රාජිතගේ මැදිහත්වීමෙන් එ. ජා. ප. තනි ආණ්ඩු හැදීම නවතී

එක්සත් ජාතික පක්ෂයට සැලසුම් සහගත විනාශයක් සිදු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ තවදුරටත් එක්ව ගමන් කළ නොහැකි බැවින් එක්සත් ජාතික පක්ෂය වහාම සරල බහුතරයක් සහිතව හෝ ආණ්ඩුවක් පිහිට විය යුතු බවට එම පක්ෂ්යේ බහුතර පිරිසක් විසින් ඉදිරි පත් කළ ප්‍රබල ඉල්ලීම මේ මොහොතේ ක්‍රියාත්මක නො කිරීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විට තීරණය කොට තිබේ.

මෙම තීරණයට එ. ජා. ප. ය එළැඹ ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මැදිහත්වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඇති කිරීමට පියවර ගැනීමෙන් පසුවය.

මේ අනුව 2020 දක්වා සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යෑමට එ. ජා. ප. ය එකඟ වී ඇතත්, එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ අරමුණ ඇතිව ක්‍රියා කරන මහින්ද ගැති ශ්‍රී ල. නි. ප. ඇමැතිවරුන් වත්මන් ආණ්ඩුව තුළ දරන වගකීම් එලෙසම නො පැවැතිය යුතු බව එ. ජා. ප.යේ ස්ථාවරය වී ඇත.

මේ අතර ජනාධිපතිවරයාගේ උපදේශකයන් වී සිටින එ. ජා. ප. නායකවරයා සමඟ පුද්ගලික අමනාපකම් ඇති පිරිස් පිලිබඳව නිසි පියවර ගත යුතු බවටද එ. ජා. ප. ය කරුණු දක්වා ඇත.

මහින්ද රාජපක්ෂ දිනවීම වෙනුවෙන් අවසානය දක්වා ක්‍රියා කොට අනතුරුව යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ ඇමැතිධූර ලබා ගත් පිරිස මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුවත්, මෙම මැතිවරණ පරාජය එ. ජා. ප. යට විරුද්ධ ජන මතයක් බවට ප්‍රකාශ නිකුත් කළ ද, එසේ පැවසූ ශ්‍රී ල. නි. ප. ඇමැතිවරු සියල්ලම තමන්ගේ ආසනයෙන් අන්ත පරාජයකට පත්වි ඇති නිසා ඔවුන්ට ඇමැතිකම් ලබා දීමේ දී එය දැඩි ලෙස
සැලකිල්ලට ගත යුතු බවද එ. ජා. ප. යේ මතය වී ඇත.

ප්‍රකාශිත චන්ද ප්‍රතිඵල වලට අනුව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව මෙවර ලබා ගෙන ඇති චන්ද ප්‍රතිශතය 2015 දී ඔහු ලබා ගත් ප්‍රතිශතයට වඩා සියයට 3. 20 කින් අඩුවී ඇති අතර, මෛත්‍රීපාල, රනිල් සහ ජ. වි. පෙ. යන මහින්ද විරෝධී පක්ෂ 2015 මැතිවරණයට වඩා මෙම මැතිවරණයේ දී සියයට 0. 55 න් සිය චන්ද ප්‍රතිශතය වර්ධනය කර ගෙන ඇත.

ආණ්ඩුව තමන්ට දී ගෙදර යන ලෙස මහා ඝෝෂාවක් කරන පොදු ජන පෙරමුණට අනියමින් සහය පල කරන වත්මන් ආණ්ඩුවේ ඇතැම් ශ්‍රී .ල. නි. ප. ඇමැතිවරු මහින්ද රාජපක්ෂ අගමැති කරවීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව පවසන එ. ජා. ප. ය, එය ඔවුන් දකින දහවල් සිහිනයක් පමණක් බව ද අවධාරණය කර සිටිති.

මෙම මැතිවරණයේ දී එ. ජා. ප. යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ප්‍රබල ඇමැතිවරු සියළු දෙනාම තමන්ගේ ආසනයෙන් අන්ත පරාජයක් ලබා ගෙන ඇති අතර, බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් බොරු චෝදනා එල්ල කොට විපක්ෂයේත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මෙන්ම ඇතැම් එ. ජා. ප. ප්‍රබලයන්ගේ ද ගොදුරක් බවට පත්වූ රවී කරුණානායක මහතා තමන්ගේ ආසනයේ පිහිටි කොට්ඨාශ නමයම ජයග්‍රහනය කරවා කොළඹ මහ නගර සභාවට නියෝජිතයන් 17 දෙනකු එ. ජා. ප. ය වෙනුවෙන් ලබා දී තිබීම එ. ජා. ප. පසු පෙල මංත්‍රීවරුන්ගේ ගෞරවයට ලක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *