වැලිකඩ ඝාතන සැකකරුවන් පිස්සු වැට්ටීමේ සැලැස්මක්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු තිරස්චීන ලෙස වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් ලෙස බන්ධනාගාර ගතව සිටින හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු මෙන්ම වත්මන් බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ පොලිස් පරීක්ෂක මෝසස් රංගජීව නියෝමාල් යන අයට මානසික ආතතියක් ඇති බවට කරුණු දක්වා ඔවුන්ව ඇප මත මුදවා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව නීති ක්ෂේත්‍රයේ තොරතුරු වලින් අනාවරණය වේ.

රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව , කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඊයේ (10) යළි කැඳවූ අවස්ථාවේ දී ප්‍රධාන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ , සැකකරුවන් දෙදෙනා පෙර දැරූ තනතුරු අනුව හා ඔවුන් ක්‍රියා කළ ආකාරය අනුව විශාල ලෙස මානසික ආතතියකට ලක්වී ඇති හෙයින් ඔවුන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කිරීමට අවසර ලබා දෙන ලෙසය.

නීතීඥවරුන්ගේ ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන්ව මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

අධිකරණය විසින් ලබා දුන් මෙම අවසරය උපයෝගී කර ගනිමින් අදාල සැකකරුවන්ට මානසික ආතතියක් ඇති බවට වූ වාර්තාවක් සකස් කොට ඒ වාර්තාව උපයෝගී කොට අධිකරණය මඟින් ඇප ලබා ගැනීමේ සූක්ෂම සැලැසුමක් මේ වන විටත් ක්‍රියාවට නැගෙමින් පවතින බව ද අදාල නීති ක්ෂේත්‍රයේ තොරතුරු අනාවරණය කරයි .

රැඳවියන් 27 දෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන මෝසස් රංගජීව නියෝමාල් නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, වසර ගණනාවක් පුරා නීතිපති දෙපාතමේන්තුවේ සේවයේ නියුතු වූ පුද්ගලයෙකු වන අතර, ඔහු මීට ටික කලකට පෙර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට ඇත්තේ, නඩු පැවරීම සඳහා අධිකරණයට යොමු කළ යුතුව තිබූ ලිපි ගොණු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් නො කොට ප්‍රමාද කිරීමේ හේතුව මත යැයි ද අදාල නීති ක්ෂේත්‍රයේ තොරතුරු තව දුරටත් අනාවරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කළ වීරයෙකු ලෙස ඇතැම් ජනමාධ්‍ය ආයතන සහ ඇතැම් මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක් විසින් හඳුන්වන නියෝමාල් රංගජීව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු , ඉතා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු නිදහස් කර ගැනීම වෙනුවෙන්, ඔහුගේ නීතීඥවරයා ලෙස පෙනී සිටීමට නියමිතව ඇතැයි ද නීති ක්ෂේත්‍රයේ තොරතුරු වලින් වැඩි දුරටත් කියැවේ.

පසුගිය රාජ්‍ය පාලන සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් එක් පාර්ශවයක් රුදුරු මර්දනයකට ලක් වුවද, රාජ්‍ය ආරක්ෂාව යටතේ අනෙක් පාර්ශවය කිසිදු පීඩාවකට පත් නොවී සුරැකුණු බව නීති අංශ ඉතා හොඳින් දන්නා කරුණකි.

මේ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මර්දනය කළා යැයි කියන රංගජීව වෙනුවෙන් පෙනී සිටින නීතීඥයාම, නුදුරේදී මත්ද්‍රව්‍ය ජාවාරමකාරයෙකු නිදහස් කර ගැනීම වෙනුවෙන් පෙනී සිටී නම්, ජාවාරම්කාරයන් හා මර්දනය කරන්නන් අතර කෙබඳු සම්බන්ධයක් තිබේද යන්න ඉදිරියේ දී දැක ගත හැකිවනු ඇතැයි ද නීති ක්ෂේත්‍රය තුළ කතා බහට ලක් වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *