ගුවන් තොටුපලේ ඉහළ බලධාරීන්, ඇතුලට කැන්ගරුවෝ රිංගවලා

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ක්‍රියාත්මක ලියාපදිංච් කුලී රථ ( ටැක්සි ) ව්‍යාපාරය විනාශ කොට , එම ව්‍යාපාරික අවස්ථාව ” කැන්ගරු ” නමැති මහ පරිමාන කුලී රථ ව්‍යාපාරයට ලබාදීමේ කූඨ සැළසුමක් ගුවන් තොටුපලේ ඉහළ නිළධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කොට ඇතැයි ගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපලේ මේ වන විට ලියාපදිංචි වී ඇති කුලී රථ සංඛ්‍යාව 1600 ක වන අතර, එක් දොරටුවක් එනම්, එක් ට්‍රැවල් කවුන්ටරයක් වෙනුවෙන් එම කුලී රථ 100 ක් එකට එක්වී ලියාපදිංචිවීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි.

මෙම ක්‍රමයට අනුව කුලී රථ හිමියන් විසින් ගුවන් තොටුපලට මාසිකව රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් ගෙවනු ලබති.

මෙවැනි අතිවිශාල මුදලක් ගෙවා දමමින්, ගුවන් තොටුපල ආශ්‍රිතව පවත්වාගෙන යන මෙම කුලී රථ ව්‍යාපාරය විනාශ කිරීමේ අරමුණින්, ගුවන් තොටුපල බලධාරීන් විසින් සූක්ෂම වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කොට ඇති බව අදාල ආරංචි මාර්ග තව දුරටත් අනාවරණය කර සිටී.

ගුවන් තොටුපල බලධාරීන් විසින් ක්‍රියාත්මක කොට ඇති මෙම සූක්ෂම වැඩපිලිවලට අනුව , කටුනායක ගුවන් තොටුපලට ගොඩ බසින මගීන් සඳහා  ” කැන්ගරු ” නමැති කුලී රථ සේවය ලබා ගැනීමට පොළඹවන ආකාරයේ පුළුල් පෙචාරාත්මක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කොට තිබේ.

ගුවන් මගීන් විසින් තමන් රැගෙන එනු ලබන ගුවන් ගමන් මලු බැහැරට ගෙන ඒම සඳහා යොදා ගන්නා සියළුම ට්‍රොලිවල   ” කැන්ගරු ” නමැති කුලී රථ  සේවාව ප්‍රචාරය කිරීම සඳහා ප්‍රචාරක ස්ටිකර ඇලවීමට  ගුවන් තොටුපල බලධාරීන් ක්‍රියා කොට තිබේ.

කටුනායක සිට කොළඹට රුපියල් 1750 කින් ගමන් කළ හැකි බවට කැන්ගරු  ස්ටිකර තුළ සඳහන් කොට ඇත. අඩු වියදමකින් කොළඹට යා හැකි යැයි සිතන විදේශික මගීන් මෙම සේවාව ලබා ගැනීමට පෙළඹී ඇතත්, අවසානයේ බහුතරයක් මගීන් විවිධ අතවර හා කරදර වලට ලක් වෙමින් පවතින බව ගුවන් තොටුපල ආරංචි මාර්ග  සඳහන් කරයි.

කැන්ගරු කුලී රථ සේවාවේ පිරිස් විදේශිකයන් රැගෙන කොළඹ පැමිණි විට , එකී විදේශිකයන්ට තමන් ලැගුම් ගන්නා ස්ථානයට යෑම සඳහා තවත් වැඩි පුර මුදලක් ගෙවීමට සිදුවන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කටුනායක සිට කොළඹට පැමිණෙනකැන්ගරු කුලී රථ , ආපසු ගුවන් තොටුපල වෙත යන්නේ වෙනත් මගියෙකු සොයා ගැනීමෙන් අනතුරුවය. මේ අනුව ඔවුහු ගමන් වාර දෙක සඳහා විශාල මුදලක් උපයා ගනිති.

ගුවන් තොටුපලේ ලියාපදිංචි කුලී රථ සේවාව,  විදේශීය ගුවන් මගීන්ව ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය දක්වාම රැගෙන යෑමට රුපියල් 2500 ක් අයකර ගනු ලැබුවද , විදේශීය සංචාරක මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව පූර්ණ වගකීමකින් යුතුව සිදු කරනු ලබති. එසේම මෙම විදේශීය ගුවන් මගීන්ව අතර මඟදී කිසිදු වංචනිකයෙකුට අසුවන්නට ඉඩ නොතබන මෙම කුලී රථ සේවාව, කොළඹ සිට කටුනායකට නැවත ගමන් කරන්නේ ද කිසිදු මගියෙකු නංවා නොගෙනය.

විදේශිකයන් තුළ ලංකාව පිළිබඳව ගෞරවයක් ඇති කරවන් අයුරින් සිය සේවාව සපයන, ගුවන්තොටුපලේ ලියාපදිංචි  කුලී රථ සේවාව බංකොලොත් කර,  එකී අවස්ථාව මහා පරිමාණ කුලී රථ සේවාවක් වන කැන්ගරුන්ට ලබා දීමට ගුවන් තොටුපල බලධාරීහු පිඹුරුපත් සකසමින් සිටිති.

ගුවන් තොටුපල ඉහළ බලධාරීන් විසින් මෙහෙයවමින් සිටින මෙම කූඨ ව්‍යාපාරය පිළිබඳව දේශපාලන අදිකාරිය ද ඇස් කණ් වසා සිටීම තේරුම් ගත නොහැකි බව, ගුවන් තොටුපල ලියාපදිංචි කුලී රථ සේවාවේ පිරිස් විමතියෙන් පසුවෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *