J. R. හිටියනම් වීරවංශට වෙන දේ …

මට මාධ්‍යවේදී චින්තන ධර්මසේන කියපු කතාවක් මතක් වුනේ විමල්වීරවංශ මන්‍ත්‍රීවරයා අත් අඩංගුවෙන් නිදහස් කරගන්න පහුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ, සිරිසේන ජනාධිපතිවරයාටත්, වික්‍රමසිංහ අගමැතිවරයාටත් දුරකථන ඇමතුම් දුන්නා කියල මාධ්‍යවල පලවෙලා තිබෙනවා දැකල. ඒකාබද්ධ විපක්‍ෂයයැයි කියා ගන්නා මන්ත්‍රී මහින්දගේ ගෝල බාලයො සෙට් එකත් ජනපති අගමැති හමුවෙලා වීරවංශ බේරා ගැනීමට කතා කලා කියල මාධ්‍යවල තිබෙනවා දැක්කා.

මේ සිද්ධියත් විජයකුමාරණතුංග හිරේ ඉන්න කොට වෙච්ච වැඩක්. 1982 වෙනකොට සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසිකරල තිබුනේ.ඒනිසා එදා තිබුනු  ජනාධිපතිවරණයට ශ්‍රී.ලං.නි.ප. අපේක්‍ෂකයා වුනේ හෙක්ටර් කොබ්බෑකඩුව. සිරිමාවෝ ඇතුලු ප්‍රධාන පිරිසක් මේ චන්ද ව්‍යාපාරෙට සහයෝගය  දුන්නේ නැහැ. ඒනිසා ශ්‍රී.ලං.නි.ප.හිටිය විජය කුමාරණතුංග කොබ්බෑකඩුවගෙ මුලු චන්ද ව්‍යාපාරයම කරට අරගෙන කලා. ඒකෙ ප්‍රතිඵලයක් තමයි අන්තිමේදී මහජන පක්‍ෂය බිහි වුනේ.

ඉතින් මේ චන්ද ව්‍යාපාරෙන් පස්සේ ජනාධිපතිවුනු ජේ.ආර්.ජයවර්ධන විජයට ත්‍රස්තවාදී චෝදනා එල්ල කරල හිරේ දැම්ම. හැබැයි වීරවංශට තිබෙනවා වාගේ ලිඛිත හෝ වාචික කිසිම සාක්‍ෂියක් නැහැ. වීරවංශගේ මන්ත්‍රී කණ්ඩායම කියන්නේ මේ වාහන අවභාවිතාවට සම්බන්ධ තවත් අය රාජ්‍ය රැකවරණ ලබද්දී එක් අයෙකුට පමනක් දඩුවම් කිරීමෙන් නීතියේ තිබිය යුතු සමතුලිත භාවය අහෝසිවී යනවා  කියලයි. ඒනිසා කිසි විටෙක වීරවංශ මන්ත්‍රීවරයාට තිබෙන චෝදනා ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ.

නමුත් විජය හිරේ දාපු එක තනිකරම දේශපාලන පළිගැනීමක් කියල ඇස්පනා පිට පේන්න තිබුනා. ඔහුට ජේ.ආර්.දැම්ම චෝදනාව තමයි නැක්සලයිට් කුමන්ත්‍රනයකින් ආණ්ඩුව පෙරළීමට සැලසුම් කිරීම. නැක්සලයිට්වරු කියන්නේ ඉංදියාවේ ඉන්න කැරැලිකාර සංවිධානයක්.  ඒ කාලේ චන්ද්‍රිකා දේශපාලන ක්‍රියාකාරිණියක් නෙමෙයි. ඒවාගේම බණ්ඩාරනායක පවුලත් ජේ.ආර්.ජයවර්ධනත් චින්තනව ලඟින්ම  ඇසුරුකල කෙනෙක්ලු.

දවසක් චන්ද්‍රිකා චින්තනට කතා කරල කිව්වලු අංකල් අපි දිනයක් අරගෙන ජේ.ආර්.අංකල් එක්ක විජය ගැන කතාකරමු නේද කියල. ඒ අනුව දිනයක් වෙන්කරගෙන චන්ද්‍රිකාත්,චින්තනත් ගියාලු ජේ.ආර්.මුන ගැහෙන්න. රෝස්මීඩ් එකේ ගෙදරට යනකොට ජේ.ආර්.මිදුලේ ඇවිද ඇවිදලු හිටියේ. ඊට පස්සේ මේ දෙන්නාව සතුටින් පිළිඅරගෙන ජේ.ආර්.ගෙ ඔෆීස් කාමරයට කැන්දාගෙන ගියාලු. ජේ.ආර්.ඇහුවම මොකටද ඔයාල මාව හමුවෙන්න ආවෙ කියල චන්ද්‍රිකා කිව්වලු අපි ආවේ විජය ගැන කතා කරන්න කියල. එහෙම කිව්වාම ජේ.ආර්.හිනාමූනක් දාල මේසයට ගහමින් විජය ගැන නොනවත්වාම කියන්න ගත්තලු. එයා හන්තානේ කතාවෙන් නේද සිනමාවට ආවේ,එදා ඉඳන් මේවෙන කොට පුදුම දුරක් ඇවිල්ල තියෙන්නේ. අර ගඟ අද්දර චිත්තරපටියේ පිස්සු දොස්තරගෙ චරිතෙ, ඇත්තෙන්ම මට හිතුනේ පිස්සු කියල. මේ විදියට ලවක් දෙවක් නැතිව ජේ.ආර්. විජයගෙ සිනමාව ගැන කියාගෙන කියාගෙන ගියාලු. ඊට පස්සේ චන්ද්‍රිකා චින්තන ගේ මූන බැලුවාම චින්තන කිව්වලු නෑ.. සර්..අපි ආවේ විජය හිරේ ඉන්න එක ගැන කතා කරන්න කියල.

ජේ.ආර්. එකපාරටම වාඩිවෙලා හිටියෙ පුටුවෙ ඇන්දට බරවෙලා විශ්මයට පත්වෙලා වගේ,  මොනවා, විජයකුමාරතුංග හිරේ, මොන හිර ගෙදරද ඉන්නේ කියල ඇහැව්ව්ලු. චන්ද්‍රිකා කිව්වම වැලිකඩ හිරගෙදර කියල ජේ.ආර්. මේසයේ උඩ තිබුනු දුරකථනයෙ ස්පීකර්ස් දාල වහාම අංකයක් කැරකෙව්වලු. දැන් චින්තනත් චන්ද්‍රිකාත් මුහුනට මුහුන බලාගෙන දරාගත නොහෙන සතුටකින් ඉන්නවලු. එතැන් පටන් දෙබස ගියේ මෙහෙමලු.

” මම ජේ.ආර්. ජයවර්ධන කියල කෙනෙක් කතා කර කරන්නේ, ඔය කතා කරන්නේ බන්ධනාගාර කොමසාරිස්තුමාද..?”

” ඔව් සර්”

” අර විජය කුමාරතුංග කියන නළුවා වැලිකඩ හිර ගෙදර ඉන්නවද..?”

” “ඔව්.. සර්..”

” එයාට නීතිය අකුරටම ඉටු කොරාන්න ඕනේ ”

එහෙම කියල රිසීවරය තිබ්බලු.

 

– කොත්ති –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *