” සොයා බලා පුවත් මවන්න ” ගුවන් විදුලියෙන් අවවාදයක්

අප වෙබ් අඩවිය ” ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අපකීර්තිමත් දිනය අදයි ” යන ශීර්ෂ පාඨය යටතේ මැයි 07 වැනිදා පළ කරන ලද ප්‍රවෘත්තිය අසත්‍ය තොරතුරු පදනම් කරගනිමින් සකසන ලද්දක් බවත්, එවැනි ප්‍රවෘත්ති පළ කිරීම වටිනා වෙබ් මාධ්‍යක් ලෙස අපට නුසුදුසු බවත් දන්වා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයෙහි නියුතු මංජුල මඩවල මහතා විසින් ලියන ලද පැහැදිලි කිරීමේ සටහනක් අප වෙත යොමු කොට තිබේ.

අප වෙබ් අඩවියේ පළවන ඕනෑම පුවතක් පිලිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවේ නම් , ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට ඔවුනට ඇති අයිතිය අපි පිලිගනිමු. එබැවින් මංජුල මඩවල මහතා යොමුකළ සටහන කිසිදු සංස්කරණයකට ලක් නොකොට ඒ අයුරින්ම පහතින් පළ කරමු.

”  lankasky.com කරුණාකර සොයාබලා පුවත් මවන ලෙස දන්වා සිටිමි.

අනාධිමත් කාලයක සිට රජයේ පාඩුලබන මාධ්‍ය අයතනයක් වන ගුවන්විදුලියෙන් මඩකලපුවට කාර්යමණ්ඩලය 6ක් 7ක් ආයතන වාහනයක ගොස් රාත්‍රීයක් නැවතී දින 2ක වියදම් දරා මාධ්‍ය ආවරණය කර රැගෙන ඒමට වඩා ජනපති මාධ්‍ය ඒකකයෙන් විද්යුත් තැපැල් මගින් ලබාදෙන කථා ලබා ගැනීම වධිමත් හා කාලෝචිත බව ඔබ හටද වැටහෙනු ඇතැයි සිතමි.

සභාපති වරයාගේ හෝ අ.ජ වරයාගේ ඇගිලි ගැසීමෙන් තොර සම්පූර්ණ නිදහස හා අවසරය ජනාධිපති ඒකකයේ (සංවර්ධන ඒකකය) අධ්‍යක්ෂවරයා වූ තුෂාර මහතාට ලබාදී ඇත. එමනිසා සභාපති,අ.ජ හෝ වෙනත් නිලධාරියෙකුට දොස් නැගීමෙන් පලක් නැත. තුෂාර මහතාගේ පෟද්ගලික දේශපාලනයට ඔහුට අයිතියක් ඇත. ඔහු ඔහුගේ සේවය නිසිලෙස ඉටුකොට තම නිලධාරීන් හට නිසි උපදෙස් ලබාදී ඔහුට අවශ්‍යලෙස ඔහුගේ නිවාඩුව භුක්ති විඳ ඇත.

ජනපති මාධ්‍ය ඒකකයෙන් ලබාගත් එම කථාව ගුවන්විදුලියේ ප්‍රවෘත්ති හඬකොටස් හා 2018.05.08 උදෑසන 06.00 ප්‍රවෘත්ති ප්‍රකාශණයෙන් පසු සම්පූර්න කථාවට සවන්දිය හැක. සංරක්ශණ කටයුතුද ඉටුකොට ඇත. දැනගැනීමට අවශ්‍ය කෙනෙකුට පෙන්විය හැක. විපක්ශ මාධ්‍ය සඳහද එලසය. මීට වසර 3 කට පමන පෙර ගුවන්විදුලිය ලබාතිබූ අපකීර්තිය ඔබලට අමතක වීමට නොහැක.

එබැවින් ඉදිරියටත් අසත්‍ය තොරතුරු ලබා මෙවැනි වටිනා වෙබ් මාධ්‍ය මගින් නුසුදුසු පුවත් මවාදීමට ප්‍රථම ගුවන්විදුලියට හිතැති හා අදාල නිලධාරියෙකුගෙන් නිවැරදි තොරතුරු ලබාගන්නා ලෙස අවසන් වශයෙන් ඉල්ලා සිටිමි. මංජුල මඩවල ”

සංස්කාරක සටහන

ජනාධිපතිවරයාගේ මැයි දින කතාවේ මාධ්‍ය ආවරණය සඳහා කාර්‍යමණ්ඩලයේ 6 ක් 7 ක් ආයතනයේ වාහනයක මඩකලපුවට යවා දින දෙකක වියදමක් දැරීම ගුවන් විදුලි සංස්ථාවට කරන පාඩුවක් බව සලකා , ගුවන් විදුලියට පාඩු නොකිරීමට වග බලා ගැනීම යහපත්ය. ගුවන් විදුලිය පාඩු ලබන ආකාරය පිලිබඳව විස්තරාත්මක තොරතුරු අප සතුව ඇතත් ඒ ගැන පැවසීම පසෙක තබා මඩකලපු ගමනින් හෝ පාඩු ලැබීම වලක්වා ගැනීමට ගත් උත්සාහය අප අගය කරමු.

අප පැහැදිලිව මතුකළ කරුණ වූයේ රාජ්‍ය නායකයෙකු විසින් පවත්වන සුවිශේෂී කතාව පටිගත කිරීම හා එම කතාවට අදාල ප්‍රවෘත්තිය ආවරණය කිරීම ඉතිහාසගත සම්ප්‍රදාය අනුව මෙවර සිදු නොකිරීමය.

පුද්ගලික ගුවන් විදුලි නාලිකා ජනාධිපතිවරයාගේ මැයි දින කතාවට සම්බන්ධ ප්‍රවෘත්තිය, ජනාධිපතිවරයාගේ කටහඬේ කොටස් සහිතව එදින සවස 5.20 වන විට ප්‍රචාරය කළ ද, වෙනම ජනාධිපති මාධ්‍ය ඒකකයක් සහිත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන්නට හැකි වූයේ අදාල කතාව පවත්වා පැය 13 කට පසුවය. සවස 6.00 ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුලත් කිරීමට නොහැකි වුවත් අඩුම තරමේ රාත්‍රී 9.00 ප්‍රවෘත්ති ප්‍රකාශයටවත් එම ප්‍රවෘත්තිය ඇතුලත් කිරීමට නොහැකි වූයේ කිනම් කරුණක් නිසා දැයි කිසිදු පැහැදිලි කිරීමක් අදාල සටහනේ නැත.

මඩකලපුව හා ඊට යාබද ප්‍රදේශවල ජීවත්වන ගුවන් විදුලි සංස්ථාවට ප්‍රවෘත්ති ලබා දෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙකු යොමු කරවා සවස 6.00 යේ හෝ රාත්‍රී 9.00 යේ හෝ ප්‍රවෘත්ති ප්‍රකාශයට අදාල ප්‍රවෘත්තිය ඇතුලත් කර ගැනීමට විශාල මුදලක් වැය නොවන බව ඉතා පැහැදිලිය. නමුත් එය එසේ වී නොමැත.

ජනාධිපතිවරයාගේ මැයි දින කතාව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ලබා ගෙන ඇති බවත් , එය මේ වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංරක්ෂණය කර ඇති බවත් මංජුල මහතා පවසන්නේ, ගුවන් විදුලි සංස්ථාව විසින් පටිගත කිරීම නොකළාට ගැටලුවක් නැතිබව කීමටය.

අප දන්නා පරිදි ජනාධිපති මාධ්‍ය ඒකකය තමන් විසින් වෙනත් මාධ්‍ය ආයතනයකට යම් පටිගත කළ ප්‍රවෘත්තියක් ලබා දෙන්නේ ඔවුන් විසින් කරන සංස්කරණයකට යටත්වය. කෙසේ වුවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රාජ්‍ය නායකයෙකුගේ කතාවක් පටිගත නොකිරීමට තීරණය කළ ප්‍රථම අවස්ථාව මෙය ය.

සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඇඟිලි ගැසීමෙන් මිදුණු ජනාධිපති මාධ්‍ය ඒකකයක් ගුවන් විදුලි සංස්ථාව තුළ තිබීම සතුටට කරුණක් වුවත්, ඇඟිලි ගැසීම හා වගකීම කුමක්ද යන්න සභාපතිවරයාට හා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තෝරා බේරා ගැනීමට හැකි වී නොමැති බව නම් මෙම සිද්ධියෙන් මනා ලෙස පැහැදිලි වී ඇත.

ගුවන් විදුලියේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා වූ තුෂාර සන්දනායක මහතාගේ පෞද්ගලික දේශපාලන අයිතියට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බව අපි පිලිගනිමු. එසේම ඔහුට අයත් වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට ඔහු බැඳී සිටින බවද අප තරයේ විශ්වාස කරමු.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ අනුශාසක තනතුර හොබවන අයෙකු, ඊට ඉඳුරාම විරුද්ධ දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස සිටින ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ තනතුර දැරීම කොතරම් සදාචාර සම්පන්න දැයි අප නො අසමු. එහෙත් සමනල ක්‍රීඩාපිටියේ මැයි රැළියට සහභාගිවන්නට පෙර ඔහුගේ වගකීමක් ව පැවැති මඩකලපුවෙදී ජනාධිපතිවරයා පවත්වූ මැයි දින කතාව ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් නිසි කලට ප්‍රචාරය කිරීම පැහැර හැරියේ ඇයි දැයි අපි දැනුදු අසමු.

මංජුල මහතා පවසන පරිදි මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලබා තිබූ අපකීර්තිය අපට තියා කිසිවෙකුටවත් අමතක කළ නොහැක. එම අපකීර්තිමත් යුගයේ පාලකයන්ව සිටි උදවිය මෙවර මැයි දිනය පැවැත්වූයේ සමනල ක්‍රීඩාංගනයේ බවත් අප අමතක නොකළ යුතුය. එදා ගුවන් විදුලියට අත්කර දුන් අපකීර්තිය නිමා කරන්නට පැමිණි අලුත් උදවිය, එදාටත් වඩා අපකීර්තිමත් ලෙස හැසිරෙන්නේ නම් අප ඇතුලු කිසිවෙකුටවත් එය අනුමත කළ නොහැක.

ජනාධිපතිවරයාගේ දේශපාලන භාවිතය හා ඔහුගේ හැසිරීම පිලිබඳව අපට ඇත්තේ වෙනම මතයකි. එය අප වෙබ් අඩවිය ඔස්සේ පැහැදිලිව දක්වමින් සිටිමු. එනමුත් රටේ රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපතිවරයාගේ කතාව සංරක්ෂණය කිරීමත්, ඔහුගේ කතාව නිසි වේලාවට ජනතාවට දැනගැනීමට සැලැස්වීමත් ජනාධිපති මාධ්‍ය ඒකකයක් පිහිටුවා ඇති ගුවන් විදුලි සංස්ථාවට පැහැර හැරිය නොහැක. එය පැහැර හළ අපකීර්තිමත් දිනය පසුගිය 07 වැනිදා බව අප යළිදු කියා සිටිමු.

One thought on “” සොයා බලා පුවත් මවන්න ” ගුවන් විදුලියෙන් අවවාදයක්

  • May 10, 2018 at 10:00 am
    Permalink

    LankaSky ඇඩ්මින්/සංස්කාරක වරයට මාගේ අවංක ස්තිය පුදකර සිටිමි. ඒ මාගේ කෙටි විස්තර කිරීමට අවස්ථාවක් ලබාදුන් බැවින් හා ඔබට කෙනෙකුට තෝරා (මඩ) ගැසීමේ උවමනාවක් නොමැති බව සිතීමිනි. වටිනා වෙබ් මාධ්‍යක් ලෙස මා සඳහන්කලේ එම නිසාය. ඉහත පිළිතුරු මා සැපයුවේද අදාල අංශයේ සේවයේ නියුතු සහ ගුවන්විදුලි සේවකයෙකු වශයෙනි. එම නිසා අවවාදයක් ලෙසටම නොසලකන ලෙස ඉල්ලා සිටිමි.
    නමුත් වැඩියමක් ලෙස එදින (07) සවස 6.55 පුවතටද මඩකලපු මැයි දින රැලියේ විස්තරද, අපගේ රාත්‍රී 9.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශණයේ එදින සවිස්තර සමග හඬකොටස් 5 ක්ද (ජනපති, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල හා ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන්ගේ), රාත්‍රී 9.30 -10.00 විකාශණය වන දිශානතිය වැඩසටහනින් හඬ කොටස්ද, පසුදා (08) උදෑසන 6.00 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශණයෙන් අනතුරුව සම්පූර්ණ කථාවද ප්‍රචාරය වූ බව වගකීමෙන් හා පැහැදිලිව සඳහන්කල කරමි. එබැවින් ඔබ සඳහන්කල ඉතිහාසගත සම්ප්‍රදායට අනුවම ජනපති මාධ්‍ය ආවරණය මෙවරද අප හොඳින්ම සිදුකොට ඇත. අප හට ඔබ සමග වාද, භේද හෝ දිගින් දිගට තර්කයක් නොමැත. නිවැරදි කිරීම් වලට අවස්ථාව දීම පිළිබඳ හිතවත් කමක් ගොඩනැගින. දක්වන කරුණු පිළිගැනීම හෝ … ඔබගේ තීරනයකි. අප සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අප පිළිබඳ සම්පූර්න විශ්වාසය තබා ඇත. එබැවින් තොරතුරු පමනක් ලබා ගනී. සියල්ලෝම තම රාජකාරී නොපිරිහෙලා ඉටු කර ඇත, ඔබට කාගේ හෝ උසිගැන්වීම මත ඉලිප්පීමට තරම් සිද්ධියක් සිදුවී නොමැත.
    මා දන්නා තරමින් පසුගිය වසර 3 ම මැයි රැලි පැවැත්වූයේ කොළඹ සහ ඒ ආසන්නයෙහිය. එමනිසා ගැටලුහා චෝදනා කිසිවක් මතුවූයේ නැත. මෙතරම් දුරබැහැර ප්‍රදේශයක පැවැත්වූයේ මෙවරය.
    මෙතෙක් ජනපති මාධ්‍ය අංශය හා ජාතික ගුවන්විදුලිය අතර ඇති අන්නෝන්‍ය විශ්වාසය, සම්භන්ධය හා බැඳීම මත ගරු ජනාධිපතිතුමන්ගේ සංස්කරනය නොකල සම්පූර්ණ කථා අප මාධ්‍ය අංශයවෙත පමනක් ලබාදෙනු ලබනවා.
    තවද, ඔබසතු ගුවන්විදුලිය පාඩු ලබන ආකාරය පිලිබඳව විස්තරාත්මක තොරතුරු පසෙක තබා නොසිට කරුණාකර ගරු ජනපතිතුමන්ට, ගරු අගමැතිතුමන්ට, ගරු මාධ්‍ය ඇමතිතුමන්ට, හා අදාල නිලධාරීන් හට යොමුකරවනලෙස ඉල්ලා සිටිමි. එතතුමන්ලා ඒවට ක්‍රියාමාර්ග ගනු ඇතැයි සිතමි. ඒ පිළිබඳ ඕනෑම සහයෝගයක් මා ලබා දෙමි. ඔබද පෟද්ගලිකව ඒ බැවු දන්නා බව හැඟේ. සියලු සහයෝග ලබාදෙන්නේ, මමද මවු පිය සේවක පදනම මත රැකියාව ලැබ ආයතනයේ අභිවෘද්දිය සඳහා හිතැති, කැපවුනු සේවකයෙකු බැවිනි.
    එහෙයින් ඔබ උක්ත කරුණ පිළිබඳව කරුණු, කාරණා ගොඩක් නොදන්නා බවත්, ලබාගත් තොරතුරු සාවද්‍ය බවත් ඉතා කණගාටුවෙන් සඳහන් කරමි.
    මාහට සිංහල හා සිංහල භාශාවෙන්ද ලියනය කිරීමේ මනා දක්ෂතාවයක්/හැකියාවක් නොමැති බැවින් ඔබ විසින් පෙරදිනත්, අදත් සටහන් කල සියලු කාරනා වලට පිළිතුරු ලිවීමට නොහැකිවීම ගැන කනගාටු වෙමි.
    කාලය ඉතා වටිනා බැවින්ද මේ පුවත පිළිබඳව මා ආයතනයේ පිළිතුරු දීමට අදාල නිලධාරීන් හා සේවකයනුත් නිද්‍රානුයෝගීව සිටිනා බැවිනුත් මේ පුවත සම්භන්දයෙන් ඉදිරියේදී ඔබ මොන කරුණු සඳහන් කලත් මා ලබාදෙන අවසන් පිළිතුරු බැඳීම මේ බවත් සඳහන් කරමී. මා ලබාදුන් සත්‍ය තොරතුරු කියවූ පසුවත් යලිදු, දිගින් දිගටම, සිදු නොකිරීම, මනා ලෙස, අපකීර්තිය, එසේ වී නොමැත, පැහැරහැරිම ආදී වචන භාවිතය අසත්‍ය තොරතුරු මත ඔබ පසුගිය 07 වැනිදා ගැන කොතරම් ගැඹුරක එල්බී ඇතිදැයි පැහැදිලි වේ.
    කරුණාකර පෙර මෙන් මේ කරුණු දැක්වීමද මෙලසම පලකරන මෙන් ඉල්ලා සිටිමින්, කාටහෝ මේ කරුණ පිළිබඳව හෝ ගුවන්විදුලියේ යම් තොරතුරක් ලබාගැනීමට අවශ්‍යනම් 0777313627 අංකයට මා අමතන ලෙසද ඉල්ලා සිටිමි. ස්තූතියි. – මංජුල මඩවල.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *