දුමින්ද – මහින්ද එලවීමට ඇටවූ මධ්‍යම කාරක සභා උගුල බිඳ වැටෙයි

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද ? නැද්ද? යන්න තීරණය කිරීමට යැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවාගෙන ඒ සභාවට හදිසියේ ගෙනෙන යෝජනාවක් ලෙස , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූර වලින් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර එලවා දැමීමට ඊයේ (09) රාත්‍රියේ ශ්‍රී ල. නි. ප. යේ රාජපක්ෂවාදීන් දියත් කළ කුමන්ත්‍රණය පරාජය කරන්නට ශ්‍රී. ල. නි. ප. මධ්‍යම කරක සභාවේ සිටින රාජපක්ෂ විරෝධීන් ක්‍රියා කොට තිබේ.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඉවත් කළ යුතු බවට එ. ජා. ප. පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙන ආ බලපෑම හේතුවෙන් ජනාධිපති සිරිසේන හමුවූ රනිල් වික්‍රමසිංහ අදාල ඇමැතිවරු ඉවත් කරන ලෙස දැනුම් දී තිබිණි.

මේ අතරතුර අදාල ඇමැතිවරු තමන්ට සිය ඇමැති ධූර වලින් ඉවත්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබුණි. මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාට ඊට අවසරදීමට හැකියාවක් තිබුණ ද ඒ සඳහා හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේ කුමන හේතුවකට දැයි ශ්‍රී ල. නි. ප. යේ බහුතර කණ්ඩායමට ප්‍රහේලිකාවක් වී තිබුණි.

මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (09) රාත්‍රී 7.00 ට ය. එහෙත් එදින දහවල් ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධනගේ නිවසේ රැස්වූ ශ්‍රී ල. නි. ප. රාජපක්ෂවාදී කල්ලිය, කලින් යොදා ගෙන තිබූ අන්දමට දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර ලේකම් ධූරවලින් එලවා දැමීමට යොදා ගත් සැලසුම පිලිබඳව දීර්ඝව සාකච්ඡා කොට තිබේ.

මෙම සැලසුම සකස් කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත බවත්, රාජපක්ෂවරුන් සමඟ සංධානගතව සිටින ජනාධිපති සිරිසේන ද මෙම කුමණ්ත්‍රණයට නිහඬව ආශිර්වාදය ලබා දී ඇති බවත් ශ්‍රී. ල. නි. ප. රාජපක්ෂ විරෝධීන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් අදාල මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන කිසිදු තීරණයක් ගෙන නැති අතර, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර ලේකම් ධූර වලින් ඉවත් කිරීමට ගෙන ආ යෝජනාවට මධ්‍යම කාරක සභාවේ බහුතරය දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව ශ්‍රී ල. නි. ප. අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ තත්ත්වය යටතේ ශ්‍රී.ල. නි. ප. යේ රාජපක්ෂවාදී කල්ලියට සැලසුම් කළ පරිදි ඔවුන්ගේ කුමණ්ත්‍රණය දියත් කර ගැනීමට නොහැකි වී තිබේ.

ඒ අනුව අවසානයේ සිදුවී ඇත්තේ විශ්වාසභංගයට ඡන්දය දුන් ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද? නැද්ද? තීරණය කිරීම අද (10) දිනට කල් තැබීමය. එසේම අද (10) දින පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී. ල. නි. ප. ඇමැතිවරු සහභාගි නොවීමටද තීරණයක් ගෙන තිබේ.

සිංහල අළුත් අවුරුද්දට පෙර පවත්වන අවසාන කැබිනට් මණ්ඩල රැස්වීම අද පවත්වන අතර, මීළඟ කැබනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ විශ්වාසභංගයට ඡන්දය දුන් ශ්‍රී ල. නි. ප. යේ රාජපක්ෂවාදීන් වෙනුවට යහපාලන රජය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කැපවුණු පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සමඟ බව එක්සත් ජාතික පෙරමුණ කියා සිටී.

පාර්ලිමේන්තුව රැස්වන මීළඟ දිනය වන ලබන් 19 වැනිදා ශ්‍රී. ල. නි.ප. යේ රාජපක්ෂවාදී කල්ලිය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය. මේ බව එහි ප්‍රකාශකයෙකු වන ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මේ වන විට මාධ්‍යට ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *