දයාසිරිගේ කුරුමාණමට ජොනීට මල පනී

අගමැති රනිල් ට එරෙහි විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයේ දැඩි විරෝධය හමුවේ ඇමැතිකම් අත්හැරීමට සිදු වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට, කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු දැඩි ලෙස අවධාරණය කොට ඇතැයි එම පෙරමුණේ අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තා වේ.

සිංහල අළුත් අවුරුද්ද උදාවීමට පෙර, පරණ අවුරුද්දේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයෙකු සමඟ පැවැති පැවැති සුහද සාකච්ඡාවක දී මෙම විරෝධය එල්ල කොට ඇතැයි කියැවේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සමඟ දේශපාලනය කිරීමට බිය වී බිංගිරිය ආසනය අත හැර පඬුවස්නුවරට පැමිණි දයාසිරි ජයසේකර, පසුගිය මැතිවරණයේ දී අන්ත පරාජයක් අත්කර ගත් පුද්ගලයෙකු බවත්, ජනාතාව විසින් ප්‍රතික්ෂේප කළ මෙවැනි පාවා දෙන්නන් පොදුජන පෙරමුණට එක්කර ගෙන එකී දේශපාලන ව්‍යාපාරයට ද හානියක් සිදු කර නොගත යුතු බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කොට තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සියළු වරප්‍රසාද භුක්ති විඳිමින් සිට පසුව මෛත්‍රීපාලට හේත්තු වී වසර තුනක් මේ ආණ්ඩුවේ සියළු සැප පහසුකම් ලබාගත් දයාසිරි වැන්නන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක කොටස්කාරයන් වීමට කිසිසේත්ම සුදුසු නොවන නමුත්, මේ ආණ්ඩුව පලවා හැරීමට ඔවුන්ව පාවිච්චි කිරීම ගැන තමන්ට ගැටළුවක් නොමැති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

මේ අනුව ආණ්ඩුවේ අමාත්‍ය ධූර වලින් ඉවත් වූ 16 දෙනා පොදුජන පෙරමුණට ගැනීම හෝ ඒකාබද්ධ විපක්ෂයට එක්කර ගැනීම සිදු නොවන අතර, එම 16 දෙනා යොදවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් දුර්වල කිරීමට සහ අවසානයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හා ඊට අයත් දේපල සියල්ල පොදුජන පෙරමුණට නතු කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *