ජනපති සිරිසේන රට අරාජික කරයි

පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවේ පසුගිය 10 වැනිදාය. මේ වන විට දින තුනක් ගෙවී අවසන්ය. පළාත් පාලන මැතිවරණයෙන් ජය ලබා ඇත්තේ කවුරුන්ද යන්න 10 වැනිදා මධ්‍යම රාත්‍රීය වන විට රටටම පැහැදිලි විය.

නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තරමක් ප්‍රමාද වුවද, පසුගිය 11 වැනිදා වන විට රටේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඵලය සැක හැර දැනගත් බව නිසැකය. එහෙත් අද වන තුරු ඔහු මේ මැතිවරණය ගැන කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

බැඳුම්කර වාර්තාව නිකුත් වූ සැනින් සිංහල පිටපතක් ද නොමැති අවස්ථාවක ඉංග්‍රීසි පිටපත ( පිටු දහස් ගණනකට වැඩි ) පරිශීලනය කරමින් තක හනියෙන් දින දෙකක් ඉක්ම යන්නට පෙර ජාතිය අමතා ප්‍රකාශ නිකුත් කළ ජනාධිපති සිරිසේන, මෙතරම් අතිශය වැදගත් සිද්ධියක් හමාර වී දින තුනක් ඉක්ම ගොස්වත් තවමත් මුඛය විවර කර නැත.

නායකයෙකු සතු විය යුතු කිසිදු ගුණාංගයක් හෝ සවියක් හෝ තමන් සතුව නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මේ වන විට ඕනෑවටත් වඩා යහමින් පෙන්වා ඇත.

රටක ජනාධිපතිවරයෙක් තම රටේ ප්‍රධාන මැතිවරණයක් අවසන් වූ පසු එම මැතිවරණයෙන් ප්‍රකාශ වී ඇති ජනතා හැසිරීම පිලිබඳව තමා දරන මතය ජාතිය අමතා ප්‍රකාශ කිරීම සිදු කළ යුත්තකි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මේ දක්වා එම කටයුත්ත ඉටු කර නැත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජය ගත් පොදු ජන පෙරමුණේ නිල නොවන නායකයා වන මහින්ද රාජපක්ෂ කියා සිටින්නේ වහාම ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයකට යා යුතු බවකි. එම පෙරමුණ නියෝජනය කරන වාසුදේව කියන්නේ වහාම චමල් රාජපක්ෂ අගමැති කොට භාරකාර ආණ්ඩුවක් පිහිටවිය යුතු බවය. ඒ පෙරමුණේම සිටින ගම්මන්පිල කියන්නේ වහාම ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම ඉවත් විය යුතු බවය.

රට තුල මතුවෙන මේ ඝෝෂාව ඉදිරියේ ජනාධිපති සිරිසේන නෑසූ කන්ව සිටී. රටේ ජනාධිපතිගේ මුඛ පූට්ටු වී තිබෙන තත්ත්වය තුළ රටේ ජනතාව සිතන්නට පටන් ගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණයකින් පරාජයට පත් වූ විට ජනාධිපති ධූරයත් ආණ්ඩුවත් යන දෙකම අවසන් විය යුතු බවකි.

මෛත්‍රීපාල සිරිසේන හරි හමන් නායකත්වයක් ඇති ජනාධිපතිවරයෙක් නම්, මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය විසින් එල්ල කරන මෙම මතවාදයට මේ වන විට නිසි පිලිතුරු ලබා දී තිබිය යුතුය.

පළාත් පාලන ආයතන වෙනුවෙන් පැවැත්වූ මැතිවරණයකින් කවුරුන් හෝ ජය ගත්ත ද, එය ජනාධිපති තනතුර හෝ ආණ්ඩුව වෙනස් කිරීමට අදාල නොවෙන බව ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතුව තිබේ. ආණ්ඩුව විසුරුවා හැරීමට යෝජනා කරන අයට ජනාධිපතිවරයා ලබා දිය යුතු පිලිතුර වන්නේ , 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර හතර හමාරක් ඉක්ම යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැකි බවය.

අළුත් ආණ්ඩුවක් අවශ්‍ය යැයි කියන අයට ජනාධිපතිවරයාට දිය හැකි පිලිතුර වන්නේ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා එය ඉටු කර ගන්නා ලෙසය.

මේ කිසිවක් නොකියා මුඛ පූට්ටු කර ගෙන සිටින සිරිසේන මේ වන විට 2015 ජනවාරි 08 ජයග්‍රහනය අමු අමුවේ නැවතත් මහින්ද රාජපක්ෂ කල්ලියට පවා දීමට සැරසෙමින් සිටී.

මැතිවරණයෙන් පසු මොකක්දෝ මහා දැනෙන වෙනසක් කරන බවට පාරම් බෑ සිරිසේන මේ වන විට කිලී මහාරාජාගේ පදයට නටන රූකඩයක් බවට පත් වී තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ල. නි. ප. යට 4 %  ක් සහ එක්සත් ජනතා නිදහස් සංධානයට 8 % ක් තරම් කුජීත මට්ටමේ චන්ද ප්‍රතිශතයක් ලබා ගත් සිරිසේන, 33% කට ආසන්න චන්ද ප්‍රතිශතයක් ලබා සිටින එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරින් ඉවත් වී වෙනත් කෙනකුට අගමැති තනතුර ලබා දිය යුතු බවට යෝජනාවක් ගෙනවිත් තිබේ.

අගමැති ධූරය වත්මන් කතානායක කරූ ජයසූරියට හෝ සජිත් ප්‍රේමදාසට ලබා දෙන ලෙස සිරිසේන කරන මෙම යෝජනාව සිරිසේනගේ නොවේ. එය කිලී මහාරාජාගේය. කිලී මහාරාජා එම යෝජනාව ජනාධිපති සිරිසේන වෙත යොමු කරන්නේ සිරිසේනගේ සම්බන්ධීකරන ලේකම් වරයෙකු මෙන්ම උපදේශකයකු ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක මඟිනි.

ජනාධිපති සිරිසේනගේ මේ දේශපාලන භාවිතය හැඳින්විය හැක්කේ දේශපාලන කුපාඩිකමක් ලෙස මිස අනෙකක් ලෙස නොවේ. ජනාධිපති සිරිසේන රට මේ තැනට පත් කිරීමට කටයුතු කළේ දැනට සෑහෙන කලකට පෙර සිටය. එහෙත් ඒ පිලිබඳ ඉඟි හට ගත්තේ ඝෝඨාභය අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේ සිරිසේන අස්වාභාවික ලෙස පරල වු තැන් සිටය. අනතුරුව රාජපක්ෂලාට එරෙහිව තිබූ කිසිදු නඩු කටයුත්තක් පැවැරීමට තිබූ සෑම අවස්ථාවක්ම ඔහු විසින් අහුරනු ලැබිණ. සිරිලිය ගිණුම පිලිබඳ කට උත්තරයක් ගැනීමටවත් අදාල නිලධාරීන්ට නිසි ලෙස ඉඩ කඩ ලබා ගැනීමටවත් සිරිසේන ඉඩ කඩ ලබා නොදුන්නේය.

සිරිසේන ජනාධිපති ලබා දුන් දුරකථන ඇමතුමට අනුව අත් අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා ඝෝඨාභයට රටින් පිට වූ බව ප්‍රසිද්ධියේ කිවේ සිරිසේන ජනපතිගේ කීකරු ගෝලයෙකු වූ බස්නාහිර පළාත් සභා මහ ඇමැති ඉසුර දේවප්‍රිය ය.

පළාත් පලන මැතිවරණයේන් පොහොට්ටුව ජයගත් සැනින් ඝෝඨාභය යළි ලංකාවට ගොඩ බැස්සේ ජනාධිපති සිරිසේනගේ ලැබුණු දුරකථන ඇමතුමක් නිසා විය හැක.

මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ඉලක්ක කොට කිසිදු නීතිමය සාක්ෂියක් නොමැතිව හොර නාම එල්ල කොට එ. ජා. ප. යට දරුණු දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපති සිරිසේන, මැතිවරණයෙන් පසු අන්ත කුජීත තත්ත්වයට පතව සිටින මේ මොහොතේ දී පවා එ. ජා. ප. ය තුළ අර්බුදයක් ඇති කිරීමේ කිලී මහාරාජාගේ කුප්‍රකට කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවට පණ දෙමින් සිටී.

මෛත්‍රීපාල සිරිසේන යනු ජනාධිපති පදවියකට තබා සමූපාකාර සමීතියක සභාපති කමකටවත් සුදුසු නොවන අන්ත බංකොලොත් චරිතයක් බව මේ වන විට ඔප්පු කොට හමාරය. මොහු සමඟ තව දුරටත් එක්ව ආණ්ඩු කිරීමට යමෙකු කලපනා කරන්නේ නම් ඔහුට එක්කෝ දරුණු ඔල්මාදයක් තිබිය යුතුය, නැතිනම් ඔහුට සිය දිවි හානි කර ගැනීමේ ආශාවක් තිබිය යුතුය.

2015 ජනවාරි 08 ශ්‍රී ලංකාවාසී ජනතාව තම ජීවිතය පරදුවට තබා සිදු කළ කැප කිරීම නැවත පාවා නොදී එය සුරක්ෂිතව රැක ගැනීමට නම්, ජනපති සිරිසේනගේ මේ කුමන්ත්‍රණය පරාජය කළ යුතුය. ඒ සඳහා එදා එක් වූ බලවේගය නැවතත් ඉදිරියට පැමිණ ද්‍රෝහී සිරිසේන පරදවා 2015 ජයග්‍රහනය ආරක්ෂා කර ගතයුතුය.

මේ වන විට ජනපති සිරිසේන විසින් රට තුළ නිර්මාණය කොට ඇති අරාජිකත්වය තව දුරටත් පැවතීමට ඉඩ නොතබා, වහාම රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීම වෙනුවෙන් එ. ජා. ප. ය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග එක්ව රට නැවත යතා තත්ත්වයට පත් කළ යුතුය. ඒ සඳහා මේ වන විට ඇති එකම විකල්පය වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීම ය.
කිලී මහාරාජා අඹරා දී ඇති ලනුව නොකා, අගමැතිවරයා කවුද යන්න පිලිබඳව  කඩිනම් තීරණයක් ගැනීම එ. ජා. ප. යේ වගකීමය.

එසේ නොවුණ හොත් අපට ඉතාමත් සමීප රට වූ බංගලිදේශයට අත් වූ ඉරණම අපටත් අත් විඳීමට සිදුවීම නො වැලැක්විය හැකි වනු ඇත.

සුනිල් ගාමිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *