රවීගේ මුදල් ඇමැතිකමට තට්ටු කළේ මංගල

මුදල් අමාත්‍යධූරයෙන් රවී කරුණානායක මහතාව ඉවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයට මුදල් අමාත්‍යංශයේ හා මහ බැංකුවේ දූෂිත නිළධාරීන් මෙන්ම වත්මන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ද ප්‍රබල ලෙස දායක වූ බවට තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂම හමුවේ පෙනී සිටි රවී කරුණානායක, ඒ වෙනුවෙන් ලබා දුන් සක්ෂි මත එකී බැඳුම්කර වංචාවට ඔහුගේ කිසිදු සම්බන්ධයක් පවතින  බවට කිසිදු කරුණක් අනාවරණය කර ගැනීමට කොමිෂමට නොහැකි විය.

මහ බැංකු බැඳුම්කර වංචාවට කිසිදු අදාලත්වයක් නොමැති පුද්ගලික කරුණක් අනාවරණය වූ අවස්ථාවේ , එය ජනමාධ්‍ය මගින් විශාල ලෙස ප්‍රචාරය කර, රවී කරුණානායක මහතාට එරෙහිව ප්‍රබල ජන මතයක් නිර්මාණය කිරීම පිටුපස ද මංගල සමරවීර මහතාගේ පූර්ණ සහයෝගය තිබූ බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වන ලෙසට, රවී කරුණානායක මහතාට බල කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාව පෙළඹවීම පිටුපස මංගල සමරවීර සිටි බවත්, රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ තාවකාලිකව හිස්වන මුදල් අමාත්‍යධූරය මංගල සමරවීර වෙත ලබා ගැනීමේ සැලසුම ද වේලාසනින් සකස් කර තිබූ බවත් මේ වන විට හෙළිවෙමින් ඇත.

මුදල් අමාත්‍යංශයේ හා මහ බැංකුවේ දූෂිත නිලධාරීන් එකට එක්ව රවී කරුණායක මහතාව මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට සැලසුම් සකස් කොට ඇත්තේ , මහා පරිමාන ආනයනකරුවන්ගේ මාෆියාව සමඟ එක්ව සිදු කරන බදු වංචාවන්ට රවී කරුණායක මහතාගෙන් කිසිදු ඉඩ කඩක් ලබා ගැනීමට නො හැකි බව තේරුම් ගැනීමෙන් අනතුරුවය.

ආනයන භාණ්ඩ මත රජය විසින් බදු පැනවීමේදී මුදල් අමාත්‍යංශයේ දූෂිත නිළධාරීන් , ආනයන මාෆියාව සමඟ එකට එක්වී අදාල බදු මුදල් වැඩි කිරීම නිසා මාෆියාව ලබන ලාභයෙන් කොටසක් තමන්ගේ සාක්කුවේ දමා ගැනීමේ වැඩ පිළිවෙල දීර්ඝ කාලයක් පුරා සිදු කරමින් සිටින බව අමාත්‍යංශ ආරංචි  මාර්ග පෙන්වා දෙයි.

මෙම වංචනික ක්‍රියාව පිලිබඳව හොඳ අවබෝධයක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට තිබූ බැවින් ඔහු ඊට ඇති අවස්ථා අවම කිරීමට ක්‍රියා කොට තිබේ.

රවී කරුණානායක මුදල් අමාත්‍යධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුව අදාල දූෂිත නිලධාරීන් පිරිස , වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර සමඟ එක්වී තමන්ගේ දූෂිත ගණු දෙනු තව දුරටත් කිසිදු බාධාවකින් තොරව සිදු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටී.

මංගල සමරවීර සමඟ එක්වී මෙම දූෂිත නිලධාරීන් සිදුකළ ආසන්නතම වංචාව ලෙස සැලකෙන්නේ පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සීනි ආනයනය සඳහා බදු වැඩි කිරීම මගින් සිදු කළ වංචාව බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සීනි ආනයනය කිරීමේ දී එක කිලෝවක් සඳහා රුපියල් 18 කින් බදු වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය ක්‍රියා කළ අතර එමගින් සීනි ආනයන සිදු කරන මාෆියාව මහා ධනස්කන්දයක් උපයා ගෙන තිබේ.

බද්ධ රුපියල් 18 කින් ඉහළ දැමීමට දින දෙකකට පෙර, සුළු හා මධ්‍යම පරිමාණයේ සීනි ආනයනකරුවන් විසින් මෙරට ගබඩා කර තිබූ සියලුම සීනි තොග මහා පරිමාණ මාෆියාව විසින් මිළ දී ගැනීමට ක්‍රියා කොට තිබේ.

මුදල් අමාත්‍යංශය විසින් අනපේක්ෂිත ආකාරයට සීනි ආනයන බදු මුදල් ඉහළ දමන විට සුලු හා මධ්‍යම පරිමාණයේ ආනයනකරුවන් ලඟ සීනි තොග නොතිබුණු අතර, සීනී ආනයන කළ හොත් වැඩි පිරිවැයක් දරන්නට ඔවුන්ට වන බැවින් ඔවුන් සීනි ආනයනයෙන් තාවකාලිකව ඉවත් වී ඇත.

මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත් මාෆියාව දින දෙකක් සීනි තොග සඟවා තබා ගෙන සිටිමින් ආනයන බදු ඉහළ දැමීමත් සමඟ ඔවුන් සුළු හා මධ්‍යම පරිමාණ ආනයනකරුවන්ගෙන් අඩු මිලට ලබා ගෙන ගබඩා කර තිබූ  සීනි තොග වෙළඳපලට මුදා හැර ඇත.

පසුගිය 17 වැනිදා සිදු කළ බදු වැඩි කිරීමත් සමඟ මහා පරිමාණ සීනී අපනයන මාෆියාව මෙසේ වංචනිකව උපයා ගෙන ඇති මුදල රුපියල් මිලියන 800 කට වැඩි බවත්, ඉන් මිලියන 400 ක් දේශපාලඥයන්ට සහ ඔවුන්ගේ සමීපතමයන්ට ලබාදීමට මෙම මාෆියාව ක්‍රියා කොට ඇති බවත්, මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධූරයේ සිටින කාල වකවානුව තුළ, ජනතාවට බදු බර පටවන ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට දූෂිත නිලධාරීන්ට කිසිදු ඉඩක් ලබා දී නොමැත. එහෙත් මේ වන විට ජනාධිපති, අගමැති, පාරිභෝගික අධිකාරිය, ජීවන වියදම් කමිටුව වැනි කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනය හෝ නො විමසා බදු ඉහළ දැමීම සිදු කරන බවත්, එමඟින් මුදල් අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන් හා මුදල් අමාත්‍යවරයා එක්ව ජනතාවගේ මුදල් තම තමන්ගේ සාක්කුවලට දමා ගනිමින් සිටින බවත් එම ප්‍රකාශකයා  කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *