නීතිය හා සාමය දෙන බව මද්දුම බණ්ඩාරවත් දන්නෙ නැතිලු !

ජනාධිපති සිරිසේන විසින් අද ( 08 ) සිය නිළ නිවසට කැඳවා නීතිය හා සාමය අමාත්‍යංශය ලබා දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, එම තනතුර ඔහුට ලබා දෙන බවට නිළ නිවසට යනතුරුම දැන සිට නැතැයි සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියාය.

රටේ ආරක්ෂාවට කැමැති සියළු දෙනාම තමන්ට මෙම අමාත්‍යධූරය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමින් ආශිර්වාද කළ බව පැවැසූ සරත් ෆොන්සේකා, මේ වන විට එම තනතුර වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇතැයි ද කීය.

මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ රට ගැන සිතා යැයි කිව නොහැකි බව පැවසූ සරත් ෆොන්සේකා මහතා, ජනාධිපතිවරයා විසින් ගෙන ඇති මෙම තීරණයට තමන් ඉතා පිලිකුලෙන් යුතුව අප්‍රසාදය පළ කරන බවත් රට වෙනුවෙන් කල්පනා කොට ඉදිරියේ දී අවශ්‍ය පියවර ගැනීමටත් තමන් බලාපොරොත්තු වන බවත් වැඩි දුරටත් පැවසීය.

මේ අතර, නීතිය හා සාමය අමාත්‍ය ධූරය රංජිත් මද්දුම බණ්ඩාරට ලබා දීම ගැන තමන් ඉතා සතුටු වන බවත්, එතුමාට සුභ පතන බවත් මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියාය. නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනු ලැබුවේ නව අමාත්‍යවරයා තමන්ගේ පලාතට යාබද පලාතේ සිටින ඉතා හොඳ පුද්ගලයකු බවය. ඒකාබද්ධ විපක්ෂයේ පොළොන්නරුව දිස්තික්කය නියෝජනය කරන රොෂාන් රණසිංහ පැවසුවේ එ. ජා. ප. යේ සිටින ඉතාමත් හොඳ පුද්ගලයෙකුට මෙම ඇමැති ධූරය ලැබීම සුදුසු බවය.

පළාත් පාලන මැතිවරණයටත් බොහෝ කලකට පෙර සිටම රාජපක්ෂවරුන් සමඟ රහසිගත එකඟ තාවයක සිටින ජනාධිපති සිරිසේන කිසි දිනක නීතිය හා සාමය අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට ලබා නො දෙන බව  ස්ථීර යැයි අප මීට පෙර පෙන්වා දුන්නෙමු.

රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නො තැබීමට ජනාධිපති සිරිසේන විසින් තීරණය කර ඇත්තේ, 2020 දී තමන්ට නැවතවරක් ජනාධිපති තනතුරට පත්වීමට රාජපක්ෂවරුන් විසින් සහයෝගය ලබා දෙන බවට වූ එකඟතාවය ප්‍රකාරවය.

ඒ අනුව තමන්ට පාලනය  කර ගත නො හැකිමෙන්ම, රාජපක්ෂවරුන්ගේ දූෂිත කටයුතු වලට එරෙහිව නොබියව නීතිය ක්‍රියාත්මක කිරීමට බලා සිටින සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය භාර නොදී තමන්ට පාලනය කර ගත හැකි පුද්ගලයෙකුට එම අමාත්‍ය ධූරය ලබා දීම ජනාධිපති සිරිසේනගේ එකම ඉලක්කය වී තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *