බුද්ධිමය දේපල භාර අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇමැති සහ ලේකම්ව  “අල්ලෙ නටවලා”

බුද්ධිමය දේපල කාර්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක නමැත්තිය විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා මෙන්ම එම අමාත්‍යංශයේ ලේකම්වරයාව ද  ” අල්ලේ නටවමින් ”  තමන්ට අභිමත පරිදි රජයේ පරිපාලන ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කරමින් බුද්ධිමය දේපල කාර්‍යංශය විනාශ මුඛයට ගෙනයමින් සිටින බව එම ආයතනයේ සේවකයෝ  පවසති.

රටේ ආර්ථිකයට සෘජු ලෙස බලපාන අතිශය වැදගත් රාජ්‍ය ආයතනයක් වන බුද්ධිමය දේපල කාර්යංශය මෙසේ විනාශ මුඛයට ගෙනයාමට ක්‍රියා කරන මෙම නිළධාරිනිය, මෙම තනතුරට පත්වීමට නිසි සුදුසුකම් සපුරා නො තිබෙනවා පමණක් නොව අදාල ක්ෂේත්‍රය පිලිබඳව කිසිදු දැනුමක් ද නොමැති නිලධාරිනියක් බව එම ආයතනයේ සේවය කරන දෙවන පෙළ නිලධාරීන් පෙන්වා දෙති.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ මෙම නිලධාරිනිය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වීමක් ලබා ගැනීමට කිප වතාවක්ම උත්සාහ ගත්තද, එය ඉටු කර ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟම නැවත වතාවක් ඇය ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට හැකිවී ඇත්තේ යහපාලන ආණ්න්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු හා තවමත් කැබිනට් අමාත්‍යධූරයක් දරමින් සිටින ඇමතිවරයෙකුගේ ආශිර්වාදය හා සෘජු සහයෝගය ඇතුව බවද වාර්තා වේ.

අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් සිදු කර ඇති අනීතික ක්‍රියා පිලිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කරනු ලැබූ එම ආයතනයේ දෙවන පෙළ නිලධාරීන්ගෙන් පලි ගැනීමට ආරම්භ කර ඇති ඇය, කාන්තාවක් ලෙස තමන්ට හිංසා කළ බව පවසමින් ඔවුන්ට එරෙහිව මානව හිමිකම් කොමිෂම හමුවේ නඩුවක් ද පවරා තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව එල්ලවී ඇති විවිධ චෝදනා සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ  කටයුතු අමාත්‍යංශය විසින් සිදු කරනු ලබන පරීක්ෂණය මේ වන විට නවතා දමා ඇති අතර ඊට බලපෑම් එල්ල කොට ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීමෙන් බවද වාර්තා වේ.

ජේ‍යෂ්ඨත්වයක් නොමැති මෙම අමාත්‍යංශ ලේකම්වරයා,  අදාල නිලධාරිනියට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ ලබාදීමෙන්  ආයතනයේ අනෙකුත් ජේ‍ය්ෂ්ඨ නිලධාරින්ව අකර්මන්‍ය තත්ත්වයකට  පත් කර තිබේ.

බුද්ධිමය දේපල කාර්‍යංශයේ පවතින මෙම ව්‍යාකූල පරිපාලන දුර්වලතා මග හැර ගැනීම සඳහා අතිරේක අධ්‍යක්ෂ තනතුරක් ඇති කර ඇතත්, එම තනතුරට බඳවා ගැනීමට සිටි නිලධාරියාට ද එම තනතුරට පත්වීමට ඉඩකඩ වැලැක්වීමටද මෙම අධ්‍යක්ෂ ජනරාල්වරිය  ක්‍රියා කොට තිබේ.

බුද්ධිමය දේපල කාර්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාල ආයතනයටත්, පොදුවේ සමස්ත රටටත් සිදු කරමින් පවතින මෙම විනාශය වලක්වා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි, මැයව ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතත්, විෂය  භාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ සහ අමාත්‍යංශ ලේකම්ගේ සහාය ඇතිව එම තීරණය වලක්වා ගැනීමට අදාල අධ්‍යක්ෂ ජනරාල්වරිය ක්‍රියා  කොට ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *