ජනපති මෛත්‍රීට අනුව අපට නිදහස ලැබී වසර තිහයි

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබී අද වන විට  (2018/02/04 ) ගත වී ඇත්තේ වසර 30 ක්  බව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කරනු ලැබුවේ , ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද උදෑසන ගාලු මුවදොර පිටියේ දී පැවැත්වුණු ජාතික නිදහස් සැමරුම් උළෙලේ දීය.

1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාවට නිදහස ලබා දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රැජිණ වන දෙවැනි එළිසෙබෙත් මහ රැජිණගේ නියෝජිතයා ලෙස ඇගේ පුත් එක්සත් රාජධානියේ වෙසෙක්ස් හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු හා ඔහුගේ බිරිඳ වන සොෆී රීප් ජෝන්ස් කුමරිය මේ අවස්ථාවට සහභාගී සිටි අතර , ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟම ඔවුන් මහත් විශ්මයට පත්ව තිබේ.

70 වන නිදහස් සැමරුමට සහභාගී වි සිටි දෙස් විදෙස් බොහෝ දෙනා ජනාධිපතිවරයා සමරණ 30 වසරක නිදහස කුමක් දැයි අවබෝධ කර ගැනීමට නොහැකිව මහත් අපහසුතාවයකට පත්වී තිබේ.

පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණයෙන් තමන් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් විඳින්නට සිදුවන විශාල පසුබෑම පිළිබඳව බුද්ධි අංශ විසින් ලබා දී ඇති වාර්තා හේතුවෙන් ජනාධිපතිවරයා මේ දිනවල මහත් ව්‍යාකූලත්වයකින් පසු වෙන බැවින් , නිදහස ලැබී ගෙවී ඇති වසර ගණන පවා අමතක වී ඇත.

කෙසේ වෙතත් මෙවැනි බරපතල අත් වැරදක් රටක ජනාධිපතිවරයෙකු අතින් සිදු නොවිය යුත්තක් බැවින් මෙය රටේ ජනයා අතරට යෑම වලක්වා ගැනීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය වහා ක්‍රියාත්මක වී , ජනාධිපතිවරයා විසින් සිදු කළ වැරදි ප්‍රකාශය ඉවත් කොට ඉතිරි කොටස් පමණක් ප්‍රචාරය කරන ලෙසට සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝගයක් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *