රනිල්ට දොස් කියූ සිරිසේනත් ආර්ථිකය නොරටුන්ට භාර දීලා

ශ්‍රී ලංකාවේ වැදගත්ම ආර්ථික මර්මස්ථාන සියල්ලකම පාහේ තීරණ ගැනීමේ බලය , විදේශික පුරවැසිභාවය සහිත පුද්ගලයන් අතට පත් කිරීමෙන්, ශ්‍රී ලංකාවේ අනාගතය අතිශය භයානක තත්ත්වයකට ඇද දමා ඇතැයි ශ්‍රී ලංකාවේ මධ්‍යස්ත මතධාරී ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉතා ගැඹුරින් අධ්‍යනයක යෙදෙමින් සිටින මධ්‍යස්ථ මතධාරී ආර්ථික විශ්ලේෂකයන් පිරිසක් එක්ව පසුගිය ද  අගනුවරදී පැවැත්වූ සාකච්ඡාවකදී මෙම නිගමනයට එළැඹ තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ මුදල් වංචාවට සෘජු ලෙස බලපා ඇත්තේ, එම ආයතනයේ සභාපති තනතුරට විදේශික පුරවැසි භාවයක් සහිත පුද්ගලයෙකු පත් කිරීමට ගත් තීන්දුව නිසා බව පවසන මෙම ආර්ථික විශ්ලේෂකයෝ, එවැනි තීන්දුවක් ගැනීමෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකයට බරපතල වරදක් සිදු කර ඇති බවද පෙන්වා දී තිබේ.

මහ බැංකු මූල්‍ය වංචාව පිළිබඳව ජනාධිපති, කොමිෂමක් පත් කොට, එයින් හෙළිදරව් වූ කරුණු වලටත් එහා ගොස් දැඩි ප්‍රහාරත්මක විවේචනයක් රට පුරා ගෙන ගිය මෛත්‍රීපාල සිරිසේන ද, රනිල් වික්‍රමසිංහට නො දෙවැනි ලෙසට රටේ අනාගත ආර්ථිකය දැඩි අනතුරකට හෙළා ඇති බව ද මෙම ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.

රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික සභාව විසුරුවා හළ ජනාධිපති සිරිසේන, තමන් පත් කළ ආර්ථික කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ද විදේශික පුරවැසිභාවයක් හිමි ආචාර්ය සමරතුංග නමැත්තෙකි. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයාටත් එහා ගොස්  රටේ ආර්ථිකය පිළිබඳව තීරණ ගැනීමේ බලය නොරටුන්ට පවරා ඇතැයි ද මෙම විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රාජ්‍ය අංශයේ අනෙකුත් වැදගත් ආයතන බොහෝමයක තීරණ ගැනීමේ බලය සහිත  පුද්ගලයන්ට ලබා දී ඇති බව පෙන්වා දෙන මෙම විශ්ලේෂකයෝ, ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ධූරය අර්ජුන රණතුංගගේ සොහොයුරු වූ විදේශික  පුරවැසි භාවය සහිත  ධම්මික රණතුංගට ලබා දී ඇති බවද, මොවුහු පෙන්වා දෙති.

සමස්ථයක් ලෙස, ආර්ථික වශයෙන් වැදගත් ප්‍රධාන මර්මස්ථාන සියල්ලකම පාහේ ප්‍රධාන තනතුරුත්, රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීම සඳහා පිහිටුවා ඇති සභාවල ප්‍රධාන තනතුරුත්, විදේශික පුරවැසිභාවය සහිත පුද්ගලයන්ගෙන් පුරවා ඇති තත්ත්වයක් තුළ , එක්තරා තීරණාත්මක අවස්ථාවක දී මොවුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා රට හැරදා පලා යෑමට ඉඩ ඇති බව මෙම ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වි තිබේ.

එවැනි තත්ත්වයක් ඇති වුව රටේ අනාගතයට මරු පහරක් එල්ලවීම නොවැලැක් විය හැකි යැයි මොවුන්ගේ නිගමනය වී තිබේ.

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් යන පාර්ශව දෙකම එකඟත්වයකට පැමිණ මෙම වැරදි කඩිනමින් නිවැරදි කර ගත යුතුය යන්න පවසන මෙම විශ්ලේෂකයෝ, ඒ සඳහා රටේ ජනතාවගෙන් දැඩි පීඩනයක් මෙම නායකයන් දෙපලටම එල්ල කළ යුතු බවද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *