මඤ්ඤන් නිදහස් මාධ්‍ය හා කූට ව්‍යාපාර

රාජ්‍ය පාලනයෙන් මිදී ස්වාධීන වූ විට, ජන මාධ්‍ය , වෙනම රාජ්‍යයක්  නොහොත් රාජ්‍ය පාලනයේ සිව්වන මණ්ඩලය (Fourth estate) වන බවට වූ සංකල්පයක් ඇත. ඒ අනුව ජන මතය ගොඩ නැංවීමේ දී ජනමාධ්‍යයන්ට ඇති බලය  බලගතු බවට වූ පිළිගත් විශ්වාසයක් පවතී.

ජන මතය හැසසිරවීමේ ලා බලගතු බලයක් ජනමාධ්‍ය සතුව ඇතැයි විශ්වාස කරන්නන් අතර, මාධ්‍යවේදීන් , මාධ්‍ය හිමිකරුවන් මෙන්ම පාලකයෝ ද සිටිති.

ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ වැරදි විදිහට අවබෝධ කර ගත් පාලකයන් මෙන්ම, මාධ්‍යකරුවන් හා මාධ්‍ය හිමිකරුවන් සිටින කල, ප්‍රකාශන නිදහස පිළිබඳව ගැටළු මතු වන බව ඓතිහාසික සිද්ධීන්ගෙන් මෙන්ම, වර්තමානයේ දිග හැරෙන සිද්ධීන්ගෙන් පැහැදිලිව දැක ගත හැක.

ඓතිහාසික සිද්ධි ගැන සිහි කිරීම පසෙක තබා මෑතකදී සිදු වූ සිදුවීමක් ගෙන , ඊට පාලකයන් සහ ජනමාධ්‍ය  ප්‍රතිචාර දැක්වූ අයුරු සියුම්ව පරීක්ෂා කිරීම වටී.

තිරසර සංවර්ධන, ව්නජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නමගිය අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන් සමඟ , පවත්වාගෙන ගිය සබඳ තාවයක් පිළිබඳව , නෙත් එෆ් එම් ප්‍රවෘත්තියක් පළ කොට තිබිණ. එම ප්‍රවෘත්තිය ඉවත් කරන ලෙස අමාත්‍යවරයා විසින් අදාල මාධ්‍ය ආයතනයේ  ප්‍රවෘත්ති කළමනාකරුට තර්ජනයක් සිදු කර ඇති බවට ද ප්‍රවෘත්තියක පළ විය.

අමාත්‍යවරයා  එවැනි තර්ජනයක් සිදු කර ඇත්නම්, එය බරපතල වරදකි. එය වරදක් වන්නේ තවෙකුකට තර්ජනය කිරීමට කිසිවෙකුටවත් අයිතියක් නැති නිසාය. මාධ්‍ය මගින් එල්ල වන විවේචන විඳ දරා ගැනීමට තරම් අධ්‍යාත්මික පෝෂණයක් නැති පාලකයෝ  ඒවාට එරෙහිව අවි අමෝරාගෙන එන බව ලෝකය පුරාම දැකිය හැක.

අමාත්‍යවරයා එවැනි ක්‍රියාවක් සිදු කොට ඇත්නම් ඊට එරෙහිව හඬ නැගීම සාධාරණය. අමාත්‍යවරයා ගේ මෙම ක්‍රියාව නිදහස් මාධ්‍යයට සිදුවූ ” මාරාන්තික ප්‍රහාරයක් ” ලෙස සලකා  “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ” මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි කරුණු ගණනාවක් මතු කර ඇත. අමාත්‍යවරයාගේ මෙම තර්ජනය, මාධ්‍ය වෘත්තිය කටයුතු නිදහසේ කර ගෙන යෑම සඳහා  මාධ්‍ය ආයතනයක් සතු අයිතියට කරන ලද අයුතු බලපෑමක් නිසා, එය තරයේ කෙළා දකින බව සඳහන් කර ඇත.

නෙත් එෆ් එම් හි මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔවුන්ට එල්ලවන චෝදනා කෙරෙහි අවධානය යොමු කොට, නිවැරදි වීම නෙත් එෆ් එම් ආයතනය සතු වගකීමක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තීරණය කොට ඇත.

සාවධ්‍ය තොරතුරු ඇතුලත් ප්‍රවෘත්තියක් නිවැරදි කර ගැනීමට , ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකුට තිබෙන බව පවසන  “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය” මාධ්‍යවේදීන්ට පදනම් විරහිතව චෝදනා කිරීම හා තර්ජනය කිරීම මෙරට මාධ්‍ය නිදහසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ප්‍රබල අනතුරක් බවද කියා ඇත.

සරත් ෆොන්සේකා සැබැවින්ම තර්ජනයක් සිදු කොට ඇත්නම් ,  එය මාධ්‍ය නිදහසට  හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ප්‍රබල අනතුරක් ලෙස දැකීම වරදක් නැත. එහෙත් තර්ජනය කිරීමෙන් නො නැවතී අත පය කඩා දැමීම්, පහරදීම්, අතුරුදහන් කිරීම් සහ ඝාතනය කිරීම් සිදු කරමින් මාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශය ප්‍රබල අනතුරු සිදු කළ සිද්ධීන් කොතරම් තිබුණිද යන්න පිළිබඳව ” නිදහස් මාධ්‍ය ව්‍යාපාරය” ට දැන් අමතකය. මතක් වුවත් එය වෙන්නේ වසරකට එක් වරක් බැගින් පමණය. ඒ  ඔවුන්ව අතුරුදහන් කළ හෝ ඝාතනය කළ දිනය සිහිකරන විට පමණය.

ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, පෝද්දලට ප්‍රහාර එල්ල කිරීම, කීත් නොයාර්ට හා උපාලි තෙන්නකෝන්ට එල්ල කළ ප්‍රහාර, ” සිරස” ගිණි තැබීම,  ” සියත “ට ක්ලේමෝ ගැසීම, උදයන් කාර්‍යාලය ගිණි තැබීම වැනි මාධ්‍ය නිදහසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ ප්‍රබල අනතුරු කළ වුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කර ගෙන ඒවාට සාධාරණය ඉටු කරවා ගැනීම පිළිබඳව නිදහස් මාධ්‍ය වෙනුවෙන් හඬ නගන මහත්වරුන්ගේ හඬ නිහඬය. මේවා ගැන උකටලීව සිටින මේ මහත්වරුන් ෆොන්සේකා විසින් සිදු කළා යැයි කියන තර්ජනය ගැන වහාම මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පශ්චත්භාගය කඩාගත් සතුන් මෙන් මෙලෝ විකාරයක් නැතිව දඟලන විට  ඔවුන් ගැන ඇතිවන්නේ හාස්‍යයකි.

නෙත් එෆ් එම් හි මාධ්‍ය භාවිතාව පිළිබඳව අවධානය යොමු කොට නිවැරදි වීම ඔවුන් විසින්ම සිදු කළ යුතු බවට උපදේශන ලබා දෙන      ” නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ”  නෙත් එෆ් එම් නමැති මාධ්‍ය ආයතනය මගින් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායන්ට පමණක් නොව ආචාර ධර්ම වලට ද පටහැනිව  සිදු කරන අශික්කිත ක්‍රියාවන් ගැන  අඳ, ගොළු , බිහිරි පිලිවෙතක් අනුගමනය කිරීමට ප්‍රවේශම් වී තිබීම හාස්‍ය උපදවන්නකි.

ප්‍රවෘත්ති සම්ප්‍රේක්ෂණයේදී සත්‍යවාදී බව සහ අපක්ෂපාතීත්වයත්, අදහස් පළ කිරීමේදී අවංක භාවය හා නිර්මලත්වයත් මාධ්‍ය විසින් සහතික කරනු ඇතැයි අපෙක්ෂා කරයි. නිශ්චිත සදාචාරාත්මක වගකීම් සපුරාලීමට මාධ්‍ය අනිවාර්යෙන්ම බැඳී සිටී. එය එසේ වන්නේ තොරතුරු සන්නිවේදනය යනු අවශ්‍යයෙන්ම  සදාචාරාත්මක වගකීමෙන් යුක්ත වූවක් නිසා වෙනි.

රාජපක්ෂ සමයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 ක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ විට , එම ඝාතනය සාධාරණීය කරමින් , ඝාතකයන් වීරයන් බවට පත් කරමින් ඔවුන්ගේ සුජාතභාවය ආරාක්ෂා කිරීම වෙනුවෙන් මාධ්‍ය, වෛශ‍ය සේවයේ යෙදවූ නෙත් එෆ් එම්  නාටකය පිළිබඳව කටක් ඇරීමට මාධ්‍යයේ නිදහස ගැන කෑ මොර දෙන මහත්වරුන්ට මෙතෙක් හැකි වී නැත.

එසේම නෙත් එෆ් එම් ආයතනය විසින් ප්‍රචාරය කරන වැඩසටහන් වලට දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගන්නා ඇතැම් ස්ත්‍රීන්ව එම මාධ්‍ය ආයතනයට රැගෙන විත්,  ඔවුන්ව ලිංගික දූෂණයට ලක් කොට ඔවුන්ගෙන් මුදල් ලබා ගත් මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා තිරිසනුන්ට එරෙහිව පොලිස් පැමිණිලි ඉදිරිපත් වන විට හෝ එම පැමිණිලි සමථ මණ්ඩලවල හා අධිකරණය ඉදිරියේ විභාග වන විට හෝ ඒ ගැන ඇස් ඇර බැලීමටවත් මාධ්‍ය නිදහස ගැන කෑ මොර දෙන මේ මහත්වරුන්ට මෙතෙක් හැකි වී නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව මෑතක පටන් කෙතරම් දේශපාලන විවේචන තිබුණ ද , ඔහුගේ ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් අනතුරුව සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය  ශක්තිමත් වූ බව කුහක කමින් තොරව සිතන ඕනෑම පුද්ගලයෙකුට පිලිගත හැකි කරුණකි.

රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ ඔවුන්ට එරෙහිව පුවතක් පළකිරීමට තියා ඔවුන්ගේ නමක් සඳහන් කරගන්නටවත් බියවී  බීප්.. බීප්.. හඬ යොදා ගෙන ප්‍රවෘත්ති විකාශනය කළ මාධ්‍යකරුවෝ සහ මාධ්‍ය හිමිකරුවෝ අද ආණ්ඩුව හා ආණ්ඩු කරන්නන්ව විවේචනය කරන්නේ බඩ පිනුම් ගසමින්ය.

පසුගියදා පැවැති කළු ගඟ ජලාසයේ දිය රැඳවුම් මංගල්‍යට  එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, වත්මන් නිදහස් මාධ්‍යයේ අශික්කිත හැසිරීම පිළිබඳව සිහිපත් කරන්නට යෙදුනි. රාජපක්ෂ යුගයේ දත කට පූට්ටුවී , හතර ඝාතයෙන් වැටී සිට, අද බඩ පිනුම් ගසමින් රිලා නැටුමේ යෙදී සිටින මාධ්‍ය හිකනැලුන්ට හා මාධ්‍ය මුදලාලිලාට ජනාධිපතිවරයා පැවසුවේ, ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු හලන්නට සූදානම් නොවන ලෙසය.

මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගත හොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත හැකි යැයි එදා පැවැති මතය අද වනවිට අංශක 360 කින් අනෙක් පැත්තට කැරකී ගොස් ඇති බව වත්මන් මාධ්‍ය හැසිරීමෙන් මේ වන විට ඔප්පු කොට හමාරය. මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රීය සමාජයට මුහුණදීමට සිදු වී ඇති ප්‍රධාන ගැටළුව වන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවාද? එසේ නැතහොත් මාධ්‍යයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්නවාද ? යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමටය.

මඤ්ඤන් වූ නිදහස් මාධ්‍ය හා ඒවා සමඟ ගැට ගැසී තිබෙන ව්‍යාපාරවල හෙළුව සමාජය හමුවේ නිරාවරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේම කොටසක් බවට පත්වෙමින් තිබෙන බව දැන් දැන් පසක් වෙමින් තිබේ.

( පළමු කොටස )

සුනිල් ගාමිණී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *