ජන ගඟක් වෙනුවට චූ ඇලක් තැනූ, තක්කඩියන්ගේ කොළඹ වටලෑම

ආණ්ඩුව පෙරළීම , ජන බලය යන වදන් ම ලෝකයා හමුවේ විහිළුවට ලක් කරමින් රජපක්ෂ  කල්ලියේ ඊනියා  ජනබල මෙහෙයුම, වීමට නියමිත ව තිබූ පරිදි ම , දිය වී ගියේ, එහි නායකයන් මොන තරම් තක්කඩියන් රැළක්  ද යන්න  මොළ කලඳක් හෝ ඇති ඕනෑ ම අයකුට වටහා දෙමිනි.

ආණ්ඩුව පෙරළා මිස, මහින්ද අගමැති පුටුවේ හිඳුවා මිස ආපසු ගෙදර යාමක් නොවන බවට ගම්මන්පිල , විමල් වීරවංශ, පවිත්‍රා දේවි  වැනි කුප්‍රකට වාචාල වාචලියන්  සැප්තැම්බර් 5 දාට පෙර දින කීපයක් මුළුල්ලේ , තමන් වෙනුවෙන් කැපවී සිටින මාධ්‍ය  ඔස්සේ කළ පම්පෝරි ගැසීම් නොතකමින් , එදින මැදියම් රෑ   ළං වත් ළං වත්, මහින්ද වෙනුවෙන් පණ දෙන්න වුනත් සූදානම්  යැයි මවා  පෙන්වූ සිය පාක්ෂිකයන් මාරුව දමා යද්දී, මේ තක්කඩියන් රැළ කලේ  රෑ දොළහ පසුවන තෙක් කල් මරා , තම සටන නියමාකාරයෙන් සම්පූර්ණ කළ බවට අතේ පුපුරණ ටොන් පචයක් ඇද බෑම ය.

මෙය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගනු ලැබුවේ , එවන් බැල කටයුතු සඳහා ම මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරනු ලැබ ඇති , රාජපක්ෂ වලව්වේ දුක් ගන්නා රාළ වන ඩලස් අලහප්පෙරුම ය. ඔහු තම බේගල ඉතිහාස ගත කරනු පිණිස සිය කතාව ආරම්භ  කලේ , අමතක නොකර වේලාව ටක්කෙට ම සඳහන් කරමිනි. වේලාව රෑ දොළහයි මිනිත්තු  එකයි! මෙවන් උප්පරවැට්ටි  මගින් තම අනුගාමිකයන් රැවටිය හැකි යැයි සිතීම ම මගින්  නොවරදින සේ සනාථ වන්නේ , ඔවුන් අමු ගොන් රැළක් සේ  මේ ඊනියා  නායකයන් විසින්  සලකනු ලබන්නේ ය  යන්න ය.

මෙම රැවටීම එතෙකින් අවසන් වූයේ නැත; වන්නේද නැත. සිදුවන්නේ රැවටීමට ගන්නා  උත්සාහයන් වඩ වඩාත් විකාරරූපී ස්වරූපයන් ගැනීමය. මහා පරිමාණ වංචාවල් ගණනාවකට මාට්ටු වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී බෙරිහන් දෙමින් කියා  සිටින්නේ තම ජනගඟ කොළඹ නගරය අල්ලා ගෙන සිටි බවත්, ජනපති හා අගමැති නිවාස අඩස්සියේ තබා ගෙන සිටි බවත් ය.

එහෙනම්  පැවතී  තිබෙන්නේ පූර්ව විප්ලවීය තත්ත්වයකි! ලේක්හවුස් වටරවුමේ සිට, ඊට කිලෝමීටර් ගණන් දුරින් පිහිටි තැන්වල සිටි ජනපති සහ අගමැති  නිවාස අඩස්සියේ තබා ගැනීම මගින්  මේ වීරයන් රැළ කර ඇත්තේ, ලෝක ඉතිහාසයේ කිසිදු විප්ලවයක දී කළ නොහැකි වූ ආකාරයේ මහා ප්‍රාතිහාර්යයකි! පෙර නොවූ විරූ මේ සා මහා කෙළියකින් පසු , පසු දින උදා වූ මොහොතේ ම සියල්ල නිමවා ගෙදර  යාම  නම්, ඇත්තෙන් ම ”විප්ලවය පාවාදීමකි”! ඊට පසු දින පාර්ලිමේන්තුවට ගොස්, අලුත් ආණ්ඩුව වැඩ පටන් ගැනීම වෙනුවට, බ. ගුණවර්ධන  සහ  හිරේ ඉන්න ජොනියා    හැර අන් එකකුවත් පර්ලිමේන්තුවට නොපැමිණීමෙන්  ඒ බැව් සංකේතවත් විය .

වෙනදා මොකක් හෝ බොරු හේතුවක් දක්වා පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැන ගෙන මහා ගාල ගෝට්ටියක් ඇති කරන මේ නඩය, අර තරම් කෙළියක්  කිරීමෙන් පසු පාර්ලිමේන්තුව පැත්ත පළාතේවත් පැමිණියේ නැත.  අන්තිමේ දී මහා ජන අරගලයේ එකම ප්‍රතිඵලය වූයේ  එය පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමවත්  නො ව ,   ඝණ පූරණයටත් වැඩක් දී, ජොනියා යළි හිර ගෙදරට යාමත්, බ. ගුණවර්ධන සිය බංගලාවට යාමත් පමණි . නව ගරු අග්‍රාමාත්‍ය මහින්ද පර්සි රාජපක්ෂ මැතිතුමා බේතකටවත් සොයා ගත නොහැකි වන පරිද්දෙන් අන්තර්ධාන වී සිටියේ ය.

දෙලක්ෂයක් පැමිණීමේ බොරුව හුදෙක් තර්කය පිණිස පිළිගත්තත්, 47 ලක්ෂයක් ඡන්ද ගත් පක්ෂයකට එපමණ හෝ ඊටත් වඩා වැඩි ජනකායක් කොලඹට ගෙන ඒමට හැකි වීම මහ කජ්ජක් නො වේ. විශේෂයෙන් ම, නනත්තාර වී ඇති ආණ්ඩුවක අමු ධනේශ්වර ප්‍රතිපත්තිවල ප්‍රහාරයන්ට නොකඩවා ගොදුරු වෙමින් ජනතාව පසු වන තත්ත්වයක දී, එසේ ගෙන ඒමට හැකි විය යුතු ම  ය.

එහෙත් මෙම ඊනියා ජන බල මෙහෙයුම දියත් කරන ලද්දේ එකදු  සැබෑ ජනතා ප්‍රශ්නයක් හෝ මුල් කර ගෙන නොව, අන්ත පාරාජිකාවූ පට්ට දූෂිතයන් සහ මිනීමරුවන් රැළකගේ නායකයා අගමැති පුටුවේ ලග්ගවනු පිණිස ය. එය යටි අරමුණක් නොව විවෘත ව ම ප්‍රකාශිත අරමුණ විය.

පළාත් පාලන ඡන්දයේ  දී ද කර ගන්නවා යැයි නරිවාදන් දෙඩූ නමුත් ඉටු කර ගත නොහැකි වූ මේ අරමුණ , එම ජනතාව පාරට බස්සවා හෝ ඉටු කර ගැනීමට තටමනු මෙහි දී දක්නට ලැබිණි . එය කරවා ගත හැකි වූයේ ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා -විරෝධී මගකට යොමු කර ගැනීමෙන් පමණි.එය කර ගත හැකි ව තිබුණේ   ,ජන ගඟක්  කොළඹට ගෙන්වා , ඒකාබද්ධයන් කී පරිදි ම කොළඹ වටලෑම මගින් , ජනාධිපතිවරයාට මාර ගැම්මක් ලබා දීම මගින් පමණි.

1964 දෙසැම්බරයේ දී  ශ්‍රිලනිප-ලසසප සභාග ආණ්ඩුව රාජාසන කතා විවාදයේ දී පරාජය වූ විට , පර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් සිරිමා බණ්ඩාරනායක වළකා ලීම සඳහා ජනතාව මෙසේ පාරට බැස්සවීමට ලසසප නායක දාසයන් වළිකෑවේත් මෙපරිදි ම ය.

එස්.බී. දිසානායක බේගල් ඇදබෑමෙහිලා කප් ගසා සිටින බව ඇත්ත  නමුදු , මෙම ජනබල මෙහෙයුමට ජනපතිගේ ද ආශිර්වාදය තිබිණැයි ප්‍රකාශ කරන විට එහි කිසියම් ඇත්තක් ඇතැයි විශ්වාස නො කිරීමට හේතුවක් නොමැත.

මහින්ද අගමැති නොකරන බවට 2015 අගෝස්තුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පෙරට ආ ජනපතිවරයා,  මහින්ද අගමැති කරන තෙක් කොළඹ වටලා සිටින බවට ඒකාබද්ධයන් ප්‍රසිද්ධියේ තර්ජනය කරද්දී එයට එරෙහිව වචනයකුදු නොදෙඩීමට වග බලා ගැනීම ද මෙහිලා සැලකිල්ලට ගත යුතු ම ය.

ජන ගඟ  සැබෑ ජන ගඟක් වූවා නම්, ඔහු බල්ටිය ගසන්නට බලා සිටියා ද? වටලෑම ජනගඟක් වෙනුවට සෑහෙන  ලොකු චූපාරක් වී, අන්තිමේ ටිකෙන් ටික දියවී රෑ 12.01 ට නිල වශයෙන් ම  අවසන් කරනු ලැබීමත් සමග ම රනිල්ගෙන් චුතවීමේ සිහිනය ඔහු  අත් හැරියාවත් ද?

කෙසේ වෙතත්  ඊට පසු දින  ඔහු රනිල් ද සිටිය දී ප්‍රකාශ කළේ  , රාජ්‍ය දේපළ හොරකම් කරන අයට මරණ දඬුවම දිය යුතු බව ය. තම ධුර කාලය අවසන් කිරීමට පෙර ඉන් එකකු හෝ එල්ලා දැමීමට  හැකි වන පරිදි අවශ්‍ය නීති තමාට පණවා දෙන ලෙස එම රනිල්ගෙන් ම ඔහු ඉල්ලා සිටියේ, ජන බල මෙහෙයුමේ මහිමයෙන් චුත කළ නොහැකි වූ රනිල් , ඔහුගේම නීතියක් අනුව නැත්තටම නැති කිරීමට පාර කපා ගැනීමට ද?

එස්. බී. ම හෝ ඒ වල්ල්ලේ අන් අයකු  එය ඉදිරියේ දී පහදා දෙනු ඇත.නියමිත දිනයට එක්  දිනකටවත් පෙර ජනපතිවරණය නොපවත්වන බවට සියල්ල අවසන් වූ පසු බෙරිහන් දෙමින් කියා පෑමට ජනපතිවරයා “වීරෝදාර”  වූයේ, ජනබල මෙහෙයුම පුස්සක් වූ බැව් සක්සුදක් සේ පහැදිලි වූ නිසා , මහින්ද සමග කසුකුසු කුට්ටම්වලින් ප්යිසෙක තරම් වැඩක් නැතැයි තීරණය කළ  නිස ද?

ජන බලවේග මගින් ආණ්ඩු පෙරළා දැමිය නොහැකි බවට දුමින්ද දි සනායක, මහින්ද අමරවීර යනාදීන් තෙපර බෑවත් , එය මුළුමණින් ම ඉතිහාසයේ පාඩම් වලට ප්‍රති විරෝධී  කතාවකි .

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සම්බන්ධයෙන්  ගත් කල මෙහිලා ලෝක ඉතිහාසගත අවස්ථාව වන්නේ, හරියට ම මීට අඩ සියවසකට පෙර, 1968 දී ප්‍රංශයේ හට ගත් ශිෂ්‍ය -කම්කරු මහා ජන අරගලය ය. එහි දී පෙරළා දැමීමට පාර  කැපුණේ  එසේ මෙසේ පාලකයකු නො ව,  මහා බලගතු ජනාධිපති  චාල්ස් ඩිගෝල් ව ය.එකල  එරට සාම්ප්‍රදායික ප්‍රධාන ම විරුද්ධ පක්ෂය වූ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ අමු ද්‍රෝහිකම් ද නොතකමින් මෝදු වූ එම අරගලයෙන් බේරෙනු පිණිස ඩිගෝල් දැරූ මර්දනකාරී සහ පර්ලිමේන්තුමය සියලු ප්‍රයත්නයන් නොතකමින් , එම සටන  ඉදිරියට ගියේ  ඩිගෝල් පාලනය පෙරළීමට මාවත සකසමිනි.

එහෙත් , හුදෙක් එක් නායකයකු  ඉවත් කර අන්ත පාරාජිකා වූ මහින්ද වැන්නකු රජ කර වීම වැනි ගෙරිකුණු අරමුණක් වෙනුවෙන් පොදුවේ ජනතාව තබා, ඔහුට ඡන්දය දෙන ජනතාවවත් දස ලක්ෂ සංඛ්‍යාත ව  වීදි නොබසින බව  මෙම ඊනියා ජනබල මෙහෙයුමෙන් යළිත් සනාථ විය.

පාර්ලිමේන්තු ක්‍රමය කුමන අඩුපාඩු මධ්‍යයේ හෝ ක්‍රියාත්මක වන තත්වයක් තුළ දී  එය උපරීම වශයෙන් ජනතාව බලමුළු ගන්වා ගැනීම සඳහා යොදා ගත යුතු ය. එසේ නොකිරීම හුදු ව්‍යාජ විප්ලවවාදී කට කයිවාරුකාරයන්ගේ මැත දෙඩීමක් වනු ඇත.

එහෙත් ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලන බලයක් ස්ථාපිත කර ගත හැක්කේ, ධනේශ්වර පාලක කල්ලි කල් යල් බලා  තම තමන්ට වාසි වන අවස්ථාවන්හි පවත්වන සහ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ධනස්කන්දයන් වැය කරමින්  ද  තමන්ගේ මාධ්‍ය පචමෝල් යොදා ගෙන ජනතාව මහා පරිමාණ ව  රවටමින් ද  පවත්වන  මෙවන්  මැතිවරණයන්ට සීමා වීමෙන් නො ව,   තමන්ගේ සබෑ ප්‍රශ්න මත දස ලක්ෂ සංඛ්‍යාත ව වීදි බසිමින් පවත්නා පාලන ක්‍රමය බිඳ දමා නව  පාලන ක්‍රමයක් බිහි කර ගනිමින් පමණි.

එක පවුලක් රජ කර වීමේ නීච අරමුණ උදෙසා පැවත් වූ ඒකාබද්ධයේ ඊනියා  ජන බල මෙහෙයුම සමග පොදු වූ කිසියම් ම දෙයක් එවන් සැබෑ ජන බල මෙහෙයුමකට නොමැත.

ටී. අන්ද්‍රාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *