මෛත්‍රී – රනිල් විරසකය දරුණු අතට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර දැනට කාලයක සිට හට ගෙන තිබූ විරසකය මේ වන විට ඉතා දරුණු මට්ටටමට වර්ධනය වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්‍යාලයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය ඉතා දරුණු අන්දමින් විවේචනය කරමින් ප්‍රහාර එල්ල කළ ජනාධිපති සිරිසේන , ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරින් පහ කර ඒකාබද්ධයේ සහාය ඇතිව නව අගමැතිවරයෙක් පත්කර ගැනීමට උපරිම උත්සාහයක නිරත වුවද, රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු විරෝධයක් නොදක්වා යහපාලන ආණ්ඩුව දිගටම පවත්වා ගැනීමට මහත් කැප කිරීමක් කළ බව එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.

කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන දිගින් දිගටම ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ගයන් විවේචනයට ලක් කරන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකරමින් සිටීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයන් මේ වන විට ජනාධිපතිවරයා පිලිබඳව කිසිදු විස්වාශයක් නොතබන මට්ටමට ගමන් කර ඇතැයි ද එකී ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

මීළඟ ජනාධිපතිවරණයේ දී නැවතත් ජනාධිපති අපේක්ෂකත්වය ලබා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඇතිව ජනාධිපති බවට පත්වීමට හැකි දැයි සොයා බැලීමට මෛත්‍රීපාල සිරිසේන ගත් උත්සාහය නිරර්ථක වූ හෙයින් , මේ වන විට ඒකාබද්ධයේ සහයෝගය ඇතිව ජනාධිපතිවීමට සැලසුම් සකස් කරමින් සිටින බවට වූ සියලු තොරතුරු අග්‍රාමාත්‍යවරයා සතුව පවතින බව මෙම ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම තත්ත්වය යටතේ තව දුරටත් ජනාධිපති සිරිසේන සමඟ ඉදිරියට යෑමට නොහැකි බවට ස්ථීර නිගමනයකට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂ්යේ ප්‍රබලයන් ජනාධිපති සිරිසේන සමඟ මෙතෙක් පවත්වා ගෙන ආ සුහද ගණු දෙනු සියල්ල මේ වන විට නවතා දමා ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවී කතා නොකරන මට්ටමට මෙම අර්බුදය උග්‍ර වී ඇත්තේ, පසුගිය දා ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර එස්. බී. දිසානායකගේ නිවසේ පැවැත්වූ රහස් සාකච්ඡාවෙන් අනතුරුව ලැබී ඇති තොරතුරු අනුව බව මෙකී ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *