ෆොන්සේකා එන්න කලින් ඝෝඨා බේරා ගැනීමේ සැලසුමක්

හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ පවරා ඇති නඩු විභාග නො කොට ඝෝඨාභය රාජපක්ෂව ඒවායින් මුදවා ගැනීමට නීති ක්ෂේත්‍රය තුළ ඉතා රහසිගත කුමන්ත්‍රණකාරී සැලැස්මක් මේ වන විට දියත් වෙමින් පවතින බවත්, එකී සැලැස්ම ඉතා බලවත් පුද්ගලයෙකුගේ පූර්ණ ආශිර්වාදය ඇතිව සිදු වන බවත්, නීති ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉතා විශ්වාසදායක තොරතුරු වලින් ” ලංකා ස්ක්යි ” වෙත වාර්තා වේ.

මෙහි පළමු පියවර ලෙස ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවකු වී සිටින ඝෝඨාභය රාජපක්ෂව එයින් මුදවා ගැනීම ඉතා කඩිනමින් සිදුවීමට නියමිත බව එකී ආරංචි මාර්ග තව දුරටත් අනාවරණය කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයත් සමඟම ඊට පසු දිනම ඇමරිකාවේ සිට ඝෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණියේ, යහපාලන ආණ්ඩුව අවසන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තිබූ සැලසුම ඔහු හොඳින් දන්නා නිසා, එම ආණ්ඩුව යටතේ තමාට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියා මාර්ගයක් නො ගන්නා බවට වූ පූර්ණ විශ්වාසය හේතුවෙනි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර වෙනත් පුද්ගලයෙකු එම තනතුරට පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද බලපෑම මත එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී, පවතින ආණ්ඩුව වෙනස් වේ යැයි වූ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකි වූ විට, යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන කොටස් කරුවකු වූ එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුවෙන් ඉවත් කොට, පවතින ආණ්ඩුව අවසන් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමේ දී ඊට මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහයෝගය ලැබුණේ ද ඝෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති අධිකරණ ක්‍රියාමාර්ග වලක්වා ගැනීමේ උවමනාවෙන් බව වාර්තා වේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් පලවා හැරීමට හෝ පවතින ආණ්ඩුව වෙනස් කර ගැනීමට හෝ නොහැකිවීමත් සමඟම සිදුවන නව කැබිනට් සංශෝධනය යටතේ අළුතින් පත්වන අධිකරණ අමාත්‍යධූරය සහ නීතිය හා සාමය අමාත්‍යධූරය කවුරුන්ට හිමිවේ ද යන්න පිලිබඳව පැවතුනේ අවිනිශ්චිත තත්ත්වයකි.

නීතිය හා සාමය අමාත්‍යධූරය සරත් ෆොන්සේකාට ලබා දීමට එ. ජා. ප. ය තීරණය කිරීමත් සමඟ රාජපක්ෂවරු ඉමහත් නොසංසුන්තාවයකට පත්වී ඇති අතර, අනතුරුව අධිකරණ අමාත්‍යධූරය  රාජපක්ෂවරුන්ට පක්ෂපාතව කටයුතු කළ විජේදාස රාජපක්ෂටම නැවත ලබා දෙන ලෙසට රාජපක්ෂවරුන් විසින් ආණ්ඩුවේ බලවත් පුද්ගලයෙකුට විශාල බලපෑමක් සිදු කොට ඇතැයි ද වාර්තා වේ.

අධිකරණ අමාත්‍ය ධූරය විජේදාස රාජපක්ෂට ලබාදීමට සූදානම්ව සිටින මුත් ඊට  එරෙහිව, ආණ්ඩුව තුළ සිටින එක්සත් ජාතික පෙරමුණ දැඩි ලෙස විරෝධය පල කර ඇති බවත්, කැබිනට් සංශෝධනය දිනෙන් දින කල් යෑමට හේතුව වී ඇත්තේ මෙම අර්බුදය නිසා බවත් කියැ වේ.

මේ තත්ත්වය තුළ බලාපොරොත්තු ඉටු කර ගත නො හැකිවීමට බොහෝ ඉඩ ඇති බැවින් කඩිනමින් අධිකරණ ක්‍රියා මාර්ගයක් මගින්ම ඝෝඨාභයව බේරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ බලවන්තයෙකු විසින් රාජපක්ෂවරුන්ට දන්වා තිබේ.

මෙම දැනුම් දීමත් සමඟම පසු ගිය 11 වැනිදා දිවයිනට පැමිණි ඝෝඨාභය රාජපක්ෂ දින 12 කට පසු කඩිමුඩියේ අද (23) දින අභියාචනාධිකරණයට ප්‍රතිසෝධන පෙත්සමක් ඉදිරිපත් කරණු ලැබුවේ මෙම දැනුම් දීම නිසා යැයි නීතී ක්ෂේත්‍රයේ තොරතුරු වලින් වැඩි දුරටත් අනාවරණය වේ.

අද දින ඝෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිසෝධන පෙත්සමෙන් ඔහු ඉල්ලා ඇත්තේ, රජයට සිදු කර ඇති රුපියල් කෝටි 1140 ක පාඩුව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් නඩුවෙන් විත්තිකරුවෙකු කර සිටින තමාව නිදහස් කරන ලෙසය. එසේම 26 වැනිදාට විභාග කිරීමට නියමිත මෙම නඩුව අත්හිටුවන ලෙස ද ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

නීති ක්ෂේත්‍රයෙන් ලැබෙන තොරතුරු වලට අනුව ඝෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලිම ඉටු කර දීමට මේ වන විට අති දැවැන්ත මෙහෙයුමක් නීති ක්ෂේත්‍රය තුළ සිදු වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *