රාජපක්ෂලාට කඩේ ගිය මාධ්‍ය ආයතන ජනතාව නොමඟ යවනවා – අගමැති

රාජපක්ෂ රෙජීමයට කාලයක් පුරා කඩේ ගිය මාධ්‍ය ආයතන , ජනතාව රජයට ලබා දී ඇති වරම ක්‍රියාවට දැමීමට නොහැකි වන ආකාරයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රකාශය කරනු ලැබුවේ අද ( 19 ) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සඳහන් කරමින් එම නාහිමියන්ගේ ඡායාරූපය සහිතව සියලුම පුවත් පත් සහ අනෙකුත් මාධ්‍යවල පල කර තිබූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යක් බවත්, එවැනි ප්‍රකාශයක් කිරීමට තබා උන්වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බවත්, මහනාහිමියන් වහන්සේ තමන් සමඟ පවසා සිටි බවත් අගමැතිවරයා වැඩි දුරටත් හෙළි කලේය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයා ලෙස තමාගේ මතය පිළිගන්නා බව මල්වතු මහනාහිමියන් වහන්සේ මීට පෙර පැහැදිලිව ප්‍රකාශ කර තිබූ බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා ජනතාව වරමක් ලබා දී තිබිය දී  ලංකාදීප , දිවයින , ඩේලි මිරර් ආදී පුවත්පත් මෙන්ම හිරු සහ දෙරණ වැනි රූපවාහිනී නාලිකා මඟින් ජනතාව නොමඟ යවමින් සිදු කරන මාධ්‍ය සෙල්ලම නතර කරන්නැයි තමා ඉල්ලා සිටින බවද අගමැතිවරයා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු මහනාහිමියන් වහන්සේ හමු වූ අවස්ථාවේදී, රට පාලනය කරන නායකයන් දෙදෙනා ව්‍යවස්ථාව පිළිබඳව සහතිකයක් දී ඇති හෙයින් එහි වලංගුභාවය පිළිබඳව ප්‍රශ්න කිරීමේ තේරුමක් නැති බව මහ නාහිමියන් විසින් ගුණවර්ධන මහතාට පෙන්වා දුන් ආකාරය ද අගමැතිවරයා නැවතත් සිහිපත් කළේය.

මහ නාහිමියන් රටේවත් නැති අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන්නේ ඇයි දැයි තමා ජනමාධ්‍ය ආයතන වලින් විමසීමට කැමැති බව ප්‍රකාශ කළ අගමැතිවරයා , මල්වතු මහනාහිමියන් මේ මොහොතේ වැඩ සිටින්නේ කොහේ දැයි ඔබේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැනුම් දෙන ලෙසද එම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීම සඳහා පැමිණි සිටි මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

1973 දී තමා පුවත්පත් කලාවේදියෙකු ලෙස ලේක් හ්වුස් ආයතනයේ පළපුරුද්ද ලබා ගත් අවස්ථාවේ දී විරුද්ධ මත ඉදිරිපත් කිරීම ගැන පාඩම් ඉගෙනගත් බව කී අගමැතිවරයා, කරුණු වැරදියට වාර්තා කර පාඨකයන් නොමඟ යැවීම මහජනයාට කරන අසාධාරණයක් බවද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *