තාත්තලාගේ සන්නද්ධ අරගලය පුත්තු දකින හැටි…

වඩුතන්ත්‍රිගේ සිසිල්චන්ද්‍ර හැත්තෑ එකේ සන්නද්ධ අරගලයේ නායකයන්ට එරෙහිව පවරා තිබූ නඩුවේ දහසය වන විත්ති කාරයා විය.අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ආදි ශිෂ්‍යකු වූ ඔහු 1964වර්ෂයේදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ තරුණ පෙරමුණේ (මොස්කව් පිල)අම්බලන්ගොඩ ශාඛාවේ භාණ්ඩාගාරිකවරයා බවට පත්වන්නේය.1968 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වන ඔහු එහි නායක රෝහණ විජේවිරගේ සමීපතමයකු විය.එහෙත් හැත්තෑ එකේ සන්නද්ධ අරගලයට සම්බන්ධ වීම නිසා සිර දඩුවම් ලැබීමෙන් බන්ධනාගාරගත වූ සිසිල්චන්ද්‍ර ඉන් නිදහස් වීමෙන් පසුව සක්‍රීය  දේශපාලනයෙන් ඉවත් විය

සෙනුක ගීමාල් සිසිල්චන්ද්‍ර ඔහුගේ වැඩිමහල් පුත්‍රයාය.අවුරුදු තිස් හතක් වයසැති  සෙනුක මුල්‍ය කළමණාකාර වරයකු ලෙස සේවයේ නිරතව සිටී.හැත්තෑ එකේ අරගලයට සම්බන්ද වූවන්ගේ දරුවන්ගේ සංවිධානයක් පවා මෙරට ගොඩනගන්නට අත්තිවාරම දැමූ ඔහු  සිය පියාගේ අතීත ක්‍රියාකාරම් පිළිබඳව සිය හඬ අවදිකෙරුවේ මෙසේය

 

ඔබ ඔබේ තාත්තා දකින්නෙ කොහොමද ?

මගේ තාත්ත බොහොම කෙලින් වැඩ කරන කෙනෙක්.රැඩිකල් චරිතයක්.වැරැද්ද දැක තැන විවේචනාත්මකව එය නිවැරිදි කරන්න ඔහු උත්සාහ ගත්තා.තමන්ගෙ වැරදීම් වුනත් ස්වයං වි⁣වේචානාත්මකව නිවැරිදි කරගන්න හැකි ආත්ම විස්වාසයකින් ඔහු ජීවත් වුනා.කිසිම දෙයකින් කළකිරීමට පත්වුන චරිතයක් නොවෙයි තාත්ත.

මේ ගුණාංඟ තාත්තා තුළ ආරෝපනය වන්නෙ වාම දේශපාලන නිසා කියලයි මට හිතෙන්නෙ.තාත්තගෙ හොඳම යාළුව වුනේ කලු ලකී මාමා.අනිකුත් යාළුවන් අතරේ මහින්ද විජේසේකර,වාසුදේව නානායක්කාර වගේ අය සිටියා.මට දැනුම් තේරුම් වයස වන විට ඔවුන් අපේ ගෙදර ඇවිත් යනවා.ඒ අය ඇවිත් පවතින දේශපාලන වටපිටාව ගැන තාත්තා සමග සාකච්ඡා කරනවා මා අහගෙන ඉන්නවා.

එජාප හා ශ්‍රීලනිප  දේශපාලනය ගැන තාත්තාට කිසිම දවසක විස්වාසයක් තිබ්බේ නැහැ .පසුකාලීනව ඔහු ජනතා විමුක්ති පෙරමුණ දිහා බැළුවෙ තාත්ත කෙනෙක් දරුවෙක් දිහා බලන විදියටයි කියලයි මා හිතන්නෙ.ජනතා විමුක්ති පෙරමුණ යනු තමන්ගෙ ලේ දාඩිය කළවම් කරල ගොඩනගපු පක්ෂයක් විදියට සළකන බව ඔහුගේ කතාවෙන් මට දැනිල තියෙනවා.

හැත්තෑ එකේ කැරැල්ල ගැන තාත්තගෙ අදහස වුනේ මොකද්ද ?

තාත්ත ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක්. ආරම්භයේදී රෝහණ විජේවීර සහෝදරයා එක්ක දැඩි සමීපතාවක් තාත්තාට තිබුණා.පසුව යම්  යම් පෞද්ගලික ප්‍රශ්න නිසා තාත්තා ඔහු ගැන කළකිරීමකින් ඉඳළත් තියෙනවා.ඒත් කැරැල්ල සම්බන්ධයෙන් තාත්ත හිතුවෙ ඉක්මන් වුනා වැඩියි කියල වගේ අදහසක්.

ඒ දවස් වල රටේ පාලන බලය ලැබුනෙ සුද්දන්ට කත් ඇදපු අයගෙ දරුවන්ට නිසා තාත්තල වගේ පීඩිත පංතියෙ තරුණයන්ට අවස්ථාව අහිමි වීම නිසා ඒ තරුණ සහභාගිත්වයෙන් එදා ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගුන කියල තමයි තාත්ත කිව්වෙ.චීනය වගේ රටක මහජන කැරැල්ලක් ඇතිවෙලා එය ජයග්‍රහණය කරේ ඒකාධිපති පාලනයකට එරෙහි වීමක් නිසා කියල  පැවසුව තාත්ත ලංකාවෙ සන්නද්ධ අරගලය අසාර්ථක වුනේ මහජනතාව ඡන්⁣දයෙන් පත් කර ගත්තු ආණ්ඩුවකට ඉතා කෙටි කාලයක්  තුළ එරෙහිවීම නිසා කියලත් තාත්තගෙ අදහසක් තිබුණා.මහජන විප්ලවය අපේ සමාජයට තිත්ත වෙන්නත් ඒ කැරැල්ල බලපෑව කියලත්  තාත්ත කිව්වා.තාත්ත කිව්ව විදියට මේ රටේ ජන මානසිකත්වය  එදා පැවතුන රජයන් ඉතා සියුම් ආකාරයෙන් එලෙස හැඩ ගැස්වීමට සකස් කරල තියෙනව.

හැත්තෑඑකේ අත් අඩංගුවට ගත් තරුණයන්ට සිය ජීවදත්ත තොරතුරු පුරවා දීම සඳහා ලබා දුන් අයදුම් පතෙහි කුලය පිළබඳවත් විමසා තිබුන කියලයි තාත්ත කිව්වෙ. එහෙම සඳහනක් තිබුනෙ මේ කැරැල්ල කුල පදනමකින් සිද්ධ වුන දෙයක් ලෙසට සමාජගත කිරිමේ අදහසින් බවයි තාත්තගෙ විස්වාසය වුනේ.ඒ තුලින් මේ රටේ ඉහල දේශපාලන කුලකයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වුන බවත් ඉදිරියට මේ රටේ සන්නද්ධ අරගලයක වලංගු බව රින අගයකට ලක් වූයේයැයි තාත්තා සිතුවා .ඒත් අපේ තාත්තා හැත්තෑ එකේ අරගලය වැරදිය කියල කිව්වෙ නම් නැහැ.ඔහු කිව්වෙ වැරදි වෙලාවට නැගිට්ටෙ කියලයි.

තාත්ත රෝහණ විජේවීර ගැන සිතුවෙ කොහොමද ?

තාත්ත විජේවීර සහෝදරයව දැක්කෙ එක්තරා ආකාරයක මූලධර්මවාදී නායකයෙක් විදියට .ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය හා එහි වර්ධයත් සමග නිර්මාණය වුන දක්ෂ දෙවෙනි පෙල නායක්ත්වය ගැන විජේවීර සහෝදරයට ඉරිසියාවක් ඇතිවුනා කියලයි තාත්ත සඳහන් කෙරුවෙ.මේ තත්ත්වය පසුකාලීනව පිපිරීම යාම නිසා කැරැල්ල වන විටත් මහ නඩුවෙන් පසුව සිර ගෙවල් තුලත් විවිධ මතවාදී ගැටුම් ඇතිවුන බව තාත්තා පවසා තියෙනවා.නමුත් තාත්තා කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ශේප කරේ නැහැ.

විජේවීර මරණයට පත්වූ දින වල තාත්තා විශාල ලෙස කම්පනයට පත් වී සිටියා.හරියට පවුලේ කෙනෙක් හදිසියේ මිය ගියා වගේ.ඔහුගේ දුක අපට දැනනා.පසුකාලීනව විජේවීරගෙ දරු පවුල ත්‍රිකුණාමලය කඳවුරක හිර අඩස්සියේ තබා ගැනීම ගැනත් තාත්තට දුකක් වේදනාවක් තිබුණා. අර මනුස්සයගෙ දරු පවුලටවත් මුන් නිදහසක් දෙන්නෑ කියලයි තාත්ත කිව්වෙ. තාත්ත කවදාවත් පසුබෑමකට ලක් වූ චරිතයක් නොවෙයි.ඔහුටම අනන්‍ය වූ යහපත්  මානව ගුණාංග වලින් ඔහු පොහොසත්.

1977 දි තාත්ත බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසුව ජුවලරි අපනයන ව්‍යාපාරයක නිරතවෙලා තියෙනවා.නමුත් ඔහු ජීවත්වී තියෙන්නෙ වාම දේශපාලන ක්‍රියාකාරම් හා සමීපවයි.ජවිපෙ සභාග දේශපාලනය නිසා විනාශ වෙනව කියලයි ඔහු කිව්වෙ.1989

received_10155716637283439

දේශප්‍රේමී ව්‍යාපාරය මගින් අම්බලන්ගොඩ සිඳුකළ සාහසික ඝාතනයකට තාත්තා අත්අඩංගුවට ගෙන සැක පිට බන්ධනාගාර ගතකර තිබෙනවා.ඒ වන විට තාත්තා ජවිපෙ සමග දේශපාලනයේ නිරත වෙලත් නැහැ.කාගේ හෝ තරහ කාරයෙකුගේ කීමට තමයි තාත්තා එලෙස අත් අඩංගුවට අරගෙන තියෙන්නෙ.මම ඉපදිල අත දරුවෙක් විදියට අම්ම මාව  තාත්තට පෙන්වන්න බන්ධනාගාරයට අරගෙන ගිහිල්ල තියෙනවා.

ජවිපෙ හිටපු නායකයෙක් ගේ පුතෙකු විදියට ඔබ වත්මන් දේශපාලන වටපිටාව ගැන තියෙන අදහස මොන වගේද ?

මේ රටේ ක්‍රියාත්මක අනෙකුත්දේශපාලන පක්ෂ වලට වඩා ජනතා විමුක්ති පෙරමුණට මගේ ලේ නෑ කමක් තියෙනවා කියල මට හිතෙනවා. ඒත් ජවිපෙ පිළිබදව ම⁣ට පැහැදිලි විවේචනයකුත් තියෙනවා.මා  සෝමවංශ අමරසිංහ මාම එක්ක සම්බන්දතාවකුත් ගොඩ නැගී තිබුණා.මගේ පියාගේ මරණයට පක්ෂයේ කිසිම නායකයකු සහභාගි වුනෙත් නෑ.තාත්ත විතරක් නොවෙයි පක්ෂය ගොඩනගපු පසුකාලීනව පක්ෂයෙන් ඉවත් වී සිටින ක්‍රියාකාරීන්ගේ මරණයකදී සහභාගි වීම යුතුකමක් කෙලෙහිගුණ දැක්වීමක් බව මා සෝමවංශ මාමාට කියා තියෙනවා. ඔහු එය පිලි ගත්තත් වෙනසක් වුනේ නැහැ.මගේ නැන්දා යසෝමා බලන්න කවද හරි එන්න ඕන කියලත් ඔහු කිය කිය හිටියා.ඒත් ඔහුට ඒක මග හැරුණා.

ජවිපෙ වත්මන් නායකත්වය ප්‍රතිපත්ති ගරුකයි. ඒත් උද්දච්චයි කියලයි මට හිතෙන්නෙ. ඒ උද්දච්ච බව තුල නිර්මාණය වෙන ස්වයං වින්දනය පක්ෂයේ ජයග්‍රහන වලට බාධාවක්. ඔවුන් සිටින්නේ අධිතක්සේරුවකින්. අද මෙරට තියෙන්නෙ අවස්ථාවාදී සෝබන දේශපාලනයක්. දේශපාලන බලය වෙනස් කිරීමකට පෙර මිනිසුන්ගේ චින්තනය වෙනස් කල යුතුයි. අපි කැපුවත් කොල කැපුවත් නිල් දේශපාලනය මේ රට විනාශ කරමින් තිබෙනවා. මේකෙ හාස්‍ය ජනක පැත්ත තමයි සමාජගත උගතුන් බුද්ධිමතුන් පවා මේ මඩ ගොහොරුවේ ඇලී ගැලී ඉන්න එක.

කීර්ති ලොකුලියන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *