රනිල් දුටු , මහා පරාක්‍රමබාහුගේ  කුරුඳු

මහා පරක්‍රමබාහු  පරාක්‍රම සමුද්‍රය  තැනුවේ  කලුතර ප්‍රදේශයේ කුරුඳු  වගකොට ඒවා  අපනයනය  කළ ආදායමෙන් බව , වික්‍රමබාහුගේ නවතම නායක අගමැති රනිල් වික්‍රමසිංහ  මැතිසඳ මෑතක  දෙසා  වදාරනු අපි දුටිමු. ආනෝල්ඩ් ටොයින්බිට පසු පහළ වූ මේ මහා ඉතිහාස විශාරදයා මීට කලෙකට  ඉහතදී ද පස්යොදුන් රට ගැන මෙවැනි ම සොයා ගැනීමක් කළ  නමුත්, එයට ඊට ම උචිත වූ සමච්චලය හැර, අන් කිසිවක් නොලැබුණි.

ඔහුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ  අර්ජුන් මහෙන්ද්‍රන්  නමැති පට්ට හොරා සොයා දීම  වුවත්, හැට හුටාමාරක් වැඩ අස්සේ  එතුමා  කර  ඇත්තේ ඔහු සොයා යාම නො ව ,මහා පරාක්‍රමබාහු රජුගේ කුරුඳු වගාවේ සුලමුල සොයා ශත වර්ෂ අටක් ආපස්සට  යාම ය.

අයිටීඑන්  රූපවාහිනියේ මඩ විශේෂාංගයක අවසන එන ප්‍රකාශයක්  අනුව කිව හොත් “සෙස්ස  පස්සට ” තබා ඇත.

මහා  පක්ෂ  ප්‍රතිසංවිධානයක්  කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබූ එතුමා ඉතිහාසය විෂයෙහිලා  කර  තිබෙන මේ සොයා ගැනීම සුලුපටු නො වේ. මන්ද යත්   මහා පරක්‍රමබාහුගේ කුරුඳු  වගාව හෝ ඒවායේ අපනයයේ ප්‍රමාණය  හෝ  කිසි ම  මූලාශ්‍රයක නොදැක්වෙන හෙයිනි.

චූලවංශයේ වීරයා වන මහා පරාක්‍රමබාහු වෙනුවෙන් පරිච්ඡේද ගණනාවක් ඇතත් ඒ  කිසිවක එවැන්නක් සඳහන්  නො වේ. සියලු ම මූලාශ්‍රයන් විශ්ලේෂණය  කරමින්  මහාචාර්ය  අමරදාස  ලියනගමගේ විසින් රචිත  “මධ්‍ය කාලීන ලංකා ඉතිහාසය ” නමැති කෘතියේ  එවැන්නක් ගැන නොදැක්වෙන අතර එහි කියා ඇත්තේ  එකල පැවතියේ ඒකබෝග ආර්ථිකයක් බව ය.

” පොලොන්නරු  යුගය  ” නමින් තිසර ප්‍රකාශකයන් විසින් ප්‍රකාශිත, ප්‍රධාන පෙලේ විද්වතුන් 12 කගේ ලිපි අඩංගු ග්‍රන්ථයේ කිසි ම තැනක  එ වැන්නක් සඳහන් නො වේ. මහා පරාක්‍රමබාහු සමය පිළිබඳ ව පමණක් නො ව, කුරුඳු  වගාව පමණ ක්  නො ව , ලන්දේසි යුගයේ දී එය ආර්ථිකයේ දැරූ අතිශය වැදගත් තැන පිළිබඳ  ව ද සෑහෙන විස්තරයක් කරන  මහාචාර්ය කේ.එම්.ද සිල්වාගේ  A History of Sri Lanka නමැති කෘතියේ  හෝ එවැන්නක් නැත. ( එහි 6 වෙනි සහ 12 වෙනි පරිච්චේද  බලන්න.)

කෙසේ වෙතත් ඉතිහාස විශාරදයන්ට වුව වැරදිය හැක. රනිල් වික්‍රමසිංහ  අදාළ  කරුණ  අනාවරණය කර ගත්තේ  ස්වයම්භූඤාණයෙන්  නො වේ නම් , එය සොයා ගත් මූලාශ්‍රය  හෙළි  කළ  යුතු ය. පරක්‍රමබාහුට පසු බලයට පත් නිශ්ශංකමල්ල  රජුට , ඒ වන විට පැවති අතිශය දැවැන්ත බදු අඩු කිරීමට සිදුවීමේ කරුණ අනුව , පරාක්‍රමබාහුගේ දැවැන්ත වාරි කර්මාන්ත  සඳහා මුදල් ලබා ගැනීමේ  මූලාශ්‍රය මහා පරිමාණ කුරුඳු වගාව සහ අපනයනය නො ව මහා පරිමාණ බදු බව පැහදිලි ය.

තමාගේ ආණ්ඩුවේ මහා පරිමාණ  බදු සාධාරණීකරණය කර ගැනීමේ කූට චේතනාවෙන් මෙම කතාව ඇද බෑවේ නැති නම්, තමාගේ එම  සොයා ගැනීමේ මූලශ්‍රය හෙළි  කොට ඉතිහාස විශාරදයන්ට ආධාර කිරීම අගමැති වශයෙන් ඔහු කළ  යුතුම ය.  එසේ නොමැති නම් මෙවන් බේගල් ඇද බෑමෙන් වැළකිය යුතු ය.

ටී. අන්ද්‍රාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *