ශ්‍රී මුඛය පූට්ටු වී , වහල් මුඛ විවර වූ ” මහින්දගේ චීන පගාව “

” නිව්යෝක් ටයිම්ස්”  පුවත්පත මහින්ද රජපක්ෂ- චීන ගනුදෙනුව පිලිබඳ ව  කළ අනාවරණයත්  සමග ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය තුළ දී, ගනුදෙනුවටත් වඩා දැඩි ව     හෙළිදරව්     වූයේ, රාජපක්ෂ  වහල් ගුබ්බෑයම එය වහංගු කිරීමට ගත් උත්සහාය ය.

මෙයට වහා පිළිතුරු දිය යුතු වූයේ  මහරජ මහින්ද වුවත් එතුමාණන් වහන්සේගේ ශ්‍රි මුඛය වෙනුවට විවර වූයේ ඔහුගේ වහල් නඩයේ  වහුලුන් කීප දෙනෙකුගේ  කටවල් ය. මුලින් ම විවර වූයේ එකල  මහ බැංකු  අධිපතිවරයා  වූ අජිත් නිවාඩ්  කබ්‍රාල් නමැත්තාගේ  කට ය. එම ලිපියේ  එන කරුණු  වැරදි බවට තමා කරුණු  දැක්වුවත් එම මාධ්‍යවේදිනිය ඒවා නොසලකා එම ලිපිය පළ  කර ඇති බව ඔහු කීවේය. එසේ ද වුවත් , තමා ඇයට කී එම ඊනියා සත්‍ය කරුණු  මොනවාදැයි  ඔහු අද වන තෙක් ප්‍රසිද්ධ කර නැත.එම කරුණු  නිව්යෝක් ටයිම්ස් පුවත්පතට දැන් වූ වගක්වත් කියා  නැත. එසේ දැන්වූවා නම්, මහ බැංකු අධිපති ධුරයට කිසිසේත් ම නුසුදුසු වූ තමාට එම තනතුර ලබා දුන් තමාගේ ගොඩ්ෆාදර්  මේ වන     විටත් අකරතැබ්බයෙන් ගොඩ ය. ලිපිය ලියූ මාධ්‍යවේදිනිය පමණක් නො ව නිව්යෝක් ටයිම්ස් පුවත්පත ද ආයෙ නොනැගිටින්න හොම්බෙන් ගොසිනි. එහෙත්  තමා එම මාධ්‍යවේදිනියට කියූ ඊනියා  සත්‍ය කරුණු  ඔහු මෙරට ජනතාවට වහංගු කරන්නේ පුදුම සහගත ලෙස ය.

ඊටත් වඩා පුදුම සහගත වන්නේ ,  ඒකාබද්ධයේ  ඊනියා ආර්ථික පර්යේෂණ   ඒකකයට මොහු ව කැඳවා  බර ටෝක් එකක් ලබා දීමට, වෙනදා මොහු සමග එක්වී මාධ්‍ය  සාකච්ඡා  අටවන බන්දුල ගුනවර්ධන  ක්‍රියා නොකිරීම ය; එය ම වෙනස් ලෙසකින් කිව හොත් , මහා ආර්ථික විශාරදයකු ලෙස වෙස් වලා ගත් හුදු  ටියුෂන්කාරයකු වූ ‘පචනොමිස්ට් ”  බන්දුල ගුනවර්ධන  සමග කරට අත දමා  ගෙන මීට ඉහත  මාධ්‍ය සාකච්ඡා පවත්වමින්   මහ බැංකු අධිපති  ධුරයේ දැලි ගෑ කබ්‍රාල්     ,මේ අතිශය වැදගත් මොහොතේ දී  එසේ නොකර සිටීම ය.

පාදඩ නිල් බලකායේ පිළිතුර 

ඊළඟට මෙම අනාවරණයට පිළිතුරු දීමට පෙරට පනින්නේ , එකල මහ පාරවල් බදු ගෙන කෝටි ගණන් විය හියදම් කරමින්, බාලිකා පසල්වලට පවා කඩා පනිමින් නීතිය අතට ගෙන ක්‍රියා  කළ ඊනියා නිල් බලකාය නමැති නම්බුකාර පාදඩ සංවිධානයේ කෙළිකාරයන් ය. මුලින් ම මොවුන් කියා සිටියේ  අදාළ  කරුණ  සම්බන්ධයෙන් පිළිතුරු දිය යුත්තේ  තිදෙනෙක් බව ය. එනම්,

1) මැතිවරණ  කටයුතු භාර ව සිටි එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත

2) ශ්‍රිලනිප මහ ලේකම් අනුර ප්‍රිය දර්ශන යාපා

3) අදාළ  චීන සමාගම.

තටම තටමා කල් යැවූ  චීන සමාගම සුපැහැ දිලි ප්‍රකාශයක් කිරීම වෙනුවට, ඇඟ  බේර ගැනීමේ ප්‍රකාශයක් අන්තිමේදී කළ  නමුත් ,අනෙක් දෙන්නා නම් තවමත් කසාය බීපු ගොලුවන් ලෙස නිහඬ ය .වෙනත් විදියකට කිව හොත්, අර්ජුන් මහේන්ද්‍රන්  පට්ට හොරා  සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කරන්නාක් මෙන් නිහඬය ! කෙසේ වෙතත්, අනෙක් දෙන්නා  මත සියල්ල පටවා තමා සුද්ද සුදනා වීමට මුලින් ම ක්‍රියා කලේ අන් කිසිවකු නොව ඔය මහින්ද ම ය. ඒ, රාජ්‍ය  ආයතන පිළිබඳ ජනාධිපති කොමිසමේ දී අයිටීඑන් රූපවාහිනියට  මුදල් නොගෙවීමේ කරුණ  මතු වූ විට ය. එහි දී එම කොමිසමේ නිර්දේශය වූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය ජීවිත කාලයට ම අහෝසි කළ යුතු බව ය! පළාත් පාලන මැතිවරණ සමයේ දෙතුන් වරක් මෙම කරුණ ගැන කියැවුණත් , ඒ ගැන දිගින් දිගට  සඳහන් කිරීමෙන් වැළකීමට සියලු ම වර්ගයේ මැති ඇමතියන් එකඟතාවකට  පැමිණ   ඇතිවාක් මෙනි! මන්ද යත්, එය ක්‍රියාත්මක වුව හොත් ,මේ රොත්ත බුරුත්තට ම කෙළ  වී යාම අනිවාර්ය  හෙයිනි.

නිව්යෝක් ටයිම්ස් අනාවරණයෙන් වඩත් ම කුලප්පු වී ඇත්තේ  ඊනියා  නිල් බලකායේ අසමසම නායක නාමල් රාජපක්ෂ  යි. දැන් ඔහු 2016 අමෙරිකන් ආණ්ඩුවේ වාර්තාවක් ගෙන හැර පාමින් , සිය විරුද්ධ වාදීන් ඇමරිකාවෙන්  ලබා ගත් මුදල් ගැන කියන්නට පටන් ගෙන ඇත.අනුන්ගේ හොරකම්  මගින්  තමන්ගේ  සෙලුව වසා ගත නොහැකි  බව මොවුන් දන්නා   නමුත්, ඔවුනට ඇති එක ම පිහිට එය වේ.

 මහරජානන්ගේ සිංහාවලෝකනය

අන්තිමට මහා රජාණන්   කරළියට  පිවිසුණි .    අදාළ   අනාවරණයන් මඩ ප්‍රචාර බැව්, අපේක්ෂා  කළ  හැකි ව තිබූ පරිදි ම ප්‍රකාශ කළ  ඔහු , නිව්යෝක් ටයිම්ස් පුවත් පතට එරෙහි ව නඩු පවරන බවට  වාගා  ඩම්බරයෙන් යුතු ව සිංහාවලෝකනය කලේ ය.

කිසිදු හරිහමන් නඩුවකට පෙනී සිට නැති මහින්ද- නාමල්- උදය ගම්මන්පිල වැන්නන්, නීති පොත් කන්දරාවක් ලියා ඇති නමුදු කිසි ම නඩුවකට කොහෙත් ම  පෙනී සිට නැති ජී.එල් .පීරිස් පිරිවරා ගෙන නිව්යෝක් ටයිම්ස් පුවත් පතට එරෙහි ව ” සියවසේ මහා ජාත්‍යන්තර  නඩුව” මෙහෙයවා, පෙර කල ”රට බේරා ගත් ” පරිදි මෙවර ඇමරිකාව හොම්බෙන් යවන අන්දම බලා ගැනීමට පුල පුලා බලා සිටි පොහොට්ටුවේ මෝඩ රාළලා  රොත්ත  හොම්බෙන් යවමින්, ඊට ‘දිනකට පසු  මහින්ද මහරජු වැඩ වදාලේ  , තමන් නඩු පවරන්නේ  එම පත්‍රයට නො ව, එම පුවත පළ  කළ  මෙරට මාධ්‍යවලට බව ය.

එතැනින්  නොනැවතුණ  ඔහු, තමාට ඇමරිකාවේ ඡන්ද නැති නිසා  එසේ කරන බව ද කියා සිටියේ  , තමාගේ සියලු කටයුතු මෙහෙයවෙන්නේ ඡන්දය බලා ගෙන ය  යන්න යළිත් තහවුරු කරමිනි ! මුල දී එම පුවත්පතට එරෙහිව  ඩොනල්ඩ් ට්‍රම්ප් ව සිය ‘සහයට ඩැනී” කර ගත් ගෝටා සහ මහින්ද , ට්‍රම්ප්ගේ ද සහය ලබා ගෙන එම පුවත් පත හොම්බෙන් යැවීමේ  මේ  අනගි අවස්ථාව  මඟ හැර  ගියේ ඇයිද යනු අමුතුවෙන්  අටුවා ටීකා ඇතිව විස්තර කළ යුතු නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු නිව්යෝක් ටයිම්ස්  පුවත්පතට  පමණක් නොව තමාට සම්පූර්ණ යෙන් ම පක්ෂපාතී නොවන සියලු මාධ්‍යයන්ට එරෙහිව යුද වැද ඇති , මාධ්‍යයන් වෙනුවට ට්විටර් පණිවුඩ පාවිච්චි  කරන අමුම අමු මාධ්‍ය විරෝධියෙකි. මාධ්‍ය  ගිනි තැබූ, මාධ්‍යවේදීන් මරා දැමූ සහ ඔවුන් ට ශරීරිකව පහර දුන් උන්නැහේලා ට්‍රම්ප් අධමයා  පිටුපස සැඟවීම පුදුමයට කරුණ ක් නො වේ; අතිශයින් ම ස්වාභාවික ය.

හොරකමේ ප්‍රතිමූර්තිය   

සිය මැතිවරණ කටයුතු උදෙසා මෙලෙස මුදල් අවභාවිතයේ යෙදීම  හෝ යොදා ගැනීමට සැලසුම් කිරීම මහින්ද සම්බන්ධයෙන් ගත් කල රහසක් නො වේ. හෙල්පින් හම්බන්තොට සිද්ධියේ දී අප දුටුවේ , සුනාමිය වැනි මහා    ව්‍යසනයක දී  පවා සිත් පිත් නැති ලෙස එම කටයුත්තේ  නිරත වීමට ඔහු පමණක් නො ව එම පවුල ම පසුබට නොවන අයුරු ය. එදත්, අතට අසු වූ පසු අදාළ මුදල  ගෙවා  දමා  ජාම් බේරා  ගත්තේ, ඩී.ඒ . රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සඳහා  රාජ්‍ය මුදල් අවභාවිත කර අතට ම අසුවූ විට , නිදහසට කරුණ ලෙස එය දැන් ආපසු ගෙවා ඇත  යනුවෙන් ප්‍රකාශ කරන පරිදි ම ය.

මුදල් සංඛ්‍යාව  අනුව වඩත් ම විශාල ම හොරකම  මහ බැංකු මගඩිය හෝ  අන් මගඩියක්  හෝ විය හැකි නමුදු ,  හොරකමේ සම්පූර්ණ ධාරිතාව   අනුව මහින්දගේ ක්‍රියාවට    අලගු තියන්නටවත්  ඒවාට බැරි ය. මන්ද යත්, ඔහු හොරකම් කිරීමට මාන බැලුවේ මුලු ශ්‍රි ලංකාවේ ම ජනාධිපතිකම වූ බැවිනි.

නිව්යෝක් ටයිම්ස් ලිපියේ කරුණු  ඇත්ත වුවත් නැතත්, හන්දියක් හන්දියක් ගානේ රීරි යකා  සයිස් පොස්ටර් ගසමින් ඔහු ගෙන ගිය  යෝධ  මැතිවරණ ව්‍යපාරය වැන්නක් ගෙන යාමට ඩොලර් මිලියන  7.6කුත් මදි බැව් අමුතුවෙන් නොකිවමනා ය .

අදාළ කරුණු සම්බන්ධයෙන්  කරුණු විමසීමට තමා ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව  එම මාධ්‍යවේදිනිය කියා සිටින අතර එය බොරුවකැයි මහින්ද නොකිය යි. ඇගේ වාර්තාව බොරු නම්, කරුණු  සහිත ව  එම පුවත් පතට ලියා  දැන්වීමට තවමත් ඔහුට හැකි ය. මේ කිසිවක් ඔහු නො කරයි.

සියලු හොරකම් හෙළිකර ගැනීමට නම්……

නිව්යෝක් ටයිම්ස් හෝ අන් කිසිදු ධනපති පුවත් පතක්, සියලු කරුණුවල දී සම්පූර්ණයෙන් ම සත්‍යවාදී නො වේ. එහෙත් ඒවායේ පළ වන හැම කරුණක් ම  අසත්‍යයැයි ඉන් අදහස් වන්නේ ද නැත. යූඇන්පී  හොර ඔස්තාර්ලා  මෙය අල්ලා  ගෙන ලොව දෙවනත් කරන්නේ, මහ බැංකු මගඩියේ දී  තමන් අතට ම මාට්ටු වීමෙන් වූ වින්නැහියෙන් ගැලවීමේ ක්‍රමයක් ලෙස පමණී.

විජයකලා සම්බන්ධයෙන් පට පට ගා  විනය පියවර ගත්  යූඇන්පීය, රවි කරුණානායක- සේනසිංහ යනාදීන් සම්බන්ධයෙන් මොන ම විනය පියවරක් ගත්තේ නැත;  ගන්නේත්   නැත. ඒ වෙනුවට, එය  රවි කරුණානායක පක්ෂයේ  උප සභාපති තනතුරට පවා පත් කර  ගත්තේ ය.

ඒඅනුව,  මෙම කරුණින් සහ එයට දැක්වෙන ප්‍රතිචාර  මගින් දෙකොටසට ම ගැලවීමක් නැත. මෙය රටේ ජනතාව සතුවිය යුතු මුදල් වන හෙයින්  සිදුවූයේ  කුමක්දැයි  රටේ ජනතාව දැන ගත යුතු ය; එහෙත් සම්පූර්ණ  සත්‍යය  මේ දෙපාර්ශ්වය ම ජනතාවගෙන් සඟවනු ඇත.ජනාධිපති කොමිෂන් පත් කළත් , ඒවායේ පිටු  සඟවා  හෝ සම්පූර්ණ  සත්‍යය යටපත් කරන අන්දම මහ බැංකු කොමිෂන් වාර්තාවට අත් වූ කලදසාවෙන් සියල්ලෝ ම දුටහ.

නිව්යෝක් ට්යිම්ස්  පුවත්පතේ පළ වූ ලිපියට  අදාළ   සම්පූර්ණ සත්‍යය හෙළි  කරන්නැයි  බල කර  සිටින අතර ම, සියලු හොරකමක්ම හෙළි කර ගැනීමට සහ එවන් දේ වළකාලීමේ සැබෑ නිශ්චිත   ක්‍රියාමාර්ග සකසා ගැනීමට, ප්‍රධාන  ධනේශ්වර ගුබ්බෑයම් තුන ම බලයෙන් පහ කිරීමේ ක්‍රිය මාර්ගයක් සකසා ගැනීම හැර අන් විකල්පයක් ජනතාවට  නොමැත.

ටී. අන්ද්‍රාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *