ජනපති මෛත්‍රීපාල “හොරුත් එක්ක හෙලුවෙන්”

ජනාධිපති තනතුරට තමා පත් වූයේ හොරකම හා දූෂණය නැති රටක් සහ දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සඳහා යැයි මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නට තමා සමඟ එකට හිට ගන්නා ලෙස , 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්ෂ ඇතුළු එම පිළේ සිටින දූෂිතයන්ට සහ හොරුන්ට ප්‍රසිද්ධියේ ආරාධනාවක් සිදු කොට තිබේ.

ජනාධිපතිවරයා විසින් මෑතක් වන තුරුම හොරුන් හා දූෂිතයන් ලෙස නම් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදී මංත්‍රීවරුන්ට මෙසේ ආණ්ඩු හැදීමට තමන් සමඟ එකතු වන ලෙස ප්‍රසිද්ධ ආරාධනාව සිදු කරනු ලැබුවේ පසුගිය 27 වැනිදා රත්නපුරයේ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමිනි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ , 2015 අගෝස්තු මැතිවරණයෙන් ජය ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ප්‍රමුඛ සංධානයේ සිටින මංත්‍රීවරු 96 දෙනා තමා සමඟ එකට හිට ගන්නවා නම් තමා හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට සූදානම් බවය.

ජනාධිපතිවරයා විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ජනාධිපති කොමිෂන් සභා වාර්ථා දෙකෙන් එකක් වන ,බරපතල දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්ථාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලුව හිටපු ඇමැතිවරු හා පාර්ලිමේන්තු මංත්‍රීවරු විශාල ප්‍රමාණයකට එරෙහිව නඩු පැවරීම සිදු කළ යුතු බවට එම කොමිෂම නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම පත් කළ කොමිෂන් සභාවක් විසින් දූෂිතයන් බවට තීරණය කර නඩු පැවැරිය යුතු යැයි පැහැදිලිව සඳහන් කර ඇති මෙම පිරිස සමඟ එකට හිට ගනිමින් ආණ්ඩු හැදීමට තමන් සූදානම් යැයි පැවැසීම ජනාධිපතිවරයා ” හොරුන් සමඟ හෙලුවෙන් ” හිට ගැනීමකි.

බරපතල දූෂණ හා වංචා විමර්ෂන ජනාධිපති කොමිෂම විසින් දූෂිතයන් බවට තීරණය කර නඩු පැවැරිය යුතු යැයි නිදේශ කර ඇති පිරිසෙන් විශාලම පිරිස නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ය.  ශ්‍රී ල. නි. ප. නොවන දූෂිතයන් ප්‍රමාණය ඉතා අල්පය. විමල් වීරවංශ, පියසිරි විජේනායක සහ මොහොමඩ් මුස්ම්මිල් යන තිදෙනා හැරුණු කොට ඉතිරි දූෂිතයන් සියල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් ය.

මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවට අනුව, මෙම දූෂිතයන්ට නඩු පැවරීමෙන් නොනැවතී, මින් පසුව නැවත මහජන නියෝජිතයන් වීමට ඉඩ නොලැබෙන පරිදි නීතිමය පියවරයන් ගත යුතු බවටත් නිදේශ කොට තිබේ. මෙවැනි තත්ත්වයක් තිබියදීත්, කිසිදු විළි ලැජ්ජාවක් නොමැතිව මෙකී දූෂිතයන් හා හොරුන් සමඟ එක්ව ආණ්ඩු හැදීමට ප්‍රසිද්ධියේ ආරාධනා කිරීමට තරම් වත්මන් ජනාධිපතිවරයා බල තන්හාවෙන් උන්මාද වී තිබේ.

තමා ජනපති පදවියට පත්වන පළමුවන හා අවසාන අවස්ථාව මෙය බවට , ජනාධිපතිවරණය නිමවීමත් සමඟම ලෝකයට ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩු කළ තමාගේ අවුරුද්දක දූර කාලය නැවත ලබා ගැනීමට ගත් නීච උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ වැලකී ගිය ද , නැවතත් ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත්වීමට ඇති ගිජුකම මේ වන විට මනා ලෙස ප්‍රදර්ශනය කරමින් සිටි. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා දිවි ඇති තෙක් දේශපාලනයේ නියැලෙන්නට තීරණය කර ඇති බව ද  මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව නැවතත් දේශපාලනයට පිවිසීම බල තන්හාවක් ලෙසට අර්ථ දැක් වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මහතා බලය පිළිබඳ කෑදරකමින් උන්මාදව කටයුතු කරන ආකාරයටම තමන් ද ක්‍රියා කරන්නට සූදානම් බව මේ වන විට පැහැදිලි ලෙස පෙන්නුම් කරමින් සිටින බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *