීර්ඝ කාලයක් පුරා බන්ධනාගත සිටී.

දෙමළ රැඳවියන් සිය නිදහස ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරය  තුළ පසුගිය දා උපවාසයක් ආරම්භ කල අතර, එම අරගලයට සහයෝගය දෙමින්  03 වැනිදා සිටකොළඹ මැගසින් බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 43දෙනකු ද උපවාසයක් ආරම්භ කර තිබේ.

කොටි සංවිධානයේ ප්‍රබලයන්ව සිට විශාල මිනිස් ඝාතන වලට සෘජු ලෙස වගකිව යුතු කරුණාඅම්මාන්, පිල්ලෙයාන් සහ කේ. පී. වැන්නවුන්ට කිසිදු චෝදනාවක් එල්ල නොකොට ඔවුන්ව නිදහස් කොට ඔවුන්ට දේශපාලනය කිරීමට අවස්ථාව ලබා දුන්නද, මෙම දෙමළ සිරකරුවන් වසර ගණනාවක සිට සිරගත කර තබා ගෙන සිටීම යුක්තිසහගත නොවන බවට මේ වන විට ජන මතයක් ඇතිවෙමින් පවතී.

මෙම යුක්ති සහගත අරගලය පරාජය කිරීම සඳහා දකුණේ ජාතිවාදී බලවේග නැවත කරලියට ගෙන ඒමට ආණ්ඩුවේ ඇතැම් නායකයන් මේ වනවිට ක්‍රියාත්මක වී තිබේ.

යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙලේ දී අද දින (05) ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ, ජූඩ් රත්නම්ගේ ” පාරාදීසයේ යක්ෂයෝ ” නම් වූ කොටි සංවිධානයට එරෙහිව නිර්මාණය වූ සිනමාපටය එම උළෙලේ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීමට තීරණය කිරීමෙන්, මෙම කුමන්ත්‍රණය ක්‍රියාවට නංවා තිබේ.

දෙමළ ජනතාවට මෙම සිනමාපටය නොපෙන්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙම ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණානායක සඳහන් කරන්නේ, මෙම සිනමා උළෙල අඛණ්ඩව පවත්වා ගෙන යා නොහැකි ආකාරයට ආරම්භයේ සිටම විවිධ කොටස් වලින් විවිධ බාධා එල්ලවන බවකි.

මෙම සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට බාධා එල්ල කරන විවිධ කොටස් කවුරුන්ද යන්න අනෝමා රාජකරුණානායක හෙළි නො කරයි.

මෙම සිනමාපටය අදාල සිනමා උළෙලේ දී ප්‍රදර්ශනයට ඉඩ නොදෙන්නේ කොටි සංවිධානයට හිතවත් දෙමළ ප්‍රජාව බවට දකුණේ ජාතිවාදී බලවේගයන්ට හැඟෙන්නට සලස්වා , එමඟින් දකුණේ ඇතිවෙන ජාතිවාදී උද්ඝෝෂණ ඉදිරියේ බන්ධනාගාර තුළ දෙමළ රැඳවියන්ගේ ඉල්ලීම් යටපත් කිරීම මෙම කුමණ්ත්‍රණයේ ඉලක්කය වී තිබේ.

කෙසේ වෙතත් දෙමළ රැඳවියන් විසින් ආරම්භ කර ඇති මෙම අරගලය විනාශ කිරීමෙ කොන්ත්‍රාත්තුව යහපාලනය පිහිටුවීම වෙනුවෙන් පෙනී සිට, මේවන විට ආණ්ඩුවේ හා රජයේ තනතුරු තාන්න මාන්න වල වැජඹෙන සිවිල් නායකයන් කිහිප දෙනකුම සිටින බවත්, ඔවුන්වද ජනතාව ඉදිරියේ හෙළිදරව් කරමින් මෙම අරගලය ජයග්‍රහණය දක්වා රැගෙන යන බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *