සම්මුතිවාදී ආණ්ඩුව අවසන්, එ. ජා. ප. යෙන් තනි ආණ්ඩුවක්

මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශයට පත් වී ඇති චන්ද ප්‍රථිඵල වලට අනුව ආණ්ඩුව අන්ත පරාජයට , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මැතිවරණ සමයේ හා ඊට මාස කිහිපයකට පෙර සිට අනුගමනය කළ ක්‍රියා පිලිවෙත හේතු වූ බව පවසන එ. ජා .ප. ප්‍රබලයෝ, වහාම සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත්  ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිට විය යුතු බවට එ. ජා. ප. නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සිටිමින් එක්සත් ජාතික පක්ෂය තව දුරටත් විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බව පවසන මෙම ප්‍රබලයන් යෝජනා කර ඇත්තේ සුළු බහුතරයකින් හෝ ඉතා කඩිනමින් එකසත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිට විය යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ චන්ද පදනමින් ජනාධිපති බවට පත් මෛත්‍රීපාල සිරිසේන වසර තුනක් යන්නට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු අනෙකුත් නායකයන් හොරු බවට අභූත චෝදනා ප්‍රසිද්ධියේ සිදු කරමින් එක්සත් ජාතික පක්ෂයට සිදු කළ හානිය අතිශයින් බරපතල බව පෙන්වා දෙන මෙම එ. ජ. ප. ප්‍රබලයන්, මින් ඉදිරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ගමන් කිරීම තම පක්ෂය විනාශයටම රැගෙන යාමක් බවද කියා තිබේ.

බැඳුම්කර ගණුදෙනුව පදනම් කර ගෙන තම පක්ෂයට එල්ල කළ ප්‍රහාරය, සමස්ථයක් ලෙස ආණ්ඩුවම දුර්වල කිරීමට බලපෑ බව මෙ වන විට ඉතා පැහැදිලි බවත් පවසන එ. ජ. ප. ප්‍රබලයන්, ජනාධිපතිවරයා ලඟ සිටින එ. ජ. ප. නායකත්වය සමඟ පුද්ගලික විරෝධයක් ඇති උපදේශකයන් සහ කිලී මහාරාජාගේ මාධ්‍ය මෙම කුමන්ත්‍රණයේ නියමුවන් වූ බව ද පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එල්ල වී ඇති බැඳුම්කරය ඇතුළු අනෙකුත් චෝදනා අධිකරණය හමුවේ විභාග කිරීමට සලස්වා , එ. ජ. ප. ය නැවත මුල සිට ප්‍රතිසංවිධානය කළ යුතු බව මෙම ප්‍රබලයන්ගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *