දිනේෂ් යට කර සුසිල් එසැවීමේ තැතක්

පාර්ලිමෙන්තුවේ ඒකාබද්ධ විපක්ෂය තුළ යම් වැදගත් ස්ථානයක් ලබා දී ජාතික මට්ටමේ නයකයෙකු ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඔසවා තැබීමට ගන්නා උත්සාහයට පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයා ලෙස ක්‍රියා කරන දිනේෂ් ගුණවරධන ගෙන් දැඩි විරෝධයක් මතු වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර තොරතුරු වලින් අනාවරණය වේ.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඊට පක්ෂව ඡන්දය දීමට පොළඹවා ගැනීමේ කටයුත්තේ වගකීම භාර ගත් සුසිල් ප්‍රේමජයන්තට, ඒකාබද්ධ විපක්ෂය තුළ යම් බලගතු ස්ථානයක් ලබා දිය යුතු බවට වූ අදහස ඉදිරිපත් කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ පාර්ශවය විසිනි.
 
කෙසේ වෙතත් මෙම යෝජනාව පිටුපස දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂය තුළ දැනට දරන සංවිධායක ධූරයට දැඩි බලපෑමක්  එල්ලවීමට නියමිතව ඇති හෙයින් ,ඊට එරෙහිව දැඩි විරෝධයක් බැසිල් රාජපක්ෂ පාර්ශවය විසින් එල්ල කොට ඇතැයි වාර්තා වේ.
 
බැසිල් රාජපක්ෂ පාර්ශවයේ අදහස වී ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයට ඇතුලත් කර නො ගෙන , පාර්ලිමේන්තුවේ විපක්ෂය තුළ වෙනම කණ්ඩායමක් ලෙස තැබිය යුතු බවය.
 
ජනාධිපති සිරිසේන වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මෙම 16 දෙනා පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු බවත්, ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වූ විටක පමණක් මොවුන්ව පාවිච්චි කිරීමට හැකිවන පරිදි මොවුන්ව දුර්වල කර තබනවා විනා මොවුන්ව කිසිසේත්ම ශක්තිමත් නො කළ යුතු බවත්, බැසිල් රාජපක්ෂ පාර්ශවය දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *