පොහොට්ටුවෙන් ඉල්ලුමක් නැතිව ශ්‍රී ල. නි. ප. 16 දෙනා අතරමං

යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස කටයුතු කරමින් සිට , පසුගිය 04 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභ්ංගයට ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දැඩි මත ගැටුමක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එ. ජා. ප. ය විසින් ආණ්ඩුවෙන් පළවා හරින පුද්ගලයන් කිසිසේත්ම වීරයන් නොවන බවත්, වසර තුනක් පුරාවට යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ සියළු කටයුතු වලට මේ පිරිසද එක හා සමානව වගකිව යුතු බැවින් , ඔවුන්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවාගෙන ඔවුන්ගේ පව් සෝදා හැරීම කිසිවිටක සිදු නො කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා සහ ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බහුතරයක් මෙම මතයේ දැඩිව සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින විමල් වීරවංශ , උදය ගම්මංපිල, වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවරධන යන පිරිස්වල අදහස වී ඇත්තේ අදාල 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයට එකතු කර ගැනීම වාසිදායක බැවින් එය කෙසේ හෝ සිදු කළ යුතු බවය.

එහෙත් ඊට දැඩි ලෙස විරෝධය දක්වන බැසිල් රාජපක්ෂ සමඟ සිටින කණ්ඩායමේ තර්කය වී ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවීමෙන් , මෙතෙක් තමන් කළ වැරදි රනිල් මත පමණක් පටවා මේ අය අත සෝදා ගන්නට උත්සාහ කරන බැවින් , මොවුන්ව ඒකාබද්ධ විපක්ෂයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ බඳවා ගැනීමෙන් සිදුවන්නේ මොවුන්ට සුජාත භාවයක් ලබා දීමක් බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වී කෙටි කලක් තුළ ලබාගත් විශාල ජයග්‍රහනය , ඇතැම් පණ්ඩිතයන්ගේ සහ ඇතැම් වලිප්පුකාරයන්ගේ මෝඩ තකතීරු ක්‍රියාවක් වන විශ්වාසභංගය නිසා බිඳවැටී ඇති අවස්ථාවක, සිරිසේන ශක්තිමත් කරමින් වසර තුනක් පුරා සියළු සැප සම්පත් විඳි මේ පිරිස එක්කර ගැනීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින බිම් මට්ටමේ ජනතාව නැතිකර ගැනීමට තමන් කිසිසේත්ම ක්‍රියා නොකරන බව බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිස දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

මේ තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ඡන්දය දුන් ශ්‍රී . ල. නි. ප. යේ 16 දෙනා විශාල අර්බුදයකට මුහුණ පා සිටින අතර, යන එනමං නැතිවී සිටින මොවුන් මේ වන විට තීරණය කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ම තව දුරටත් රැඳී සිටීමට බව ද වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂගේ අදහස වී ඇත්තේ තමන් විසින් භාර දුන් යම් වැඩ කොටසක් යහපාලන ආණ්ඩුව තුළ සිට ඉටු කළ සුසිල් ප්‍රේමජයන්ත පමණක් හෝ ඒකාබද්ධ විපක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කර ගත යුතු බවය. ඒ අනුව බොහෝවිට ඉදිරියේ දී සුසිල් ප්‍රේමජයන්ත පමණක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වනු ඇතැයි ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *