ප්‍රචණ්ඩව හැසිරුණු භික්ෂූන් ගැන නීතිය හා සාමය ඇමැතිට නිනව්වක් නැති ලු !

මහනුවර දිස්ත්‍රික්කය තුළ පැතිර ගිය ජාතිවාදී ප්‍රහාර වලදී ප්‍රචණ්ඩව හැසිරුණු භික්ෂූන් වහන්සේලා සිටින්නේ දැයි තමන්ට දැන ගන්නට නැතැයි නීතිය හා සාමය පිලිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල දී අදාල ප්‍රදේශ වල සිදු කැරුණු සංචාරයේදී එම පලාත්වල සිටි සිංහල ජාතිකයන් මෙන්ම මුස්ලිම් ජාතිකයන් ද හමු වූ බව පවසන අමාත්‍යවරයා, ඔවුන්ට අනුව සමහර භික්ෂූන් වහන්සේලා ප්‍රශ්නය විසඳීමට හා ආරක්ෂාව දීමට කට යුතු කළ නමුත් ඇතැම් භික්ෂූන් වහන්සේලා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇතැයි ද කියා සිටී.

නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ බී බී සී සිංහල සේවය අසන ලද පැනයකට පිලිතුරු ලබා දෙමිනි.

ප්‍රචන්ඩ ක්‍රියා පැතිර යද්දී පොලීසිය ‘ බලා සිටි ‘ බවට සහ කළහකරුවන් පාලනය කිරීමට පියවර නොගත් බවට එල්ලවන චෝදනාව පිලිබඳව අදහස් දක්වා ඇති අමාත්‍යවරයා පවසා ඇත්තේ, මේ අවස්ථාවේ අවශ්‍යව ඇත්තේ ” ප්‍රශ්නය වැඩිකර ගන්න නොවෙයි. ප්‍රශ්නය පාලනය කර ගන්න, ” බවය.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මෙම ජාතිවාදී ප්‍රහාරයන් පිලිබඳව මීට පෙර ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරමින් කියා සිටියේ  මෙම ප්‍රහාරය පිටුපස විපක්ෂයේ ඇතැම් ජනතා නියෝජිතයන්, සංවිධායකවරු මෙන්ම එකී පක්ෂයට අයත් භික්ෂූන් වහන්සේලා ද සිටින බවකි.

රාජිත ඇමැතිවරයා දන්නා භික්ෂූන්වහන්සේලා පිලිබඳව නීතිය හා සාමය ඇමැතිවරයා දැන නොසිටීම පුදුමයක් යැයි ප්‍රහාරයට විරුද්ධව පෙනී සිටින සිංහල සහ මුස්ලිම් ජනතා නියෝජිතයෝ ප්‍රකාශ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *