විශ්වාසය මුළුමනින්ම පලුදු වීමට පෙර, ජනපති වෙතට . . . .

කරුණු කාරණා කෙසේ වුවත් ඔබට ආමන්ත්‍රණය කරන්නට ලැබීම සතුටකි.  මෙය ඔබේ නෙත ගැටෙනු ඇතැයි කිසිදු විශ්වාසයක් මා තුළ නොමැති වුවත් නොලියාම බැරි ය.

ඔබ ජපානයේ රැස්වීමක් අමතනු සමාජ ජාලා වල පළවු පින්තූරයක් ඔස්සේ දුටිමි. ඒ සමගම ඇස ගැටුනේ ඔබේ රැස්වීමේ ඉදිරිපෙළ අසුනේ ගලබොඩ අත්තේ ඥානසාර හිමි අසුන් ගෙන සිටීමයි. එහි අරුමයක් තිබේ දැයි ඔබ අසනු ඇත. ඔව්! එහි අරුමයක් තිබේ. ඔබ සබඳතා පවත්වා ගත යුත්තේ හා නොකළ යුත්තේ කා සමගදැයි තීරණය කිරිමේ අයිතිය ඔබ සතු ය. එහෙත් මනුලොව නරයකුගේ ප්‍රශ්නයකදී ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය රත් වන්නා සේ ඔබගේ සමහර සබඳතා නිසා රත් වන්නේ අපි ය.

සබන් කී විට සන්ලයිට් ද , සෙරෙප්පු කී විට බාටා ද , දන්තාලේප කී විට සිග්නල් ද මතක් වන්නා සේ ඥානසාර හිමි කී විට මතක් ‍වෙන්නේම අලුත්ගම බේරුවල ඛේදවාචකය යි, එකම රටක ජිවත්වන ජන කොට්ඨාශ‍යන් දෙකඩ කිරිමේ මිලේච්ඡ ව්‍යායාමය යි , වෛරය හා හිංසනය මුසු වු ජාතිවාදය යි.  ඔබ හා ඥානසාර හිමි එකම සභාවක අසුන් ගැනිමේ අපට ඇති ගැටලුව  ජාතිවාදි පිළිල පෝෂණය වීමයි .

2015 – මැතිවරණයේදි පොදු අපේක්ෂකයා වු ඔබ සමග සිට ගත්, උතුරේත් දකුණේත් බහුතර පිරිසක් තවමත් එම මතය නියෝජනය කරන වග ඔබ නොදන්නවා යැයි සිතමි. බහුතර ප්‍රජාවකගේ සහාය ඔබට ලැබුණේ  ඇයි දැයි යන්න නැවත මතක් කරන්නට සිතුනේ,  අමතක වීමේ බරපතළ රෝගයකින් ඔබ ඇතුළු මේ ආණ්ඩුව ‍පෙළෙන නිසා ය.  ඔබ ජනපතිවරණය හමුවේ රට වෙත තැබු පොරොන්දු පත්‍රයේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමත් ඇති වග සිහි තබා ගන්න. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට බාලගිරි දෝෂය වැළදිම නිසා සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණයේ පැමිණිම අද නොව හෙට ය.

වැදුම් ගෙයි දෝෂයක්

මහනුවර මුසල්මානුවනට යුක්තිය ඉටු කිරිම වෙනුවෙන් කොමිෂන් සභා පිහිටුවීමට ඔබ ගත් පියවර අගය කරමි.  ඒත් මේ කොමිෂන් සභා පත් කිරිම වු කලි යුක්තිය මග හරිමින් හැංගිමුුත්තම් කරන්නට අවකාශ සලසා දීමක් නොවන්නේ ද? අද වෙනකල් රටේ ආගමික හෝ වාර්ගික වෛරය වැපිරවුවන්ගෙන් නඩු අසා හිර ගෙට යැවුවේ මහසෝනා පමණි. ඔබේ දේශපාලන ගමනට කුළුදු‍ලේ ආශිර්වාදය එක්කරන ඥානසාර  හිමි මහාසෝනා බලන්නට හිර ගෙට ගියේ ඔබට කියා දැයි අප නොදනිමු.

සුළුතර ජනතාව කෙරෙහි  මරණ බිය පතුරුවන හා ඔවුන්ගේ දේපළ විනාශ කරන අපරාධකරුවෝ, තවමත් සිංහල බෞද්ධයාගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිති. නීතියේ බලය පාවිච්චි කොට හිංසනය මැඩලීම කළ යුතුව තිබුණත් අපරාධකරුවන් අත් අඩංගුවට  ගැනීම තබා ප්‍රශ්න කිරීමකටවත් ලක් වුනේ නැත. ඔබ ජපන් යන්නට සේම නුවර යන්නටත් තෝරා ගත්තේ දෙමළා හා මුසල්මානුවා මරා දැමීමෙන් සිංහලයාට විමුක්තිය ලැබෙන වග අදහන චීවර ධාරින් ය.

එක අතකින් ඔබ කඳුරට දෙමළ, නැගෙනහිර මුස්ලිම් සේම සංහිඳියාව අගයන සිංහල ඡන්ද ද නැතිකර ගත්තා යැයි මට හැඟේ. අනෙක් අතට වගවීමේ පොරොන්දුව ජනතාව හමුවේ තැබුවත් ජනතාව තවමත් බියෙන් හා සැකයෙනි.  එදා අලුත්ගම ජිවිත හා දේපළ සමග ආණ්ඩුව කෙරෙහි වු විශ්වාසය ද වැළලී ගිය වග ඔබ හොඳින් දන්නවා ඇත. ජනපතිතුමනි,  අද මහනුවර මුසල්මානුවන් ඔබ කෙරෙහි දැක්වු විශ්වාසයත් වැළලී ගිය වග මතක තබා ගන්න. මෙය ඔබ නියෝජනය කරන පක්ෂයේ වැදුම් ගෙයි දෝෂයක් දැයි නොදනිමි.

ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට අනුව මෙම ගැටුම හිතාමතා නිර්මාණය කළ දෙයක් නොව සිංහල බෞද්ධයන්ගේ ක්ෂණික කෝපය නිසා ඇතිවුවක් පමණි. මේ ක්ෂණික කෝපයට හසුව උතුරේත් දකුණේත් තව කෙතරම් ජීවිත හා දේපළ අහිමි වීමට නියමිතදැයි අප නොදත්තෙමු. එහෙයින් රටේ සංහිඳියා යාන්ත්‍රණය ශක්තිමත් කිරිම ඔබේ යුතුකමයි. මන්ද සාමය සංහිඳියාව හැර වෙනත් යෝජනා වලින් අපේ රටට පළක් නැති බැවිනි. අද මරණයට කැපවුන මොවුන් එදා ඔබ වෙනුවෙන් නිරායුධව සටන් වැදුනු වග අමතක නොකරන්නැයි ඉල්ලමි. ඔබ විසින් ගත යුතු තීරණය ගතයුතු මොහොතේ නිසිලෙස නොගැනිමේ ඛේදචාචකය අත්විඳින්නේ ඔවුන් නොවේද? මෛත්‍රි ඔබේ නම වුවත් දේශපාලන වශයෙන්  ඔිනෑවටත් වඩා මෛත්‍රි කිරිමේ ආදිනව මේ වන විටත්  ඔබට නොවැටහෙන්නේ ඇයි?.

සාධාරණ සාමාජය නොපෙනෙන මානයක ය. .

කිසිඳු පුද්ගලයෙක් නීතියේ සුවිශේෂි සංග්‍රහයකට යටත් නොවන අතර ඔහු හෝ ඇය අදහන ආගම, ජාතිය හෝ තනතුර නිසා විශේෂකරණයකට ලක්වීමට ඉඩක් ද නැත.  සැම විටම පුද්ගලික න්‍යාය පත්‍ර වලට ඉහළින් නීතිය තිබිය යුතු ය. දැන් ඔබ මහින්දගේ දේශප්‍රේමි රණවිරු වලප ගයමින් සිටී. රණවිරු පදක්කම් එල්ලාගෙන උසාවි ගියාට නීතියට අනුව නම් කොයි ලොක්කත් එක විය යුතු ය.

රණවිරුවන් උසාවි ගෙන යාමට ඉඩ නොදෙන වගට බෙරිහන් දෙන ඔබට කිව යුත්තක් ඇත. රණ විරුවන් උසාවි දක්වන්නේ ප්‍රභාකරන්ට වෙඩි තිබු නිසා නොව යුද්ධයට මුවාවී කළ නරුමවාදි ක්‍රියා නිසා ය. ශිරන්තිග‍ෙන් කට උත්තර ගැනීමට අදාළ විමර්ශන ආයතන වෙත කැඳවනවා වෙනුවට විමර්ශන නිලධාරින් ශිරන්තිගේ ගේ නිවසට ගියේ, ඇය රූ රැජින තරඟයෙන් ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තිය ගැන සිතා දැයි නොදනිමි.

එපමණක් නොව මහින්දගේ කාලයේ සිදු වු බවට ඔබලා විසින් එල්ල කළ දුෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම උවමනාවට වඩා ප්‍රමා දය.  නීතිය හමුවට ගෙන ආ සිදුවීම් මෙන්ම චෝදනා ගොනු කිරිම් ද ඉතා දුර්වල ය.  මේවා සැලසුම් සහගතව සිදුවන්නේ යැයි  සිතීමට ජනතාවට නීති උපාධියක් අවශ්‍ය නැතැයි සිතමි. අවසන සියලු හොරුන් ශුද්ධවන්ත ය.  අප බලාපොරොත්තු වු නීතියේ ආධිපත්‍යයට යටත්ව සියල්ල සිදුවන සාධාරණ සාමාජය තාමත් ඇත්තේ නොපෙනෙන මානයක ය.

හොරා කෑවත් මහින්දලා රට සංවර්ධනය කරානේ යැයි ඔබව විවෙිචනය කරන පිරිස්  වෙනසක් සොයා ගිය වග මේ මැතිවරණය අපූරුවට පෙන්වා දුන්නේ ය. මහින්ද රජය සංවර්ධනය නාමයෙන් සිදුකළ මත්තල ගුවන් තොටුපළ හා හම්බන්තොට වරාය නිරර්ථක උත්සාහයන් බවත්,  ඉන් විශාල ණය බරක් ඉතිරි වු බවත් අපි පිළිගනිමු. කෙතරම් විවේචන තිබුණත් එදා සංවර්ධනය නාමයෙන් යමක් තිබු බව නොපිළිගැනීමට බැරි ය. කඩිනම් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරිමෙන් පමණක් එය වෙනස් කළ හැකි හැකි වග ඔබේ ආර්ථික උපදේශකයන්ට නොවැටහෙන්නේ ඇයි? අනෙක් අතට ඔබේ ආණ්ඩුව විසින් සිදුකරන බොහෝ සංවර්ධන ව්‍යාපෘති කිසිඳු මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරණය නොවීමේ වගකීම ඇත්තේ කාට ද?

සම්මුතික ආණ්ඩුව යනු මෙරට දේශපාලනයේ දියුණුතම අවස්ථාවකි.  ඔබත් – අගමැතිත් පොරොන්දු වු පරිදි රට ගොඩනැගීම ඉදිරි වසර දෙක තුළ සිදු කළ යුතුව ඇත. නැතිනම් 2020 යළි පාර කැපෙන්නේ ග්‍රෝතික යුගයකට යි.

පසුගිය මැතිවරණයේදී මහින්ද සිය පවුල් බලය තහවුරු කර ගත් බව කාට කාටත් රහසක් නොවේ. මෙහි ඉලක්කය ආණ්ඩු විරෝධය හෝ විපක්ෂය දිනවීම නොව ඔබේ නායකත්වය අඩපණ කිරිම ය, හුදෙක්  මෛත්‍රි විරෝධය රටට පෙන්වීම ය. මේ ඔබේ වගකීම වන්නේ සම්මුතික ආණ්ඩුවේ සාර්ථකභාවය පෙන්වීම හැර වෙන කුමක් ද?

තැල්ල බඳින්නත් බෙල්ල තිබිය යුතු ය. ..

මේ අවස්ථාව යළි ඉතිහාසයේ කිසි දිනෙක නොලැබෙනු ඇත. සිදු කළ යුතුව ඇත්තේ අගමැතිගේ කකුලෙන් ඇදීම නොව අර්බුදය විසඳා ගෙන ඉදිරියට යෑම ය.  එසේ නොකර යම් ලෙසකින් රටට විනයක් ව පැවත් දුෂ්ට බලවේග වලට යළි රට අත්පත් කර ගැනීමට මෙවලම් සැපයුවොත් පනතා ජයග්‍රහණය ආපස්සට පාවා දුන් ජනපතිවරයෙක් ලෙස ඔබ ඉතිහාසයට එක්වෙනු ඇත.

මහින්දගේ වරදට සමාව දී යළි එක්වන්න ඔබට සිතුනේදැයි මා නොදනිමි.  කෙසේ හෝ මහින්දගේ දේශපාලනය නැවත ස්ථාපිත වුවා නම් ඔබේ ආණ්ඩුවට විරුද්ධව අධිකරණයේ ඉක්මනින් නඩු ඇසෙනු ඇත. ඔබ කී පරිදිම ඔබට සිදුවන්නේ අඩි හයක් යට වැළලෙන්ට ය.  ඔබගේ අවශ්‍යතාව මුදුන්පත් කර ඔබව  ශක්තිමත් කිරිමට අවංකව පෙනී සිටින ශ්‍රී ල නි පයේ  සුළු පිරිසට සිදුවන්නේ මහ උළු ගෙදර යාමට ය. අපේ රටේ පුරවැසියන්ටත් එහි අරුමයක් තියෙන්නට බැරි ය. ඔවුන් හදවතින් සොයන්නේ  තමන්ව පාලනය කරන පාලකයෙකි. මහින්දට තමන්ගේ මතය හා උවමනාව පමණක් පුරවැසියාගේ මතය හා උවමනාව බවට පත් කිරීමේ අපූරූ හැකියාවක් ඇත. එමෙන්ම වහකුප්පි ගෙන මාධ්‍යය හරඔ පෑ බොහෝ  සංචාරක පක්ෂින්ට පැත්ත මාරු කිරිමට ගතවන්නේ මිනිත්තුවකටත් අඩු කාලයකි.  ඒ නිසා ජනපතිතුමනි, කරුණාකර වටහා ගන්න! තැල්ල බඳින්නත් බෙල්ල තිබිය යුතු ය.

ඔබ මිනිස් හැඟිම් හඳුනන සරල මිනිසෙක් බව අප තුළ වු විශ්වාසය මුළුමනින්ම පලුදු වී ගොස් නැත. වඩා දියුණු සමාජ ක්‍රමයක අත්දැකිය හැකි නිදහස් අදහස් පළ කිරිමේ හැකියාව අපට ලැබී ඇති බැවින් අප මෙසේ ලියන්නෙමු. පෝදදල ජයන්තගේ අතපය කැඩුවා සේ,  කීත් නොයාර් පහර කෑවා සේ , ප්‍රගීත් එක්කැළිගොඩ සහ තරාකී මියගියාසේ දැන් කාගේවත් අතපය කැඩෙන්නේ වත් මියයන්නේ වත් නැත. ඇරඔුම හොඳ  ය. කැපුවත් කොළ -කැපුවත්  නිල් ලෙස මෝඩ චූන් දේශපාලන සංස්කෘතියක්  ශ්‍රී ලංකාවට තව දුරටත් අවශ්‍ය නැත. අපට අවශ්‍යව ඇත්තේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂීතවු ජාතින් අතර විශ්වාසය ‍හා අනොන්‍ය ගරුත්වය තහවුරු වු සමෘද්ධිමත් රටකි. හැට දෙලක්ෂයක් ඡන්දය දුන්නේ 2020ට පෙර තනි තනිව ආණ්ඩු හැදීමට නොව සම්මුතිවාදි ආණ්ඩුව පවත්වා ගැනීමට ය. දිය යටින් ගින්දර ගෙන යාමෙන් සිදු වන්නේ 2015 ජනවරම අනතුරේ වැටීමයි.

සිදු කළ යුතුව ඇත්තේ අගමැති පැන්නීම සඳහා කුමන්ත්‍රණ කිරිමවත් තනි තටුවෙන් පියාඔන්න ගණන් හැදිම වත් නොවේ. අගමැති හා එක්ව ඔබ ජනතා හමුවේ තැබු පොරොන්දු ආරක්ෂා කිරිම ය. ඒ සඳහා තවමත් ප්‍රමාද නැත.

නිරෝෂා ඇන්තනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *