ෆේස්බුක් තහනම ඉවතට

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (16) ඉවත් කිරීමට රජය විසින් තීරණය කොට තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සහභාගි වූ බවත් ඒ අනුව මෙම එකඟතාවයට එළැඹි බවත් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටී.

පසුගියදා හටගත් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සමඟින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේ පළ වූ වෛරී ප්‍රකාශන වැලැක්වීම සඳහා මෙම සමාජ ජාලා අවහිර කළ බව ආණ්ඩුව ප්‍රකාශ කරන්නට යෙදුණි.

මෙවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන ලෙසට ආණ්ඩුව විසින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති අතර, මේවන විටත් ඒ සඳහා එකඟතාවය පළ වී ඇතැයි ද ඒ සඳහා එම සමාගමේ නිළධාරීන් පිරිසක ලබන 15 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම පිටිවහලක් වූ බව හමුදාපතිවරයා මෙන්ම බොහෝ මැති ඇමැතිවරු ද ප්‍රකාශ කර තිබුණි. තාවකාලික පියවරක් ලෙස මෙම තහනම ක්‍රියාවට නැගුන ද පැය 72 ක් ඇතුලත මෙම අවහිර කිරීම ඉවත් කරන්න බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණි.

ආණ්ඩුව ලබා දී තිබූ කාලය ඉකුත්ව යද්දී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විදේශ රටවල් වලින් මෙන්ම මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ද මෙම තහනමට එරෙහිව විරෝධය මතු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *