කොන්ද පණ නැති ” නූතන දුටුගැමුණු “

මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයෙහි සිදු කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් එකක් වූ කීත් නොයාර් මාධ්‍යවේදියාට අමානුෂික  ලෙස පහර දී මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන්  එම රාජපක්ෂගෙන් අගෝස්තු 16 දා සීඅයිඩීය විසින්  ප්‍රශ්න කරනු ලැබී ය.

මෙවන් ප්‍රශ්න කිරීම්වලින් කට්ටි පැනීම ජානමය පුරුද්දක් බවට පත් කර ගනිමින් සිටි  මේ හොර පවුලේ  අනික් අය මෙන් ම  මෙතුමාද  අන්තිමේ දී  කට උත්තරයක් දුන්නේ ය.

නීතිය නවන බවට වෙනදා ආණ්ඩුවට  කෝචෝක් දමන මුන්නැහේ සහ ඇට්ටැඹි  රැළ  මොහු සීඅයිඩීයට නොගොස්  සීඅයිඩී ය තම දෙපතුල  ළඟට  ගෙන්වා ගැනීමේදී සිදුවූ නීතිය දෙකට නැමීම දකින්නේ සිදුවිය යුතු ම වූ දෙයක් ලෙසය. මන්ද? ඔහු හිටපු විධායක ජනාධි පතිවරයකු ය යනුවෙන් අටවා ගත් මහනන්තත්ත පදනම යටතේ ය. එවැන්නකුට එවැනි වරප්‍රසාදයක් හිමි වන්නේ  ව්‍යවස්ථාවේ  හෝ අන් කුමන නීතියක් හෝ  අනුවදැයි  මේ පෙන්දෝ පෙන්වා නොදෙති.

ඇත්ත වශයෙන් ම එය එසේ සිදු වූයේ , නීතිය හැමට එකාකාරව ක්‍රියාත්මක වන බවට පම්පෝරි කෙළිමින්  රට වටේ යන ඊනියා  යහපාලන ආණ්ඩුවේ නයකයන් දෙපොළ ම, මහින්ද සමග විවිධාකර ඩීල්  දමමින්  ඔහු ව නළවන නිසා ය.එසේ නොවන්නට  මේ වන විටත් මහින්ද සිටිය යුතුව තිබුනේ වැලිකඩ ය.

වෙනත් සියලු දෙනා සීඅයිඩීය හෝ පොලීසිය හෝ විසින් කැඳවනු ලැබූ විට අදාළ ස්ථානය වෙත යා යුතු වන්නේත්, මහින්ද රාජපක්ෂ සහ ඔහුට අවශ්‍ය පවුලේ අය ළඟට සීඅයිඩීය සහ පොලිසියේ අය යා යුතු වන්නේත් නීතිය කාටත් එක සමානය යන යහපාලන ප්‍රතිපත්තියේ කොයි අංශය යටතේ දැ යි  මොවුන් දෙදෙනා පෙන්වා දිය යු තුව ඇත.

මේ ක්‍රමයට අනුව මහින්ද උසාවියක් මගින් වරදිකරු කරනු ලැබූ විටක දී,  ඔහුට ඔහුගේ සිර දඬුවම සිය නිවසේ සිට ම ගෙවා දැමීමට ද මේ දෙන්නා ඉඩකඩ සලසා දීමට හොඳට ම  ඉඩ ඇත.

බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වුව හොත්,  එම වැඩ කිරීම ඒකබද්ධයේ  මන්ත්‍රී බැලයකුට  පැවරීමට ද ඉඩ ඇත. මහින්දට යළි වරක් ජනපති තරගයට ඉදිරිපත් විය හැකි යැයි ඒකබද්ධයේ සමහරක්  කියන්නේ ගොන්කමට යැයි ස්ථිර ව ම කිව හැකි වුවත්  ඔහුට ඒ සඳහා අවස්ථාව සලසා දීමට  මේ ජෝඩුව  ඔහු සමග ඩීල් එකකට  පමිණ සිටින නිසා  වීමට ද ඉඩකඩ නැත්තේම නො වේ.

කෙසේ වෙතත් , කීත් නොයාර් සම්බන්ධ  කරුණට  අදාළ ව කට උත් තරය දීමේ දී මහින්ද හැසිරුණ ජුගුප්සාජනක ආකාරය  සත්‍යය  වසන් කිරීම පෙරදැරි කර ගත්තක් බව  ළදරුවකුට වුව පැහැදිලි වන තරම් ය.

තමා  සිද්ධිය ගැන හාංකවිසියක්වත් දන්නේ නැති නම් , පක්කලියන් රැළ  නිවෙස ඉදිරිපිට ගාල් කර ගන්නේ  නැතිව, මහා නම්බුකාර විධායක ජනපති   ධුරයේ  ගාම්භීරත්වය හැල්ලු නොවන පරිදි සිය ප්‍රතාපවත් පපුව පෙරට දමා තනි පංගලමේ සීඅයිඩී නිලරීධාන්  හමුවට ඔහු යා යුතු ව තිබුණි.

කිසි ම බලපරක්‍රමයක් නැති මෙරට වැසියන් ඒවාට  යන්නේ ආපසු එන්නට වේදැ යි පවා නොදැන ය. ඒ සීඅයිඩී යට ය. මේ තමාගේ නිල නිවස ය. ගුටි පූජාවක් ලබීමේ කිසිදු අතුරු ආන්තරාවක් නැත. හතර වටේ මාධ්‍ය සගයෝ කැමරා ද සහිත ව  සිටිති. ඉන් සමහරුන් සිටින්නේ තමාට වාසිදායක වන ගොන් ප්‍රශ්නවලින් ද සන්නද්ධව  ය.

එහෙත් තමාගේම පුතුගේ නයකත්වයෙන් යුත් ඒකබද්ධයේ බැලයන් රැළක් පාරට බැස්සවීමෙන් තොරව කට උත්තරයක්වත්  දීමට , රට බේරා ගත්තා යැයි තෙපරබාන මේ නූතන දුටුගැමුණුට කොන්ද පණ නැත.

ඔහුම එතැනදී පිළි ගත් පරිදි  කීත් නොයර් පහෑර ගැනීමක් ගැන ඔහුට චෝදනාවක් නැත. ඔහු එසේ කීවේ  එවන් චෝදනාවක් ඇතැයි  , එයවත් නොදැන ප්‍රශ්න විචෑරීමට එහි පැමිණි මාධ්‍යකරුවකු යැයි කියා ගත් මෝඩයකුට පිළිතුරු දෙමිනි.

මේ සිද්ධිය සිදු වූ කාලයේ දී  ම  ප්‍රචලිත වී තිබූ කරුණ වූයේ , නොයාර් පහැර ගැනීමේ පුවත කීප දෙනකු  එවක ජනපති මහින්දට දැන්වූ බවත් ඉන්පසු ඔහු මුදා හරිනු ලැබූ බවත් ය. ඉන් සුපැහැදිලි වනුයේ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ මෙහෙයුමක් පැවති බවත් මහින්ද ඒ බව දැන සිටි බවත් ය.

මෙම මර්දනය මෙහෙයවීමට කෙලින් ම ඔහුත් සම්බන්ධ ද යනු වෙන ම සොය බැලිය යුතු කරුණක්  වන අතර ,නොයාර් ඝාතනය වැළකුනේ  මහින්ද ගේ මැදිහත් වීම නිසා වන හෙයින්,  එම මර්දනයන්  සිදු කරන්නේ කවුද යන්න ඔහු  දැන සිටි  බව සහ  ඒවා විසුරුවා හැරීමට ඔහු ක්‍රියා නො කළ බව පැහැදිලි  ය.

නොයාර් පැහැර ගෙන යාම ගැන කරු ජයසූරිය තමාට දුර කතනයෙන් දැන් වූ වගක් තමාට මතක නැතැ යි කීම, රවි කරුණානායකට  සහ උදය ගම්මන්පිලට සිදුවූ අමතකවීම්වලටත් වඩා විහිළු සහගත ය.

මුළු  රටේ ම පමණක්  නොව ජාත්‍යන්තරව ද මහත් ආන්දෝලනයකට ලක්වූ  සහ තම ආණ්ඩුවට පමණක්  නො ව, තමාට පෞද්ගලික ව ම දොස් පැවරුණ කරුණකට අදාළ  දුරකතන පණිවුඩයක් මෙසේ ලෙහෙසියෙන් අමතක විය හැකි ද?විශේෂයෙන් ම මෙම පණිවුඩය දුන්නේ , එක්සත් ජාතික පක්ෂය අමු අමුවේ පාවා දී තමාට මුක්කුව ගැසූවන්ගේ  ලොක්කා වූ කල්හි , මෙවන් අතිශය බැරෑරුම් දුරකතන  පණිවුඩයක් අමතක විණැ යි  කොණ්ඩය බැඳි චීනුන්වත් විශ්වාස නොකරනු ඇත.

නීතිමය වශයෙන් නිශ්චිත ව ඒ ගැන විමසෙන්නේ  වසර ගණනාවකට පසුව වීමේ කරුණ  පිටුපස සැඟ වී ජාම් බේරා  ගත හැකි යැයි සිතන්නේ නම් එය මුලාවකි. මන්ද යත් , එම කරුණ ජනමාධ්‍ය  තුළ ලිඛිතව ම  සටහන්ව තිබෙන නිසා ය.

කීත් නොයාර්ටත් මෙය එපා වී අතැයි  මහින්ද යාපා අබේවර්ධන ඇම්බැට්ටයා කළ ප්‍රකාශයෙන් නොකියා කියන්නේ  ”ඔන්න ඔහෙ ඕක අල්ලලා දාන්න ”  කියා ය.

කීත් නොයාර් නොඑන්නේ  ඔහුට අත් විඳීමට සිදු වූ වින්නැහිය අනුව, ශ්‍රී ලංකාවට ආවොත් අදාළ අපරාධකරුවන්  අතින්  තමාට  සිදුවිය හැකි නස්පැත්තිය ගැන ඔහුට කිසියම් ම සැකයක් නැති නිසා ය.

හිට්ලර්  කෙනකු බලයට ගෙන ඒමට කැස කවන සාපරාධී අමනයින් පූජකයන් අතර පවා සිටිය දී කීත් නොයාර්  එසේ නොපැමිණීම මුළුමණින් ම සාධාරණ ය.

කීත් නොයාර් පැහැර ගැනීම මෙන් ම ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම ද  ලසන්ත වික්‍රමසිංහ ඝාතනය මෙන් ම තජුදීන්  ඝාතනය ද   අනෙකුත් පැහැර ගැනීම් සහ ඝාතනයන්  ද සම්බන්ධ යෙන් නඩු පවරා සත්‍යය ලොවට දැන ගැනීමට සලස්වා වරදකරුවන්ට දඬුවම් දීමේ  කටයුත්ත නිමා කළ යුතු ය.

දැන් කාවක්වත් පැහැර ගන්නේ නැතැ යි කරන හුදු පම්පෝරිවලින් පළක් නැත. හරියට, අවශ්‍ය  නම් ඒවා කිරීමට ඔවුනට අයිතිය ඇතිවාක් මෙනි! නැත , ඒවා කිරීමට එකෙකුටවත් කිසිදු අයිතියක්  නැත.

ටී.අන්ද්‍රාදි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *