පළාත් සභා බලය අල්ලන්න එ ජා ප – ශ්‍රී ල නි ප හවුලක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරඟ කිරීමට නියමිත බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු      ” ලංකා ස්කයි ” වෙත පැවසීය.

2015 ජනවාරි 08 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති බවට පත්වීමට හැකි වුයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනතා බලවේගයේ පූර්ණ සාහය නිසා බව පැවසූ එම ප්‍රකාශකයා, පසුගිය පලාත් පාලන මැතිවරණයේදී එ. ජා. ප. යට ප්‍රසිද්ධියේ දැඩි විවේචන එල්ල කිරීමට යෑමෙන් ශ්‍රී ල. නි. ප. ය ට අන්ත පරාජයක් විඳීමට සිදු වූ බවද සිහි කළාය.

මේ තත්ත්වය මත 2015 දී පරාජය වූ බලවේගය යළිත් හිස ඔසවා රට තුළ දේශපාලන , සමාජ හා ආර්ථික ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති කිරීමට සමත් වූ බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා, යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වූ පරමාර්ථයන් ඉටු කර ගැනීමට නම්, භේද වී සිටින යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන බලවේග දෙක නැවත එකට එක්වී, පරාජය කරනු ලැබ සිටි සතුරා ගේ නැවත නැගිටීම වහාම වැලැක්වීමට පියවර ගත යුතු බව කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව ආණ්ඩු කිරීමට විරෝධය දැක්වු ශ්‍රී ල. නි. ප. ය තුළ සිටි කණ්ඩායම මේ වන විට නැවතත් ශ්‍රී ල නි ප යේ ප්‍රධාන සතුරා වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ගොස් ඇති හෙයින් , ශ්‍රී ල නි ප ය තුළ දේශපාලන තීරණ ගැනීමේ දී එය පහසුවක් වී ඇති බවද ශ්‍රී ල නි ප ප්‍රකාශකයා තවදුරටත් කියා සිටී.

මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කාරකාදීන් මේවන විටත් දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව පැවසූ එම ප්‍රකාශකයා, ඉදිරියේ දී පැවැත් වෙන පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව පළාත් සභා සඳහා තරඟ වැදී උතුරු නැගෙනහිර හැර සියලුම පළාත් සභාවල බලය යහපාලන ආණ්ඩුව සතු කර ගැනීමට නියමිත බවද කියා සිටී.

පළාත් සභා මැතිවරණය මේ ආකාරයෙන් එක්ව තරඟ කිරීමෙන් අනතුරුව , ඉන් පසුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එ. ජා. ප. ට හා ශ්‍රී ල. නි. ප. ය ට යන පක්ෂ දෙකටම එකඟ විය හැකි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ද සැලසුම් සකස් කරමින් යන බවද ශ්‍රී ල. නි. ප. ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *