කට පියාගෙන හිටපු බොරු වාමාංශිකයෝ සයිටම් එකට විතරක් විරුද්ධවීම පුදුමයක් – ආචාර්‍ය වික්‍රමබාහු

” සමහර විද්වතුන්, මාක්ස්වාදීන්, බොරු වාමාංශිකයන් , කපටීන් ඔක්කොම එකතු වෙලා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇති කිරීම ගැන විශාල විරෝධයක් දක්වනවා. වෛද්‍ය විද්‍යාලය කියන කාරණය වෙනම අරගෙන මේකෙන් නිදහස් අධ්‍යාපනයට බරපතල අපරාධයක් වෙනවා කියලා බෙරිහන් දෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? එහෙනම් ඊට පෙර පෞද්ගලික ඉංජිනේරු පීඨ, කළමනාකරණ පීඨ ඇතුලු අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන හදනකොටත් ඒ හා සමානම බරපතල අපරාධයක් වෙලා තියෙනවා නෙ. එදා කට පියාගෙන හිටපු අය, ඒවාට විරුද්ධව වචනයක්වත් නොකියපු අය පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආපු ගමන් පමණක් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, සමාජවාදයට, අරකට ,මේකට විශාල ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ කොහොමද? වෛද්‍ය අධ්‍යාපනය විතරක් පෞද්ගලිකව කරන්න යන එක මේ රටේ සමාජවාදින්ට විශාල ප්‍රශ්නයක් හැටියට පෙනෙන එක මට නම් හරි පුදුමයක්. ” යැයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්‍ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කරයි.

ආචාර්‍ය ව්ක්‍රමබාහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ පසුගියදා සිය පක්ෂ කාර්‍යාලයේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වික්‍රමබාහු මෙසේද පැවසීය.
” මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න රත්නපුරයේ දී රැස්වීමක් පැවැත් වුණා. මමත් ඒකට සහභාගි වුණා. වාමාංශික කියන බොහෝ අය මේ ගැන විවේචනය කළා. බොහෝ අය මගෙන් ප්‍රශ්න කරනවා. මේක මහ පුදුම තත්ත්වයක්.
අපි ඉන්නෙ ධනපති සමාජයක. මේ සමාජය තුළ පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා. නිදහස් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික අධ්‍යාපනය එදා ඉදලම තිබුණා.
බාලාංශයේ සිට උපාධිය දක්වාම පෞද්ගලික අධ්‍යාපනයට මේ රටේ එදා ඉඳලාම දොරවල් ඇරල තිබුණා. ඔය සමාජවාදී කියලා බලයට ආපු ආණ්ඩු මේවා නැති කළේ නෑ. අද අපේ රටේ ප්‍රධාන කොටම තියෙන්නෙ වෙළෙඳපල ආර්ථිකයක්. ඒ නිසා උසස් අධ්‍යාපනයට තරඟකාරී ආයතන බිහිවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරු, ගණකාධිකාරී, කළමණාකරන ආදී අංශවල පෞද්ගලික අධ්‍යාපන ආයතන අපේ රටේ තියෙනවා. නිදහස් අධ්‍යාපනය නොලබපු පෞද්ගලික අංශයෙන් බිහිවුණු විශාල වෘත්තිකයන් ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා.
නමුත් පහුගිය කාලේ වෛද්‍ය විද්‍යාව සඳහා ආයෝජනය කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. වෛද්‍ය පීඨයක් හදන්න සියලුම පැතිවලින් වැඩ කරන්න පුලුවන් රෝහලක් තියෙන්න ඕනෙ. එවැනි එකක් හදාගෙන තමයි වෛද්‍ය පීඨයක් පටන් ගන්න වෙන්නේ. මේක කරන්න අයිතිය තිබුණා. නමුත් මේක නොකළේ ඒ තරමට ආයෝජනය කරන්න මුදල් නොතිබුණ නිසයි. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකව කරන්න යන එක ගැන මේ රටේ සමාජවාදින්ට විශාල ප්‍රශ්නයක් හැටියට පෙනෙන එක ගැන මට නම් තියෙන්නේ හරි පුදුමයක්.
සමහර අය මේ වෛද්‍ය විද්‍යාලය මුළු සමාජවාදයටම වෙච්ච ඓතිහාසික පරාජයක් හැටියට පෙන්නන්න උත්සාහ කරනවා. ඒකෙන් පේන්නෙ මේ අය ප්‍රජාතන්ත්‍රවාදීන් නොවෙන බවයි. ධනේශ්වර සමාජයේ ප්‍රජාත්න්ත්‍රවාදය නම් එක ආයෝජකයෙකුට ආයෝජනය කරන්න පුලුවන් නම්, තවත් කෙනෙකුටත් අධ්‍යාපනයට ආයෝජනය කරන්න පුලුවන් වීමයි. ඉංජිනේරුවන් බිහි කරන්න පෞද්ගලික අධ්‍යාපන පීඨ තියෙන්න පුලුවන්නම්, කළමණාකරුවන්, ගණකාධිකරුවන් බිහි කරන්න පීඨ තියෙන්න පුලුවන්නම් වෛද්‍යවරු බිහි කරන්න පෞද්ගලික පීඨ තියෙන්න බැරි ඇයි කියන එක ගැන කිසිම තර්කයක් තියෙන්න බැහැ.

සමහරු මගෙන් අහනවා මොකද ධනපතියන්ට උදව් වෙන්නෙ කියලා. මම ධනපතියන්ට උදව් වෙන්නෙ නැහැ. නමුත් මේ ධනපති සමාජයේ හැමටම එක හා සමානව සැලකිම, සමානාත්මතාවය ආරක්ෂා කිරීම කියන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මම බැඳිලා ඉන්නවා.

ධනපතියන් අතරත්, එක ධනපතියෙකුට එක විදිහටත්, තව ධනපතියෙකුට තව විදිහකටත් ක්‍රියා කරනවා නම්, වෙනස්කම් කරනවා නම් ඉංජිනේරුවන්ට එක විදිහකටත්, දොස්තරවරුන්ට තව විදිහකටත් වෙනස්කම් කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක අපි ගත යුතුයි. ඕනෑම මාක්ස්වාදියෙක් ප්‍රජාතන්ත්‍රවාදියෙක් විය යුතුයි. ඒ නිසා මේවගේ අසාධාරණයක් වෙනවා නම් කතා කළ යුතුයි. ඉංජිනේරු පීඨ හදන්න මුදල් දාපු ධනපතියන්ට එක විදිහකටත්, දොස්තරලා බිහිකරන ආයතන හදන්න මුදල් දාපු ධනපතියන්ට තව විදිහකටත් ක්‍රියා කරන්න බෑ. දෙගොල්ලන්ටම සම විදිහට සැලකිය යුතුයි.

අපි පැහැදිලිව කියනවා , මේ රටේ වෛද්‍ය පීඨයක් ඇති කරන්න යම් ධනපතියෙක් මුදල් දාල තියෙනවා නම්, අනෙකුත් අධ්‍යාපන ක්ෂෙත්‍රවල ආයෝජනය කරපු අයට වගේම අයිතියක් ඔහුටත් තිබිය යුතුයි.ඔහුට විශේෂ අයිතියක් හෝ විශේෂ වෙනස්කමක් හෝ නොවිය යුතුයි.
ඒ වගෙම අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්න ළමයින්ට වගේම මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින්ටත් වෙනස්කමක් සිදුවෙනවා නම් ඒක මේ සමාජයේ සිදුවෙන බරපතල අපරාධයක්. කිසිසේත් ඒකට ඉඩදිය නොහැකියි.
අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල වගේම මේ මාලඹේ වෛද්‍ය ආයතනයේ සේවය කරන ආචාර්‍යවරුන්ටත් , සේවකයන්ටත් වෙනස් කමක් නොවිය යුතුයි.මේ අයට අඩන්තේට්ටම් කරලා පහරදීම් ඇතුලු නොයෙකුත් අපරාධ කරනවා නම් කිසිසේත් ඒකට ඉඩදිය නොහැකියි.
ධනේශ්වර වෙළඳපලේ තරඟ කරලා කටයුතු කරන්න හැමෝටම එකහා සමාන ඉඩක් තිබිය යුතුයි.
ඒ නිසා බොරු පදනම් ඇතිකර ගන්න හදන්න එපා. අපි මේ සටන දිගටම ගෙනියනවා. ” යැයි ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

One thought on “කට පියාගෙන හිටපු බොරු වාමාංශිකයෝ සයිටම් එකට විතරක් විරුද්ධවීම පුදුමයක් – ආචාර්‍ය වික්‍රමබාහු

  • September 5, 2016 at 8:04 am
    Permalink

    පුද්ගලික දේපළ ක්‍රමයට විරුද්ධ වුක්‍රමභාහු සහෝදරයා නෙවිල් ප්‍රනාන්දුගේ දේපළ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම මාක්ස්වාදයේ නූතනත්වය ද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *