ඇනස්ලි , බර්ටි පරදන මෛත්‍රී කකුල කටේ දමා ගනී

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින දූෂිත හොරු රැළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 96 දෙනාට තමා සමඟ එකතුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට එන්නැයි රත්නපුරයේ දී ප්‍රසිද්ධියේ ආරාධනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන් දින දෙකක් ඉකුත් වූ සැනින් රිකිල්ලකඩ දී කියා සිටියේ තමා එසේ ආරාධනා කළේ ඒ හොරුන්ට තමන් ගාවට එන්නට බැරි බව තමා හොඳින් දැන ගෙන සිටි නිසා බවකි.

ඇනස්ලි , සැමුවෙල් සහ බර්ටි වැනි අති විශිෂ්ඨ විකට ශිල්පීන් පරදවා රටේ ජනතාවට විහිළු සැපයීමට තමන්ට හැකි බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මනා ලෙස පෙන්වා ඇත.

ජනාධිපතිවරයෙක් ජනතාව ඉදිරියේ සිදු කරනු ලබන ප්‍රකාශයක් වගකීමකින් යුතුව කරනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතින අතර, එදා රත්නපුරයේ මැතිවරණ ප්‍රචාරක රැළියට පැමිණ සිටි ජනයාත්, රූපවාහිනී නාලිකා ඔස්සේ එම කතාව නැරඹූ ලක්වාසී ජනයාත් , ජනපති කියූ දෙය අවංකව සිදු කළ ප්‍රකාශයක් වශයෙන් පිළිගත් බවට කිසිදු සැකයක් නොමැත.

දින දෙකක් යන්නට මත්තෙන් තමන් කළ ප්‍රකාශය තුළ ගැබ් වූ බරපතළ කාරණය, එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට ඒකාබද්ධ විපක්ෂයේ සිටින මංත්‍රීවරු 96 සමඟ එකට සිට ගැනීමට තමන් සූදානම් බව, පට්ටපල් බොරුවක් හා විහිළුවක් බවට ජනාධිපති මෛත්‍රීපාල ප්‍රසිද්ධියේ කියා සිටීමෙන් ඔහු ජනාධිපති තනතුරකට තියා විහිළුකාරයෙකුගේ චරිතයකටවත් සුදුසු නොවන බව මේ වන විට පෙන්වා ඇතැයි යහපාලන ප්‍රේමීන්ගේ මතය වී තිබේ.

පසුගිය 27 වැනිදා රත්නපුර නගරයේ පැවැති ප්‍රචාරක රැළියේ දී ඒකාබද්ධ විපක්ෂයේ සිටින මංත්‍රී 96 දෙනාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට ආරාධනා කිරීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේනගේ ගුණමකු නිශ්චිතවම අවබෝධ කර ගත් යහපාලනය ගෙන ඒමට උර දුන් බලවේගය ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රසිද්ධියේ අවි එසැවීමට ආරම්භ කොට තිබේ.

කිලී මහාරාජාගේත්, මහාරාජාගෙන් වේතන ලබමින් යැපෙන ජනාධිපති උපදේශක තනතුරු දරන පුද්ගලයන්ගේ සහ මහින්ද රාජපක්ෂ දිනවීමට අවසානය දක්වා ක්‍රියා කොට පසුව යහපාලන ආණ්ඩුවේ පිං ඇමැතිකම් ලබා ගත් නඩයේත් මෝඩ උපදෙස් අනුව ආණ්ඩු හැදීමට   ” සිංහ නාද ” දෙන්නට පෙළඹුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට , රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් කණ පැලෙන උත්තරයක් මේ වන විට ලබා දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල අළුත් ආණ්ඩුවක් හැදීමට සූදානම්වීමත් සමඟම , එක්සත් ජාතික පක්ෂයේ නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ රැස්වීමක් කැඳවා තිබේ. එක්සත් ජාතික පක්ෂ පෙරමුණ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති පදවියට ගෙන ඒමට උර දුන් දේශපාලන පෙරමුණය.

අගමැතිවරයා මූලිකත්වය දැරූ මෙම රැස්වීමේදී වත්මන් ආණ්ඩුව කිසිසේත්ම වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත්, එය 2020 දක්වා පවත්වා ගෙන යන බවත් තීරණය කර ඇති අතර වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති මෙම එක්සත් ජාතික පක්ෂ පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලය අවසන් වන තුරු ඔහු සමඟ සමගියෙන් කටයුතු කිරීමටත් තීරණය කොට ඇත. මෙම තීරණය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශයත් සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පොරවාගෙන සිටි ” සිංහ හම” මේ වන විට බිම ඇදවැටී ඇතැයි යහපාලන ප්‍රේමීන් පවසති.

තමන්ව ජනාධිපති තනතුරට පත් කිරීමට සිය ජීවිත අවදානමට දමා කටයුතු කළ ජනතාවට කොකා පෙන්වමින් නැවතත් රාජපක්ෂවරු සමඟ ආණ්ඩු කරන්නට, කිලී මහාරාජාගේ සහ බක පණ්ඩිත උපදේශකවරු මෙන්ම පාරාජිකා වූ පිං ඇමැතිලාගේ උපදෙස් මත සිහින මැවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට දේශපාලන වශයෙන් කකුල කටේ දමා ගෙන සිටින බව දේශපාලන විචාරකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *