සැප්තැම්බර් 05 වැනිදා ට පසු මහින්ද – මෛත්‍රීපාල අලුත් සම්මුතියක්

තමන්ට එරෙහිව නව අධිකරණ  තුළ නඩු සැබැවින් ම විභාග වීමේ හැකියාව වැඩි වත් වැඩි වත් , ඒවා විභාග වත් ම, තමන් ඔතාගෙන සිටින සුදෝ සුදු ආරිය සිංහල සූට් සිය ගෝත්‍රික සාටකයෙන් තවදුරටත් වසා ගෙන සිටිය නොහැකි සේ දිනපතා ම පාහේ ලෝකයා හමුවේ දිග හැරෙන බව නියත හෙයින්, ජනාධිපති හමුවේ වැඳ වැටී හෝ මහින්ද  අගමැති පුටුවේ තැන්පත් කිරීම හැර අන් විකල්පයක් නැති තැනට  රාජපක්ෂලා සහ ඔහුගේ ඒකාබද්ධ බත් බැලයන් රැළ පත්ව ඇත.

හුදු සාක්ෂි සටහන් කර ගැනීමකින් පසුව පවා , ඊනියා රට බේර ගත් නායකයා පත් ව තිබූ ආතතියේ  තත්වය කෙතරම් නිම් හිම් නැතිව තිබිණි  ද යන්න , තමන්ගේ තවත් බත් බැලයකු වු වීජමූ ලොකු බණ්ඩාරගෙ පුත් උදිත ලොකු බණ්ඩාර වෙත කඩා පනිමින් ” මෝඩ යකෙක් මූ ”  යැයි බෙරිහන් දීම මගින් මුළු ලොව හමුවේ ප්‍රදර්ශනය  කලේ  වෙනින් කවුරුත් නොව මහින්ද පර්සි රාජපක්ෂ ය.

(මල් වට්ටි ටොන් ගණන් බුදු සාදුට දිනපතාම පුදමින් ලෝකයා රැවටුවාට, ජාගර චිත්තයේ තැන්පත් වී ඇති කෝපයේ, ද්වේශයේ සහ වෛරයේ රොන් මඩ ගබඩාවෙන් චූට්ටිත්තක්  හෝ මෙලෙස නොදැනුවත්ව හෝ පිට වීම , පත්ව සිටින මහා ගෝතකරුම තත්ත්වය අනුව කෙසේ නම් නවතා ගන්න ද?)

ඒ අනුව සැප්තැම්බර්  5දා  කොළඹ වටලා  මොන ජල්බරියක් දමා හෝ අගමැතිකම  සියතට ගත යුතු ම ය. වෙන කවරදාවත් නොමැති පරිදි ගෝඨාභය  තුමා ද රැළියට එක්වන ලෙස  වෙනම ම ඇරයුමක් නිකුත් කර ඇත. ඒ ”වියත් මඟේ” සිය බැටෑලියන් එකට ය. මේ වියතුන් වනාහි, 2015 ජනවාරි 8දා  කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ගොණු කෙරුණ අය සහ කමල් ගුණරත්න, සරත් වීරසේකර ඇතුළු දායක කාරකාදීන් ය.

මොකක් දෝ හේතුවක් නිසා අජිත් ප්‍රසන්න  රණවිරු මහාභාරකරුතුමා විහින් ම චකබ්ලාස් වී ඇත. පවුලේ  පළහිලව්ව ප්‍රයෝජනයට ගෙන , බොර දියේ මාළු අල්ලමින්  ජනපති අපේක්ෂකත්වය ඩැහැ  ගැනීමට  මාන බලන, වැඩි වයසකුත් නැතු ව මේ වන විටත් සවුත්තුවී සිටින  නාමල් රජපක්ෂ කුමාරයා    මේ ” කොළඹ  වැටලීමේ ” කෙළියේ කෙළිකාරයා  බවට විහින් ම පත්ව  ඇත.

” මහින්ද සුළඟින්  ” පටන් ගෙන මහා වේරම්බ වාතයක් බවට පත් කරන බවට පාර බෑ නමුදු , එය අවසන් වනු ඇත්තේ  හුදෙක් ම අදෝ වාතයක් ලෙස පමණි . කිසියම් වෙනසක්  වන්නේ නම් ,මහින්ද සමග සම්මුතියකට අර අඳින මෛත්‍රීපාල සිය පාවාදීමේ ගමනේ තීර්ණාත්මක බල්ටියක් ගැසුව හොත් පමණී .

කෙසේ  වෙතත්, ජනාධිපතිවරණය ජනවාරි 8දායින්  පසු ඕනෑම අවස්ථාවක  පවත්විය හැකි හෙයින්, ව්‍යවස්ථා විරෝධීබව නොතකා ඔහු අගමැති  ධුරයට පත් කළත්, පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැති හෙයින් මහින්දගේ අගමැතිකම ලත් තැන ම ලොප් වන්නේ ය. එය වළකා ගත හැක්කේ , පෙර දවස කළාක් මෙන් යූඇන්පීයෙන් කොටසක් කඩා ගැනීමෙන් පමණි. යූඇන්පීයේ ඕන පදම් අවස්ථාවාදීන් සිටියත්, හුදු බලලෝභය මගින් දෙකේ කොලයට වැටී ඇති මහින්ද වැන්නකු රජ කරවීම සඳහා මේ මොහොතේ බෙල්ල දීමට සූදානම් ගොබ්බ්යන් සිටීවි ද යනු ප්‍රශ්නයකි.

අනෙක් අතට එවන්නක් සිදු වුව හොත් එය ඒකාබද්ධය  විහින් ගෙල සිඳ  ගැනීමක් වනු ඇත. මේ සියල්ල දැන දැනත් මහින්දට අගමැතිකම කෙසේ හෝ ඉක්මණින් ම අවශ්‍ය ව තිබෙන්නේ , අර නඩු කන්දරාවේ අසිපත ඔහු ඉදිරියේ ලෙළ  දෙමින්  තිබෙන නිසා ය. ඒ අනුව ඔහුට ඉතිරි ව තිබෙන එක ම විකල්පය, නොයෙකුත් ආකාරයේ ලෝ පොයින්ට් ඉදිරිපත් කරමින් ද අසනීප  තත්ත්වයන් මවා පාමින් ද වෙනත් අලුත් අලුත් උප්පරවැට්ටිවල යෙදෙමින් ද නඩු විභාග සුපුරුදු පරිදි කල් දමා ගැනීම පමණි .

ප්‍රතිපත්ති මත පදනම් වී ක්‍රියා කරනු වෙනුවට, එක් පවුලක බත් බැලයන් බවට පත් වී, ඉන් නොනැවතී තමන් එවැන්නන් බව රාජකීය  උෂ්ණයෙන් යුතුව වැමෑරීමට තරම්  නීච වෙමින්  ඒකාබද්ධයෝ යූඇන්පී විරෝධී ජනතාව අන්ත අසරණ තත්වයකට පත් කර ඇත්තාහ. මොවුන්ගෙන් මිදීමෙන් තොරව එම ජනතාවට කළ හැකි සැබෑ යූඇන්පී – විරෝධී සටනක් නැති බැව් අපි වෙහෙස නොබලා යළි යළිත් අවධාරණ කරමු.

අවසනාවන්ත තත්ත්වය නම් , මේ තුන් කට්ටුවේ ම  ක්‍රියා කලාපයෙන් අන්තයටම කළකිරී සිටින දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එක්‍ රොක්  විය හැකි  විකල්ප පෙරමුණක් පේන තෙක් මානයේවත් නොමැති කම ය. එවැන්නක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වන්නේ නම් ,සිදු වන එකම දෙය වනුයේ හැමෝටම බැණ වදිමින් , අවසානයේදී සුපුරුදු පරිදි තම තමන්ගේ සුපුරුදු හොරුන්ව ම බලයට ගෙන වුත් යළි වරක් බැණ බැණ සිටීමේ විෂම චක්‍රයේ කර කැවි කැවී සිටීම ය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලද  මේ අතිශය වාසිදායක තත්ත්වය ගිලිහී යාමට ඉඩ දුන හොත්, එවැන්නක් ” කවදා යළි ඒදෝ ? ”  ;ඒමට ඉඩ දේ දෝ ?

 

ටී. අන්ද්‍රාදි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *