හිතවත් කාල් මාක්ස්, ඔබට සුභ උපන් දිනයක්……

හිතවත් කාල්,

ඔබ උපන්දින සුභ පැතුම් නුරුස්සන බව මම නොදන්නවා නොවේ. හැබයි ඔබට උපන්දින ආශිර්වාදයක් එවීමේ වැරද්දක් ඇතැයි මම නම් හිතන්නේ නැහැ.   කාල් මේ ඔබේ ද්වීශතවර්ෂානුස්මරණ සංවත්සරයනේ. මතක නැද්ද? 1818 මැයි 5 ඔබ ඉපදුන බව. ඔබට ආදරය කරන ජනතාවට නම් මැයි 5 අමතක නැහැ. “ සුභ උපන් දිනයක් කාල් ”. ඔබට සිංහල බැහැනේ. සුභ පැතුම ජර්මන් වලින්ම එවන්නද? Alles Guutezum Guburtatag Karl’ මේ සුභ පැතුම හුදු හුදු අභිචාරයක්ම නොවෙයි කාල්. මගේ සුභ පැතුමට හේතු තියෙනවා. ඔබගේ නිහතමානිකමට පහත සුභ පැතුම නොසලකා හරින්න එපා. නොකියවා අහක දාන්නත් එපා. හේතුව මේ සුභ පැතුම තුළ සිටිනුයේ ඔබයි.

හිතවත් කාල්,

ඔබගේ භෞතිකවාදි දර්ශනය පිළිගන්නා අය පමණක් නොව නොපිළිගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔබේ දෙසිය වැනි උපන් දිනය සැමරීම සඳහා ඔබ සමාදානයේ සැතපී සිටින ලන්ඩනයේ හයිගේට්හි සුසාන භූමියට පැමිණ ඔබේ ප්‍රඥාවට ඔබේ අවංකකමට ඔබේ අප්‍රතිහිත ධෛර්යයට ඔබේ ඉවසීමට ඔබේ කරුණාභරිත පීතෘත්වයට ජෙනීට දැක්වූ අකලංක ආදරයට  එංගල්ස්ගේ උපකාර මද්‍යයේ වුවුද දරිද්‍රතා මාපකයේ ශූන්‍යයට දශමයකට ඉහළින්  සිටිමින අගහිඟකම් නිසා දරුවන් එකා දෙන්නා මැරී වැටෙද්දි ධනවාදයට එරෙහි සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සහ කම්කරුවන් ප්‍රමුඛ ධනවාදයයෙන් බැට කන සමස්ත පීඩිත ජනතාවගේ ජීවිතයේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද අනලස් සහ කොන්දේසි විරහිත සේවයට ප්‍රණාමය පුදති. ඔබ වෙත එවන මෙම ප්‍රශස්ති සටහනද ඔබේ 200 වෙනි උපන්දිනය වෙනුවෙන් කරන ප්‍රණාමයේ දිගුවකි.

හිතවත් කාල් ,

එහෙත් මෙය ලියනුයේ සමස්ත පීඩිත ජනතාවම කබලෙන් ලිපට වැටෙමින් යන තත්ත්වය තුළය. උදාවී ඇති මෙම තත්ත්වය පිළිබදව ඔබ අතිශයින්ම කණගාටුවෙන බව මම ඉඳුරා දනිමි. එහෙත් ඔබේ කණගාටුව තුල නිහතමානි ආඩම්බරයක්ද මට දැකිය හැක්කේ මෙම ආගාධයෙන් මිනිසාට ගොඩ යා හැක්කේ ඔබගේ චින්තනය සහ වැඩ පිළිවෙළ පමණක් උඩ බව ඔබ එදත් දැන සිටි නිසා සහ අදත් දන්නා හෙයින් පමණක් නොව සිදුවන දැ බලන කල  එදා ඔබ කියු දැ අදත් සනාථ වන නිසාද හෙයිනි.

හිතවත් කාල්,

ඔබේ දැක්ම ගැන නම් ඉතින් කතා දෙකක් නැහැ. එය සත්තකින්ම නිවැරදියි. සමාජය සහ ආර්ථිකය පිළිබද විග්‍රහ වලදී මිනිස් වැරදි සිදුවිය හැකි වුවත් පොදුවේ සමාජය පනිළිබඳ ඔබේ කියැවීමේ හෝ ධනවාදය පිළිබද ඔබගේ නිගමනයේ නොසලකා හැරිය හැකි මිස මූලික දෝෂයක් මට නොපෙනේ.  ඔබ නිවරැදියි යැයි කියන්නේ ඔබගේ චින්තනය පසුපස  පැමිණි ඔබගේ මධ්‍යම පංතික බුද්ධිමත් අනුගාමිකයන් සහ කම්කරුවන් පමණක් නොවේ. ඔබ ජීවතුන් අතර සිටි කාලයේ පවා ඔබ සමග වාද කළ සමහරුන් යටි හිත්න් ඔබ නිවරැදි බව තේරුම් ගෙන සිටියෝය. සමහරු ඔබව නොසලකා හැර පසුව ඔබ වෙත ආවෝය. ( උදා: ජෝන් පෝල් සාත්, ෂාක් ඩෙරීඩා ) අද නම් එම සංඛ්‍යාව එදාට වඩා වැඩි බව ඔබ දන්නවාද?

හිතවත් කාල් ,

දේශපාලන න්‍යායවාදියෙක්, ආර්ථික විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක් ආදි වශයෙන් කේෂත්‍රවලට කඩා ලේබල් අලවා ඔබව වෙන වෙනම සමහරු හඳුන්වා දෙති. එහෙත් මම ඔබව එසේ නොදකිමි. මේ පටබැඳිළි ඔබට ගැලපෙන මුත් ඔබ එකවරම මේ සියල්ලලෙහි ;ම අභිබවනයයි. ඉක්මවීමයි. ඇරිස් ටෝටල්, හොබ්ස්, ලොක්, මැකියාවෙල්ලි දේශපාලන න්‍යායවේදින්. ඔබ ඒ ගණයේ නොවේ. ඔබ දේශපාලන විප්ලවකාරයෙක්. ඇඩම් ස්මිත්, කෙන්ස් , ලිප්සේ ,ෆ්‍රිඩිමාන් ආර්ථික විද්‍යාඥයන්. ඔබ ඔවුන්ගේ පරපුරේ නොවේ. ඔබ ඔවුන්ගේ නිශේධනයයි.කොමිට් ඩුර්කයිම්, වෙබර්, පාසන්ස් , ගිඩන්ස් සමාජ විද්‍යාඥයන් තමයි. නමුත් ඔබ ඒ එකෙකුවත් නොවේ. හෙරඩෝටස් ,බකල් ,රැට්සල් ,හේගල්, බරුවා සහ ටොයින්බි එක්තරා අර්ථයකින් ඉතිහාසඥයන් වුවද ඉතිහාසය ගැන ඔබගේ කියැවීම බැලු විට ඔබව කෙසේ වත් එ් කඳවුරට දැමිය නොහැකිය. ඔවුන් ඉතිහාසය යනු පන්ති ගැටුම් වල ඉතිහාසයකි යන්න දුටු අය නොවේ. ඇරත් ඔබ අවධාරණය කළේ මානව ඉතිහාසය තවම ලියැවී නොමැති බවත් ලියැවී ඇත්තේ බලවතාගේ ඉතිහාසය බවත්  සැබෑ මානව ඉතිහාසය ලිවීම ආරම්භ වනුයේම ලෝකය ධනවාදි ග්‍රහණයෙන් මුදවා ගත් දාටය යන්නය.

ඉතිහාසඥයාගේ පණිවිඩයට අවශ්‍ය පරිදි සිද්ධින් අභිමත පරිදි රේඛියව  පෙළගැස්සවීමකට වඩා (ලංකා ඉතිහාසය කෙටුම්පත් කළ මහානාම හිමියන් සහ පිරිස මෙන් ) ඉතිහාසය යනු දහඩියේ, ගැටුමේ සහ අසාධාරණයේ ඉතිහාසය ලෙස පෙන්වීමට ඔබ කළ වෑයම තේරුමින් ගත් කළ ඔබ සාම්ප්‍රදායික ඉතිහාසඥයෙක් නොවේ. බුදුන් වහන්සේ, මහා වීර,  කොන්පියුසියස්,  ඇක්වයිනාස්,  කාන්ට්, විට්ගන්ස්ටයින් , රසල් , ඩෙරීඩා  ආදින් එක්තරා අර්ථයකින්  දාර්ශනිකයෝ වූ මුත් ඔබ  ඒ කිසිවෙකුත් නොදුටු දෑ  දුටු  නොකී දෑ කියූ  සුවිශේෂි දාර්ශනිකයෙකු විය. ඔබ ඒ කව්රුන්වත් නොවන බව සංයුක්ත ලෙස  ප්‍රකාශ කොට තිබුනේ ෆියුබෑ පිළිබදව ඔබ ලියූ 11 වැනි ප්‍රවාදයේය. “දාර්ශනිකයන් මේ දක්වා කර ඇත්තේ ලෝකය විස්තර කිරිමයි. කළ යුත්තේ ලෝකය වෙනස් කිරිමයි.” ( ඔබගේ ඉහත අනුස්මරණ පලකයේද  මෙම ප්‍රවාදය කොටා ඇත.)

ඔබ ලියූ දෑ මුල සිට  අග දක්වා ගැඔුරින් කියවා මෙම ප්‍රවාදය ද තීක්ෂණව කියවන්නෙකුට ඔබ අනෙක් දාර්ශනිකයන්ගෙන් සාකල්‍යයෙන්ම වෙනස් බව තේරුම් යනු ඇත. දර්ශනය යනු හුදෙක් චින්තනාභ්‍යාසයක්ම නොව සමස්ත මානවයාගේ යහපත සදහා මානවයා විසින්ම කරන ලබන ‘සදාචාර දේශපාලන සුභාවිතයක්’ (moral political praxis) බව පෙන්වා දුන්නේ ඔබ පමණි.

දර්ශනය යනු ඓතිහාසික ආර්ථික දේශපාලනික සහ සමාජයීය යන විෂයන් හතරේ ප්‍රබුද්ධ සංකලනයයි. කාල්, මාගේ පුදුමය නම් මේ ක්ෂේත්‍ර 4 එක පුද්ගලයෙකු තුළ නොසෙල්වන ලෙසත් සංස්ථිතික ලෙසත් සංශ්ලේෂණය කර ගත්තේ කෙසේද යන්නයි. ප්ලේටෝ චින්තකයෙකු වුවද ඔහු ප්‍රභූ පන්ති සංරක්ෂකයෙකු විය. ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාඥයෙකු වුවද මානව වාදියෙකු නොවීය. ලියනාඩෝ ඩවින්ෂි කුසලතා පූර්ණ මිනිසෙකු වුවද ඔහු විප්ලවවාදියෙකු නොවීය. එහෙත් ඔබ ඒ සියල්ලමය. මට පුදුම එයය.

 

හිතවත් කාල්,

ඇත්තෙන්ම 20 වෙනි ශතවර්ෂයේ 6 සහ 7 දශකවල ලෝකයේ 2/1ක පමණ දේශපාලනය ඔබේ දින්තනය පිළිගෙන තිබුණා. එහෙත් සටැලින්වාදය ජර්මන් ෆැසිස්ට් වාදය ධනවාදි ආර්ථික යාන්ත්‍රණයේ ෆැන්ටසි උත්තේජනයන්ගෙන් බිහිවු නව පාර්භෝජන සංස්කෘතිය නිසාවෙන් ධනවාදය ස්ථම්භනය වීමෙන් ඔබගේ දර්ශනය තාවකාලික පසු බැස්මක් ලැබුවේ යැයි පෙනුනද සැබෑ ලෙස නම් සිදුවූයේ සහ අද වනුයේ ධනවාද්යේ දෛනික කඩා වැටීමයි. එසේ කඩා වැටෙන වාරයක් වාරයක්  පාසා අභීත ලෙස නැගී සිටිනුයේ ඔබයි. ඔබගේ කියැවීමේ සහ අනාවැකිවල නිරවදයතාවයයි.

2008 2010 ධනවාදි ලෝක අර්බුද සුනාමිය  නිසා කිසිවක් කර කියා ගත නොහැකි වූ ඇන්ජීලා මාර්කල්, සාකෝසී, ඩේවිඩ් කැමරන් ,ඔබාමා ඇතුළු ධනවාදි බලවතුන් උන්මාදයෙන් මෙන් ගැලවීම සඳහා ඔබගේ ප්‍රාග්ධනයටද එබී බැලිී ය. බල්ලාගේ තුවාලය ඌ විසින්ම ලෙවකා සනීප කර ගන්නවා මෙන් ධනවාදය විසින් බංකොලොත් වූ බැංකු සහ කොම්පැණි සියල්ල ඇප දී  බේරා ගනු ලැබීය. නමුත් මට මතකයි මම කොහේ හෝ කියෙවිවා ඔබ 1862 කරම් ආෑතකදී ධනවාදය නිසා කඩා වැටෙන බැංකු ඒ ඒ රටවල රජයන් විසින් ඇප දී (bailing out)නිදහස් කර ගැනීම කිසිසේත් අනුමත නොකල බව.මට නම් මේ පුරෝකථන හිතාගන්නවත් බෑ.

 

හිතවත් කාල්,

අද තත්ත්වය 2008ට වඩා සෑම අතින්ම බරපතළයි කාල්. ඔබ පුරෝකථනය කළ ආකාරයටම අද ධනවාදය ගොඩ ඒමට බැරි ලෙස අගාධයටම වැටිලා. ගින්දර අඩු වී වතුර රත්වීම ප්‍රමාද වන විට කකුළුවෝ ‘බාල් නැටුවට’ ධනවාදයේ අවසානය වැඩි ඈතක නොවන බවට සොහොන් ලකුණු සෑම තැනින්ම මතු වෙනවා. හිට්ලර් මුසෝලිනි සහ ෆ්‍රන්කො වගේ ජනතාවගේ කුනින් පරපීිඩන සතුටක් ඔබ නොලබන බව මම දන්නවා මුත් ධනවාදයේ අර්බුදය තීව්‍රවීම ගැන සහ ඔබේ කියවීමේ නිගමන සනාත වීම පිලීබද ඔබට අහිංසක සතුටක් ඇතයි මට සිතෙනුයේ ධනවාදයේ අවසානය ඔබේ අනාවැකියකට වඩා ඔබේ පැතුමව තිබූ බව ඔබේ ලිපි ලේඛනවලින් මට අනන්තව පැහැදිලි වී ඇති නිසාය. ‘ධනවාදය ලෝකයට මුදා හැර ඇත්තේ අරාජකත්වය පමණයි.’ කියමින් why Socialism නැමති පොත් පිංචෙන් අයින්ස්ටයින් මීට වසර 70කට පෙර  ඔබගේ දැක්ම සනාථ කිරීමෙන්ඔබ සතුටු වන්නට ඇතැයි සිතමි.

අයින්ස්ටයින් 1949 දුටු ධනවාදයේ අරාජිකත්වයට වඩා අද අරාජිකත්වයත් අවුලෙන් අවුලය ගිහිං කාල්. නවසිය තිස් ගණන් වල මහා ආර්ථික අවපාතයේ සිට අදවෙන විට කී වතාවක් නම් ධනවාදය කඩා වeටුනද? ඒත් මොකක් හෝ කරලා නැවත නැගිටිනවා. ආයිත් කඩා වැටෙනවා. වෙනත් තැනකින් පුපුරනවා. ඒක පස්ස ගන්නවා. ඔහොම තමයි පසුගිය වසර 133ම ගෙවුනේ. ඔබ එදා කීවානේ ‘කොම්පැණිකාරයෝ නිපදවනවා, නිපදවනවා, නිපදවනවා අන්තිමේදි නිපදවන බඩු ගන්න කෙනෙක්  නැහැ කියලා.’ අද ඇතිවෙලා තියෙන්නේ ඒ තත්ත්වය තමයි. වෙළඳපොළවල් නැහැ. නව බැඳුම් නැහැ. තණහාව මිස නිෂ්පාදනයන්ට සදාචාරයන් නැහැ. 2008 නිවාස වෙළදපොළ වැටුනේ මේ නිසා. අසමානතාවය ආදායම හීන කළා.එය ණය ගැනීමට පෙළ‍ඔවිවා. මේ නිසා සියල්ල කඩා වැටුනා.

දැනුත් එහෙමයි කාල්. හැබැයි උත්ප්‍රාසය නම් ධනවාදින්ම ධනවාදයේ ගෙළ සිඳීමයි. පැනමා පත්‍රිකා කාන්දු සංසිද්ධිය පෙන්නුම් කරන්නේ  ධනවාදයේ මේ සියදිවි නසා ගැනීමයි. ධනවාදයේ මූලික කොන්දේසිය මුදල් ආයෝජනයට යෙදීමයි. මුදල් ප්‍රාග්ධනයට හැරවීමයි. ඔබ ප්‍රාග්ධනයෙහි වෙළුම 1. 11 කොටසෙහි පරි. 4න් පැහැදිලි කළ පරිදි මෙම ක්‍රියාවලිය එනම්  භාණ්ඩමුදල්භාKav ( C-M-C) සහ  මුදල්භාණ්ඩමුදල් (M-C-M) ප්‍රාග්ධන සංසරණයේ සාමාන්‍ය සුත්‍රයයි. අද වෙන්නේ කපටිකමින් සහ හොරකමින් හොයලා ආයෝජනයට නොදා බදු කෙම්බිම් වල (tax heavens) හැංඟීමයි. මෙය ධනවාදයේ මූලික ගතිය නියාමයට පවා පිටුපෑමකි. උල්ලාඝනය කිරිමකි.

අනික් අතට කාල් සිය ධනවාදයේ පිපිරීම පෙන්වූ තවත් සිද්ධියක් මෑතදී වුනා. වසර 43කට පසු  යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතුය යන්න ජනතාව තීරණය කළා. එදා යුරෝපා සංගමය අටවා ගත්තේත් ආර්ථික අර්බුදයෙන් නිදහස් වීමට. අද අයින් වෙන්නෙත් ආර්ථික කරුණූ යහපත් කරගැනීමට සහ සූරා කෑම  පිළීවෙළක් ඇතිව කීරමට. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටියත් එකයි.  ඉවත් වුනත් එකයි. ධනවාදයේ කඩා වැටීම නවත්වන්න බැහැ.

හිතවත් කාල්,

ඔබ සිතූ සහ පැතූ පරිදිම ධනවාදයට උරුම කඩා වැටීම දැන් ශිඝ්‍රගාමි වෙලා. ධනවාදයේ යාන්ත්‍රණයන් වන සිල්ලර වෙළඳපොළ, තොග වෙළඳපොළ, ණය වෙළඳපොළ, බැංකු ක්‍රමය, මූල්‍ය පද්ධතිය ආදි සියල්ල කඩා වැමෙින් යනවා. 1930 ගණන්වල මහා ආර්ථික අවපාතයෙන් පසු ධනවාදයේ නරකම කාලය අද ගෙවෙන බවට ධනවාදයෙන්ම හැදුණු ධන කුවේරයින් වන ජෝර්ජ් සොරාස් වැන්න්, ‘ලෝක බැංකුව’ (WB) සහ ධනවාදයේ භාරකරු වන ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල’  පවා පාපොච්චාරණය කරනවා.

හිතවත් කාල්,

ධනවාදයේ ආරක්ෂක පුවත්පතක් වන  The financial timesධනවාදයේ ඉරණම වචන තුනකින් මෑතකදී ලීවා. ‘ධනවාදය පටලවාගෙන ඉවරයි.’( Capitalism is in convolution) කේන්ද්‍රය දුර්වලයි. සියල්ල කඩා වැටෙනවා . සියල්ල දියවෙනවා.  මට මතකයි ඔබත් කොමියුනිස්ට් ප්‍රකාශනයේ තැනක අවධාරණය කළා. සියලුම ඝනීකාත දේ දිය වී වාතයට මුසු වන බව ඒ  කියන්නේ ඔබ එදා කී දෑ බොහොමයක්  නිවැරදියි කාල්. ඔබ හැරුණුකොට අනෙක් සෑම සමාජ විශ්ලේෂයෙකුටම  බැරිවුනා සිදු වන්නේ කුමක්ද සිදු කළ යුත්තේ කුමක්ද  යන්න කියා දෙන්න . ඔබ ඒක කළා. අකුරටම කළා. නිවැරදිවම කළා. එහෙත් ජනතාව ධනවාදි මිරිඟුව පස්සේ දුවනවා කාල්. නමුත් මේ දිවීමට අවසානයකුත් දිවීමට හතියකුත් තියෙන්න එපායැ කාල්.

පද්ධතිය කඩා වැටෙන බව හදපු අයම කියනවානම් කාල් ඒ පසුපස  දුවන්නත් එකට යට වෙන එක අහන්න ඔින නැහැනෙ. අපේ භාෂෘවෙන් කියනවා නම් කාල් අද සියල්ල  ‘කොට උඩ’. ඒ කියන්නේ ධනවාදය මැරී මැරී ජීවත් වෙනවා. නැත්නම් මැරෙනකම් ජීවත් වෙනවා. ඔබගේ අනුගාමිකයන් හැටියට අපි අති ප්‍රමෝදයකින් යුතුව බලා සිටිනුයේ  එහි සදු වීමට යන අනාගත මරනය නොව ක්ෂණික මරණයයි. ඔබ ජීවතුන් අතර සිටින කාලයේ  ඔබගේ ප්‍රාර්ථනාව වුනෙත් ඒකමනෙ. කණස්සලු වෙන්න එපා කාල්. එය සිදු වෙනවා. නියත වශයෙන්ම එය ප සිදු වෙනවා. ඔබට සතුටුයිද දැන්?.

හයිගේට් සුසාන භුමියේ ඔබේ අනුස්මරණ ෆලකයේ උඩ වැකිය ලෝකයේ කම්කරුවනි එක්වව්  යන්නයි. කම්කරුවන් ධනවාදයේ  මිනී වල හාරන්නන් ලෙස ඔබ හඳුනා ගත්තා. එම නිසා කම්කරු අරගල ගැනත් ඔබට කියන්න ඔිනෑ. ඔබ සිටි කාලයේ වගේම තමයි කාල් කම්කරු අරගල වලින් නම් අදත් අඩුවක් නැහැ. හැම තැනම අරගල. හැම තැනම අර්බුද. පංච මහා ද්වීපයේ කොහේ හෝ රටක දහස් ගණනින් රැකියාවලින් ්එළියට විසි නොවී රැයක් පහන් වෙන්නේ නැහැ. 2008 සිට මේ වන විට මිලියන ගණනකට රැකියා නැත්තටම නැතිවෙලා. ඔබත් සක්‍රීයව මැදිහත් වූ පැය 8 වැඩමුරය 6ට සහ 4ට බටලන්ම සංකෝචනය කරලා. සමහරු වෙඩි තියා ගත්තා. සමහර පියවරු දරුවන්ට කන්න දෙන්න බැරිව 5කින් යුතු මුළු පවුලම මැරුවා. සමහරු වස පානය කළා. සේවක ප්‍රජාව රැකියාවලින් නොපන්නා ධනවාදය ගෙනියන්න බැරි බව ඔබ එදා කීවේ  කෑදර ධනවාදින් ශ්‍රම සූරා කෑමෙන් පමණක්  නොසෑහෙන නිසා සහ ඔවුන්ගේ තණ්හාවට සීමා මායිම් නැති නිසා. ඒවා කිරිගහට ඇන්න වගේ හරි කාල්.

අද අර්බුදය  ඉහ වහා ගිහිං. මේවාට එරෙහිව උද්ඝෝෂණ , සටන්, වැඩ වර්ජන සහ පිකටිං තිබිබට ඒවා බොහොමයක් කෙළවර වෙන්නේ අයිතිවාසිකම් දිනාගෙන නොවෙයි. පාලකයින් ඉදිරියේ දණින් වැටිලා. පාවාදීලා. අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා. විශේෂයෙන් ශ්‍රි ලංකාවේත් ආසියාවේත් වැඩ වර්ජන බොහෝ විට අවාන වෙන්නේ ඉල්ලීම් දිනා ගන්නේ නැතිව.

අවාසනාවකට මෙහෙම උනත් ලෝකය පුරාම කම්කරුවෝ නොනවතින අරගලයකත් ඉන්නවා. පක්ෂ පදනම් නැති සැබෑ කම්කරුවන් සමිත් ලෝ පුරා ශක්තිමත්. ඒක ඔබට සුභ ආැංචියක්. එහෙම නේද කාල්? සටන් කරලා මිසක් හාම් පුතුන් සහ පාලක පන්තිය රිදී බන්දේසියක තියල අයිතිවාසිකම් සහ වරප්‍රසාද ප්‍රදානය නොකරන බව ඔබ කී වාරයක් නම් කම්කරු පන්තියට කිව්වද?  කොමියුනිස්ට් ප්‍රකාශනයේ ලිව්වද?  ඔබේ මරණයෙන් හරියටම වසරකට පසු 1884 පැය 8ටේ දෛනික වැඩමුරය දිනා ගැනීමේ සිට අද වන විට ධනපති පන්තියෙත් උදුරා ගත් අයිතිවාසිකම්  රාශියක් තියෙනවා කාල්. ඔබේ අමන්දානන්දනයට කීපයක් කියන්නද?

ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට සමාන වැටුප්, අතිකාල දීමනා,  වේතන සහිත වාර්ෂික නිවාඩු,  ගර්භනි නිවාඩු,   සෞඛ්‍ය පහසුකම් සහ දීමනා,  වැඩ බිමේ ආරක්ෂණය,  සමාජ සේවා ක්ප්පාදු නවතා ගැනිම් , අවම මූලික පඩියක්  ස්ථිර කර ගැනීම,   වෘත්තිය සමිති අයිතිවාසිකම් රැක ගැනීම ආදිය. අපේ ලංකාවේත් පසුගිය දශක කීපයේදි දිනාගත් සහ කම්කරුවන්ගේ ගෙල සිඳින ‘ඩ්‍රැකෝනියානු’ පණත් ආපසු හැරවු අවස්තා තියෙනවා.  එවන් ඓතිහාසික ජයග්‍රහණයක් තමයි කාල් අපේ ලංකාවේ  කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පණත හකුලා ගැනීමට සැලස්වීම. අපේ වෘත්තිය සමිති ඒකෙන් නම් රජය දණ ගැස්සුවා.

ඔබ හිටිය නම් ධනවාදය නිසා ලෝකයට සිදු වී ඇති වින්නඅහිය ගැන  මෙලහට වෙළුම් සීයක් විතර  ලියලා. රට රටවල ප්‍රතිශත දක්වලා ඔබව වෙහෙස කරන්න මම කැමති නැහැ. එහෙත් දත්ත යථාර්ථයට දොරටුව බව ප්‍රාග්ධනය කෘතියෙන් පෙන්වා දුන්නේද ඔබමයි. ලෝක වැඩ වැඩ කරන ජනතාව්න මිලියන 375ක් දිනකට ඩොලර් 1.25ක වැටුපෙහි ඉන්නෙ. මිලියන 839 ක් ඩොලර් 2 වැටුපට. පුරසාරම් දොඩවන ධනවාදය එදාට වඩා අද අති අමානුෂිකයිනේ කාල්.

Habitar (2015) දත්ත වලට අනුව පවුල් මිලියන 100කට ඉන්න තැනක් නැහැ. බිලියන දෙකකට පමණ ඇත්තේ නිවාස නොව කූඩාරම්. ආහාර හිඟකම සහ සෞඛය ප්‍රශ්න  මින්සුනට ඔරොත්තු නොදෙන තත්ත්වයකට ඇවිත්. එක් පැත්තකින් රැකියා වලින් ලක්ෂ ගණන් දොට්ට විසිවෙනවා. අනික් පැත්තෙන් විරැකියාව ප්‍රසාරණය වෙනවා. 2008 මූල්‍ය කඩා වැටීමෙන් පසු තරුණ විරුකියාව 14කින් ඉහළ ගියා. මැද පෙරදිග තරුණ විරැකියාව 27. මැද පෙරදිග කලබල මේ නිසා ඇති වුවද මතුවන්නේ ෂියා සුන්නි  ආගමික නිකා සටන් ලෙස. ශ්‍රි ලංකාවේ ඇති නැති පරතරය  ලෙස. සිංහල දෙමළ ජනවාර්ගික කෝලාහල ලෙස. මියන්මාරේ බෞද්ධ මුස්ලිම් රෝහින්ගියා ගැටුම් ලෙස.

හිතවත් කාල්,

එදා ධනවාය දිහා බලා ඔබ වරක් නොවෙයි කිහිප වාරයක්ම කළ අනාවැකියක්  තමයි තරඟකාරි බව නිසා කුඩා සමාගම්  සහ මධ්‍යම ප්‍රාග්ධනධාරින් අනාගතයේදි බහු ජාතික, බහු ආගමික, බහු ව්‍යාපාරික ආදි වශයෙන් එකතු වී මෙගා සමාගම් සාදන බව. ඔබේ ඒ පුරෝකථනය නිවැරදියි. අද එය හදුන්වන්නේ  ‘ගෝලිය ඒකාබද්ධ ධනවාදය’ (global cooperate capitalism) ලෙස.

ධනවාදය කිහිපදෙනෙකු අත රැඳි වර්ධනය වෙලා අද වඩාත් සීමිත අතළොස්සකට සාන්ද්‍රණය වෙලා. මෙම ක්‍රියාවලියේ නියාමය ඔබ හැඳින්වූයේ  ( The Law of Concentration) Centralization  එනම් ප්‍රාග්ධනය මධ්‍යගත සහ රාශිභූත වීමේ න්‍යාය ලෙසය. නමුත් ඔබ ඒ සමඟම කීවා. මේ හේතුව නිසා ධනවාදයට බේරෙන්න පුළුවන් කමක් නම් නොලැබෙන බව. නිෂ්පාදන බලවේග සහ සම්බන්ධතා වල හැප්පීම, ගැටීම, පරස්පරය, තවත් පුළුල් වීම මෙයට හේතුව බව ඔබ පෙන්වා දුන්නා.

ගෝලිය ඒකාබද්ධ ධනවාදය දිනෙන් දින පුපුරා යාමෙන් පේන්නේ ඔබ එතනත් හරි කියලයි. එදා ධනවාදයට රුකුලක් ලැබුනේ තාක්ෂණයෙන්. අද ධනවාදයේ භාරකරුවෝ වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික ධනපතින් නොවෙයි. ‘නවීන තාක්ෂණික ධන කුවේරයින්.’ බිල් ගේට්ස් (Microsoft) ස්ටීව් ජොබ්ස් (Apple) ලැරී පේජ් (Google) මාර්ක් සකර්බර්ග් ( Facebook) මොවුන් තමයි ධනවාදයෙන් උපන් ප්‍රකොටිපති දැවන්තයෝ. අද පරම්පරාවේ ‘රෝල් මොඩල්’ මේ අයයි. Plutocrats: The rise of the new global super – rich and the fall of everyone else යන ශිර්ෂයෙන් මොවුන් ගැන පොතක් Chrytia Freeland විසින් 2012දි ලියලා තියෙනවා. මෙම කෘතිය ඔබ කියු නියාමයේ අභ්‍යන්තර ක්‍රියාවලිය  කරුණු සහිතව පෙන්වා දෙනවා.

මේ නිසයි කාල් ඔබ නිවැරදි බව මමත් මම වැනි තවත් බොහෝ අය පුන පුනා කියන්නේ සහ හිතන්නේ. මම නම් හිතන්නේ ධනවාදය ගිලෙන ගිලෙන ගාණට තවත් ගොඩට පාවී දිළිසෙන්නේ ඔබ සහ ඔබ විතරමයි කියලා. මම තරමක් භාවාත්මකයි වගේද කාල්. ඒවුනාට මම කියන්නේ ඇත්ත. ධනවාදයට එරෙහිව ඔබත් භාවාත්මක වුනා. මතක නැද්ද  ඔබ ගැටවර වියේදි ලියු කවි පංති? The Minstrel , Song of the Sirens, The Desparing Man’s Prayer. ඒ විතරක් යැයි? ඇයි ඔබ ජෙනීට ලව් කරන කාලයේ ලියු භාවාත්මක කවි? ඔබත් එදා භාවාත්මක වු ඒ නිසා මමත් ටිකක් භාවාත්මක වුනාට කමක් නැහැනේ කාල්?

කාල් ධනවාදය අභාවයට යන ගමනේ තම පැවත්ම සහතික කර ගැනීමට ඔබ කියු බොහොමයක් අද එය පාවිච්චි කරනවා. ධනවාදයේ අර්බුදය පමණක් නොව ධනවාදින විසින් අර්බුදයෙන් ගොඩ යාමට  ගන්න විකල්ප පියවරයන් ගැනද ඔබ කියා තිබීම ඇත්තටම පුදුමයි කාල්.

  1. සම්භාව්‍ය ආර්ථික න්‍යාය විසින්  තරගකාරිත්වය සාමාන්‍ය දෙයක් ලෙසත් ස්වයංපෝෂී ලෙසත් තේරුම් කර දී තිබු වෙලාවක 1860 ගණන් වල ඔබ තර්ක කළේ  විශාල ඒකාදිකාර් සමාගම් හරහා වෙළඳපොළ බලය  මධ්‍යගත වන බවය. ඔබ මෙය අවධාරණය කරන විට එදා සිටි ආර්ථික ‘ඔස්තාද්’ ලා මේ මොන පිසිසෙක් දැයි අහන්නට ඇත.  නමුත් අද ඔබේ කියැවීම සත්‍ය වී ඇත. කුඩා ව්‍යාපාර වැසී ගොස් ඒ වෙළඳාම Nike, Coca- Cola, Walmart ආදි බහු ජාතික සමාගම් සහ ව්‍යාපාර ජාලයන්  විසින් ඩැහැගෙන අහවරය. කුඩා බැංකු පමණක් නොව Morgan Chase වැනි මහා බැංකුද ලෝ පුරා කුඩා  ගොවිපළවල් Daniels’  Midland සහ Nestle වැනි බහු ජාතික සමාගම් විසින් විසුරුවා හැර අවසානය. ඉන්දියාව සහ ශ්‍රි ලංකාව ගැනත් ඔබ ලියා ඇති නිසා අපද මේ ව්‍යවසනයට ලක් වී අවසාන බව දැනුම් දෙමි. ලංකාවේත් Food city   සුපිරි වෙළඳසැල් ජාලය දිවයිනේ සතර දිග් භාගයේම කුඩා කඩ බිල්ලට ගනිමින් සමස්ත දිවයිනම තම වෙළඳ දඬුඅඬුවට හසු කරගෙන ඇත. අනෙක් රටවල මෙන් ශ්‍රි ලංකාවද ධනවාදි මහා විශ්වයේ (macrocosm)  අණුකවිශ්වය (microcosm) වී අවසානය.
  2. ඔබ එදා අධි නිෂ්පාදනය (Over- production)ගැන මොන තරම් කතා කළාද? අධිනිෂ්පාදනය නිසා සමස්ත පෘතුවි ග්‍රහ වස්තුවම පීරා වෙළඳපළවල් සෙවීමට ධනවාදයට සිදුවන බව ඔබ කී තැනක ලීවාද? සමස්ත ගෝලයේ මතුපිට පීරමින් භාණ්ඩ සඳහා වෙළඳපොළක් (සහ ලාභ ශ්‍රම හමුදාවක්) නිරන්තරයෙන් සොයා යෑමේ ධනපතියාගේ අවශ්‍යතාවය  ‘සෑමතැනකම ස්ථාපිතවීමටත් මුල් බැස ගැනීමටත් ඔවුන්ගේ තණ්හාව ඔවුන්ට බළ කරති’ ආදි වශයෙන් ඔබ එදා ප්‍රාග්ධනයෙන් පෙන්වාදුන්නේ මේකනේ? අද සිදුවන ගෝලිය කරණයනේ මේ. ඔබ ඒ ගැන ලීවේ 1848නෙ. ඔබ ගැන මා ආඩම්බරවනුයේ 2016දී ධනවාදි ලෝකය යන දීහාව ඔබ එදා දැකීම ගැන නොවේ. එසේ සිදුවන්නේ කෙසේද යන්න ඔබ විග්‍රහ කිරිම ගැනත් නොවේ. මම පුදුම වනුයේ එය ඔබ නිවැරදි කිරිම නිසාය. ධනවාදයේ දෛලෙක්තිය ඔබ තීක්ෂණව දුටු නිසාය. ඔබ නිවැරදි බව මහාචාර්ය ටෙරී ඊගල්ටන්  විසින් Why Marx was Right ? පොතින් පෙන්වා දුන්නේ මේ මෑතදීය.

 

  1. කාල් ඔබේ යුගයේ කම්කරුවන් යුදා හැරියේ ශාරීරක ශ්‍රමයයි. අද ශ්‍රමයත් පරිණාමය වෙලා. යාන්ත්‍රික වෙලා. ඇත්තටම ඩිජිටල් කරලා. ඩිජිටල් නිසාම එම ශ්‍රමය ආකර්ශනිය වෙලා. ශාරීරික ශ්‍රමයෙන් වෙනස් ලෙස එහ අර්ථකථනය වෙලා. උත්තරාරෝපිත වෙලා.(Superimposed) එදා ශරීරය හරහා ශ්‍රමය සූරා කෑවා. අද ඩිජිටල් බුද්ධිය හරහා සූරා කනවා. ඇ.එ.ජ. ප්‍රදේශයේ සිලිකන් වැලි තමයි  ඩිජිටල් තාක්ෂණය හරහා ශ්‍රම සූරා කන අඩවි තලාව. එවන් අඩවි දැන් සෑම තැනකම ඉදිවෙලා. ඒ නිසා ඔබ හරි. ධනපතින් මොන උප්පරවැට්ටි හෝ යොදා මිනිස් ශ්‍රමය සූරා කන බව එදා කීවා.එදා වගේම තමයි කාල් අදත්. ඩිජිටල් වුවත් මරා වැඩ ගැනීම අඩු කරලා නැහැ. (Wod Amazon, Apple) එහෙත් ඩිජිටල් ශ්‍රමධාරින් හිතන්නේ ඔවුන් දහඩිය හෙළන ශ්‍රමධාරිතයන්ලෙන් වෙනස් කියලා.ශවුන් කම්කරුවෝ නෙවෙයි කියලා. ඔබ පැහැදිලිව කම්කරුවාව නිර්වචනය කරමින් ලීවා ‘වේතනධාරියෙක් නම් ඔහු හෝ ඇය කම්කරුවෙක් බව’. ‘ඩිජිටල් ‘ කම්කරු ‘මහත්වරු’ එහෙම හිතන්න කැමති නැහැ. ධනවාදිනගේ සිලිකන් තලාව වැනි ඩිජිටල් වැඩ බිම් ‘ඩොට්’ ‘බබල්’ ආයෝජනයන් දක්වා අද වර්ධනය වෙලා. මෙය ඔබ හඳුන්වා දුන් මිථ්‍යා ප්‍රාග්ධනය (fictitious capita) නොවේ නම් වෙන කුමක්ද?

 

  1. භාණ්ඩ නිෂ්පාදනය සමග භාණ්ඩ අර්චන කාමයකුත් (Commodity Fetishism) පාරිභෝජකයා තුළ ධනවාදය ඇති කරන බව ඔබ එදා දුටුවා. එහි උච්ච රූපය අද ධනවාදය තුළ පේනවා. එයටම කියා මනුස්සකමක් නැති  භාවිත නොව ශෝභන නිමාවෙන් යුතුව නිපැද වීවාර්ෂිකව වෙළඳපොළට එන සියුම් විචිත්‍ර භාණ්ඩවලට පාරිභෝගිකයන් යටවන හැටි සහ ඒ පසුපස දුවන උන්මාදය අර්චන කාමය හැර වෙන කුමක්ද?  iPhone s5 වැඩ මිලකට හැකි නම් පළමු ගැනුම් කරුවන් 100ට ඇතුල් වෙමින් තමන් සතු කර ගැනීමට දහදුක් විඳිනුයේ iPhone s5, fyda iPhone s4  , iPhone s5 වඩා හොඳ නිසා නොව භාණ්ඩ අර්චන කාමය නිසාය. පරිභෝජන චර්යාව තුළ භාණ්ඩ හඔා යෑම් මීට පෙරත් තිබූ මුත් ධනවාදය මෙන් පාරිභෝගිකයා තුළ ආශාව පැළකොට ඔහුට හෝ අයට හතිවැටෙනකම් භාණ්ඩය පසුපස දිවීම පුරුදු කළේ ධනවාදයයි.

ඔබගේ චින්තනය අද්විතිය වනුයේ ධනවාදයේ වැටීම පුරෝකථනය කිරිම නිසාම නොවේ. පහත ප්‍රතිභාවන්ද නිසාය.

  1. යථාර්ථමය වශයෙන් ගත් කල ලෝකය භෞතික මිස අධ්‍යාත්මික නොවේ.
  2. සමාජ ඉතිහාසය යනු පන්ති අරගලයින්ගේ ඉතිහාසයයි.
  3. ජනතාව සමාජ තීරණයන්ට එළඔනුයේ ඔවුන්ගේ ආර්ථික වුවමනා එපාකම් වලට අනුවය. ඒ ඒ සමාජ වල ලක්ෂණ එපරිදි හැඩ ගස්වනුයේ ඒ ඒ සමාජයන්හි ආර්ථික ව්‍යුහයන්ය.
  4. දාර්ශනිකයන් මේ දක්වා කර ඇත්තේ ලෝකය විස්තර කිරිමකි. කළ යුත්තේ ලෝකය වෙනස් කිරිමයි.
  5. ආගම යනු ජනතාවගේ මත්ද්‍රව්‍යයයි. ජනතාව රැවටිල්ලයි.

ඔබ ඉහත ලියු සෑම වාක්‍යයක්ම වැදගත්. ඒවා කීවේ සහ ලීවේ මිනිසා වෙනුවෙන්. අප වෙනුවෙන්. කෙසේ වෙතත් ඔබ ලියු වාකය්‍යන් සියල්ලම වැදගත් මුත් මා සිතන්නේ අතිශය දාර්ශනික හරයකින් යුත් වාක්‍යයක උද්ධෘත කිරීමෙන් ඔබට කරනු ලබන මෙම ප්‍රණාමය අවසන් කරන්න හිතෙනවා.  ඔබ මෙය ලීවේ 17දී. නාඔර වයසේදි. මට පුදුමය ඒකයි. ඒත් එක අතකින් ඒක මට පුදුමයක් නොවෙයි. ඔය වයසෙදිම ඔබ පියාට ලියු ලියුම බැලුවම. ඇරත් ඔබ ආචාර්ය උපාධිය දිනාගත්තේ වයස 23දී. ඉතින් මොන කතාද? මේ තුනම මම සිංහල භාෂාවට පරිවර්තනය කළ බව කාල් දන්නේ නැතුව ඇති. මම කළා කාල්. 2003දී.

“මිනිසාගේ ස්වාභාවය සකස් වී ඇති ආකාරය සලකන කල ඔහුගේ පරිපූර්ණත්වය කරා ඔහුට යා හැක්කේ ඒ සඳහා ඔහු කටයුතු කරන්නේ නම් පමණි. තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමියෙකුට සමහර විට හොඳ උගතෙකු හෝ සිල්වත් තාපසකයෙකු හෝ  හොඳ කවියෙකු විය හැකි මුත් ඔහුට කිසි දිනෙක ශ්‍රේෂ්ඨ මිනිසෙකු නම් විය නොහැකිය.” (Reflections of a youth on the choice of a vocation)

ඔබ ශ්‍රේෂ්ඨයෙකුව මෙවන් ප්‍රණාම වලින් පුද ලබන්නේම වයස 17 දී ලියූ මෙම වාක්‍යය තුළ ඔබ මිය යන තෙක්ම ජීවත් වූ හෙයිනි.  කෝටි ප්‍රකෝටි ජනතා හදවත් තුළ ඔබ අදත් ජීවත් වනුයේ එහෙයිනි. ඔබ කියන මේ ශ්‍රේෂ්ඨ මිනිසා වනාහි ධනවාදය පෙරළා දැමීමට වෙහෙසෙන සහ ඒ අරමුණෙහි ශාක්ෂාත්කරණය වෙනුවෙන් තම ජීවිතය කැප කරන මිනිසාය. ඒ ශ්‍රේෂ්ඨ මිනිසා සඳහා උදාරතම සහ විශිෂ්ටතම උදාහරණය ඔබම මිස අන් කවරෙකුවත් නොවේ. කාල්, ඔබ එම විප්ලවකාරි පෞරුෂයේ ප්‍රතිමූර්තියයි. ප්‍රණේන්ද්‍රියයි.

ඉඩක් ලැබුනු විගස මම ඔබට නැවත ලියන්නෙමි.

දැනට අයෙුබෝවන් කාල්.  (Auf Weidershen, Karl)

මෙයට,

හිතවත් ඩෙස්මන්ඩ්,

ශ්‍රි ලංකාව.

ප.ලි.

මම හොඳින් දන්නවා කාල් ඔබගේ අග්‍ර කෘතිය වන ප්‍රාග්ධනය පිළිබඳව මේ දිනවල පළවන ඩේවිඩ් හාවේ මයිකල් හයින්රිච් සහ ඇන්තනි බෘවර් සහ තවත් බොහෝ දෙනෙකුගේ විවරණීය ග්‍රන්ථ කියවමින් ඒවා නිවැරදිදැයි බැලීමට ඔබ කාලය කැප කරන නිසා මා සමග ඊමේල් හරහා අදහස් හුවමාරු කර ගැනීමට අපහසු බව. එහෙත් බැරිවෙලාවත් ඔබට හිතුනොත් පහත ලිපිනය පාවිච්චි කරන්න පුළුවන්.

wasanthimanik@yahoo.com

මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *