ශ්‍රී ල. නි. ප. ය දෙකඩ වෙයි, විශ්වාසභංග පරාජයෙන් පසු නව ආණ්ඩුවක්

අප්‍රේල් 4 වැනිදාට ගෙන එන විශ්වාසභංගයට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු ගණනාවක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය මත මේ වන විට ජනාධිපති සිරිසේන නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් වතාවක් ඉතා දරුණු ලෙස දෙකඩවීමකට ලක්වීම නො වැලැක්විය හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු ” ලංකා ස්කයි ” වෙත පැවසීය.

මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වී පවතින සම්මුතිවාදී ආණ්ඩුව බිඳ හෙළීමට වසර ගණනාවක් පුරා රහසිගතව කටයුතු කරමින් සිටි සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා එක්ව ඊයේ (30) ශ්‍රී ලංකා මූලස්ථානයේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව මඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ වත්මන් ආණ්ඩුව බිඳ දැමීමට ඔවුන්ගේ ඇති උවමනාව යැයි ශ්‍රී. ල. නි. ප. ප්‍රකාශකයා පැවසීය.

2015 දී මහින්ද රාජපක්ෂව දිනවීම වෙනුවෙන් සියල්ල සිදු කළ සුසිල්, ඩිලාන් සහ ලක්ෂ්මන් යාපා පසුව යහපාල රජයේ ඇමැතිකම් ගෙන ඊට සම්බන්ධ වුවද , ඔවුන් හා මහින්ද රාජපක්ෂලා අතර තිබූ දේශපාලන උවමනාව කිසිසේත්ම යටපත් වී නැති බව සිරිසේන ජනාධිපතිවරයාට පෙන්වා දුන්නද , කිසියම් හේතුවක් නිසා ජනාධිපතිවරයා ඒ බව තේරුම් නො ගත් බවද එම ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.

ඊයේ (30) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ලක්ෂ්මන් යාපා පැවැසූ පරිදි ලබන 04 වැනිදා ස්ථීර ලෙසම විශ්වාසභංගය පරාජයට පත්වන බව ඔවුන් දැන සිටින නිසා, විලි ලැජ්ජාවක් ඇතිව ඔවුන්ට නැවැත සම්මුතිවාදී ආණ්ඩුවේ ඇමැතිකම් දැරීමට නො හැකි බැවින් ඔවුන් එදිනම ඇමැතිකම් වලින් ඉවත්වීමට නියමිතව ඇතැයිද , ඒ අනුව එදිනම සම්මුතිවාදී ආණ්ඩුව අහෝසි වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වුවද එය කිසිසේත් නොවන බවද ශ්‍රී ල. නි. ප. ප්‍රකාශකයා පැවසීය.

රාජපක්ෂලා සමඟ හොර රහසේ ගිවිසුම් ගසා නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ගණනාවක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බැවින්, ඔවුන් හා එක්සත් ජාතික පෙරමුණ හා එක්ව නව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන් බවද එම ප්‍රකාශකයා තව දුරටත් කීය.

2015 ජනවාරි 08 සහ අගෝස්තු 15 වැනිදා ශ්‍රී ලංකාවාසී ජනතාව ලබා දුන් ජනවරම හොර රහසේ රාජපක්ෂලා ඉදිරියේ පාවාදීමට කිසිවෙකුටවත් ඉඩ නොදීමට ශ්‍රී ල. නි. ප. ප්‍රබලයන් ගණනාවක්ම ස්ථීර ලෙස තීන්දු කොට ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් රටටත් මෙතරම් විශාල හානියක් කොට ඇති රාජපක්ෂලාට, නැවත වතාවක් පක්ෂයත් රටත් පාවා දීමට බලා සිටින අතලොස්සක් වූ ශ්‍රී . ල. නි . ප. ඇමැතිවරුන්ට වඩා 2015 දී වත්මන් රජයට ජනවරම ලබා දුන් ජනතාවගේ අභිලාෂයන් සපුරාලීම   ශ්‍රී . ල. නි . ප. යේ ඒකායන බලාපොරොත්තුව නිසා, රාජපක්ෂලාගේ හුරතලුන් සම්මුතිවාදී ආණ්ඩුවෙන් පලවා හැර පිරිසිදු ශ්‍රී. ල. නි. ප. ය සහිත සම්මුතිවාදී ආණ්ඩුවක් ස්ථීර ලෙස දිගටම පවත්වාගෙන යෑමට සියල්ල සූදානම් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රකාශකයා සහතික කොට පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *