නීතිය හා සාමය සරත් ෆොන්සේකාට අහිමි වෙයි

නව කැබිනට් සංශෝධනයට අනුව නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකාව එක්සත් ජාතික පක්ෂය විසින් නම් කොට තිබුණ ද, මේ වන විට සරත් ෆොන්සේකාට එම අමාත්‍ය ධූරය ලබා නො දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කොට ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල තොරතුරු වලින් අනාවරණය වේ.

නව කැබිනට් සංශෝධනය සිදු කැරුණු අවස්ථාවේ දි සරත් ෆොන්සේකා දිවයිනෙන් බැහැරව සිටි හෙයින් නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍යවරයා වෙත පවරනු ලැබිණි.

අග්‍රාමාත්‍යවරයාට නීතිය හා සාමය අමාත්‍ය ධූරය පවරනු ලැබුවේ තාවකාලිකව බවත්, එම ඇමැති ධූරය ඉදිරි දින කිහිපය තුළ සරත් ෆොන්සේකාට ලබා දීමට නියමිත බවත් එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායාක ද ස්ථීර ලෙසම මෙම අමාත්‍ය ධූරයට එ. ජා. ප. යේ වෙනත් පුද්ගලයකු පත්වීමට නියමිත බව ප්‍රකාශ කරණු ලැබිණ.

එහෙත් ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග වලට අනුව සරත් ෆොන්සේකාට එකී අමාත්‍ය ධූරය ලබා දීම කිසිසේත්ම සිදු නොවන බව මේ වන විට ස්ථීර වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සමඟ සිටින රාජපක්ෂවාදීන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඇතුළු පිරිසක් මෙම අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට ලබාදීමට දැඩි විරෝධයක් දක්වා ඇති අතර, ඔවුන්ගේ මූලික තර්කය වී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යධූරය සරත් ෆොන්සේකා අතට පත් වුවහොත් රාජපක්ෂවරුන්ට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්යේ ජනාධිපතිවරයා සමඟ සිටින බොහෝ දෙනකුට විරුද්ධව ද ඔහු ක්‍රියාත්මක වීම නො වැලැක්විය හැකි බවය.

එවැනි තත්ත්වයක් උදා වුවහොත්, එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, මෙන්ම නිමල් සිරිපාල ද සිල්වා වැනි බොහෝ පිරිසකට එරෙහිව ද අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට හැකි තරමේ දූෂණ වංචා සිදුවී ඇති බව ද මෙම පිරිස විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය යටතේ නීතිය හා සාමය අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට නො දීමට ජනාධිපතිවරයා ස්ථීර නිගමනයකට පැමිණ ඇති බව ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග පවසයි.

යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම නීතිය හා සාමය අමාත්‍ය ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණ ද දූෂිත රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට එකී ඇමැතිවරයා ක්‍රියා නොකළා පමණක් නොව රාජපක්ෂලා සමඟ එක්ව දූෂණ කටයුතුවල නියැළුණු ගාමිණී සෙනරත් වැනි නිළධාරීන් එකී අමාත්‍යවරයාගේ නිවසේ සඟවා ගෙන සිටි බවට ද තොරතුරු අනාවරණය විය.

රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා දමා ඝෝඨාභය රාජපක්ෂව අගමැති තනතුරට පත් කොට 2020 දීත් තමා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීමේ සැලසුම සහිතව සිටින මෛත්‍රීපාල සිරිසේන, කිසිසේත්ම රාජපක්ෂවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කිසිවෙකුට ඉඩ නොදීමට දැඩි තීරණයකට එළැඹ සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබා නොදීමෙන් සිදු කරනු ලබන්නේ එ. ජා. ප. ය තුළ නැවතත් රනිල් විරෝධය මතු කිරීමට පියවර ගැනීමක් බවද කියැවේ.

වසන්ත සේනානායක සහ පාලිත රංගෙ බණ්ඩාර වැනි රනිල් විරෝධී එ. ජා. ප. පිරිස් සමඟ සාකච්ඡා සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පවා මේ වන විට  යොදවා සිටින බව ද ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *