ජනපති, අගමැති සමඟ කිසි එකඟත්වයක් නෑ – ජනපති මාධ්‍ය අංශය කියයි

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳව හෝ පළාත් පාලන ආයතනවල එක්ව බලය පිහිටුවීම පිලිබඳව හෝ කිසිඳු තීරණයකට හෝ එකඟතාවයකට හෝ නො එළැඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය අද සවස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඇතැම් මාධ්‍ය තුල මෙවැනි එකඟතාවයකට පැමිණි බවට විවිධ වාර්තා පලවී ඇති හෙයින් මෙම නිවේදනය නිකුත් කළ බව ඔවුන් වැඩි දුරටත් කියා සිටී.

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පැවැති සාකච්ඡාවේ දී එකඟ තාවයකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂයේ පිරිස් මෙන්ම ජනාධිපතිවරයාට සමීපතම පිරිස් ඉතා හොඳින් දැන සිටි අතර, ඒ නිසාම මේ පිලිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රවෘත්තිය පළ විය.

අද සවස වන විට එවැනි එකඟතාවයකට නො එළැඹුණු බවට ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදන නිකුත් කිරීමට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සිටින මහින්දවාදී ශ්‍රී ල. නි. ප. ඇමැතිවරුන්ගේ හා කිලී මහාරාජාගේ දැඩි බලපෑම නිසා බව ද වාර්තා වේ.

මහින්දවාදී ඇමැතිවරුන්ගේ මතය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කොට ඒ සමඟම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කොට එ. ජා. ප. යෙන් ආණ්ඩු බලය තමන් අතට ගත යුතු බවය.

මේ සඳහා පූර්ණ මාධ්‍ය මෙහෙයුම මහාරාජා ලවා සිදු කළ හැකි බව ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ උපදේශකයකු පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *