උතුරේ දමිළ සිරකරුවන්ට ලබා දෙන විසඳුම ලබන සතියේ

වව්නියාව අධිකරණයේ විභාගයට ගනිමින් සිට අනුරාධපුර අධිකරණයට මාරු කර තිබෙන ත්‍රස්‌ත මර්දන පනතට අදාළව ගොනුකර තිබෙන නඩුව නැවත වව්නියාව අධිකරණයේදීම විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම ඉල්ලීම අධිකරණ කටයුත්තක්‌ වන බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයා මගින් අධිකරණයට කරුණු දැක්‌වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙත  ඊයේ ( 19 ) උපදෙස්‌  දී තිබේ.

මෙම උපදේශය ලබා දී ඇත්තේ,   උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු නියෝජිතයන් සහ යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ පිරිසක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19 දා) ජනාධිපතිවරයා හමුවූ අවස්‌ථාවේදීය.

එමෙන්ම පසුගිය යුද සමයේ සිදුවීම් හේතුවෙන් දැනට සිරදඬුවම් ලබා සිටින දමිළ සිරකරුවන් සහ චෝදනාවට ලක්‌ව බන්ධනාගාරගත කර දැනට නඩු කටයුතු සිදුකරමින් සිටින පිරිස්‌ වෙත සහනයක්‌ ලබාදෙන ලෙස ත්,  එම සිරකරුවන් මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් දූෂණ චෝදනාවලට ලක්‌ව සිටින සිරකරුවන්ගෙන් වෙන්ව රඳවා තබන ලෙස ද ඉල්ලීමක්‌ කළ සිවාජිලිංගම් මහතා ඇතුළු නියෝජිත පිරිස,  එම රැඳවියන්ට වෘත්තීය නිපුණතාවයන් වෙත යොමුවීමට අවස්‌ථාවක්‌ සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර යුද සමයේ ඇති වූ සිදුවීම් හේතුවෙන් දැනට සිරදඩුවම් ලබා සිටින දමිළ සිරකරුවන් හා උතුරේ අනෙකුත් රැඳවියන් සම්බන්ධ ප්‍රශ්න සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ ලබන සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක්‌ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *