ගෝඨා – මෛත්‍රී ඝාතන සැලසුම, මෛත්‍රී – මහින්ද නාඩගමේ ජවනිකාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස භෞතීෂ්ම කිරීමට නියමිත ගෝඨාභය රජපක්ෂ ඝාතනය කිරීමට කුමණ්ත්‍රණයක් ක්‍රියාත්මක බව නාමල් කුමාරයෙකු පසුගිය දා දෙසා බා තිබුණි.

නාමල් කුමාර යනු, මහසෝන් බලකාය නමැති අන්ත ජාතිවාදී පාදඩ සංවිධානයට අනුබද්ධිතව පිහිටුවා ගත් දූෂණ විරෝධී බලකාය නමැති අට මගලයේ නිර්මාතෘ බව ඔහුම කියා ගනී.

මහින්ද රාජපක්ෂ ප්‍රධාන  දූෂිතයන් , මිනීමරුවන් හා කම්බ හොරුන්ගෙන් සමන්විත ‘ පොහොට්ටුව ‘  ආරක්ෂා කර ගැනීම සඳහා උදේ සිට මැදියම් රෑ වෙන තුරු හොරණෑ පිඹින ‘ දෙරණ ‘ , ‘ හිරු ‘ සහ ‘ දිවයින’ නමැති පස් පඩංගු මාධ්‍යයට හා ඒකාබද්ධ උන්මත්තකයන්ට හැරුණු විට මෙකී  ඝාතන කුමන්ත්‍රණ ” අතේ රෝල ” පිලිබඳව  කිසිදු උනන්දුවක් හෝ වික්ෂිප්තභාවයක්  රටේ සාමාන්‍ය ජනතාව තුළ තවමත් ඇතිවී නැත.

නාඩගමේ මුල් ජවනිකා

තත්ත්වය එසේ වුවත්, මෙම ඝාතන කුමන්ත්‍රණය නමැති ” අතේ රෝල” පිටුපස ඇති දේශපාලන අරමුණ කුමක් ද යන්න පිලිබඳව රටේ ජනතාව නිවැරදිව හඳුනා ගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එකී කටයුත්ත පහසු කිරීම උදෙසා මේ නාඩගමේ මුල් ජවනිකා පෙළ නැවතත් සීරුවෙන් සිහිපත් කරගත යුතුය.

බරපතල වංචා හා දූෂණ කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අධිකරණය හමුවට පැමිණ වූ විට, හිටි හැටියේම පෙරේතයෙක් පොලවේ ගැසුවාක් මෙන් පරල වූ ජනාධිපති සිරිසේන, එම ක්‍රියාව දැඩි ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ,  සුදු වෑන් සංස්කෘතියේ පියා වූ ගෝඨාභය  රාජපක්ෂව මහා රණවිරුවකු බවට බෞතීෂ්ම කළ හැටි කිසිවෙකුට අමතක විය නොහැක.

අගමැතිවරයා රටේ නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා සිදු කළ මෙම නින්දිත ප්‍රහාරය  හමුවේ තම ආත්මගරුත්වය රැක ගැනිම උදෙසා අදාල තනතුර අතහැර  දිල්රුක්ෂි මහත්මියට  නිහඩවීමට සිදුවිය.

පළාත් පාලන මැතිවරණයේදී මහ බැංකු සිද්ධිය අල්ලාගෙන යූ ඇන් පී ය ප්‍රසිද්ධියේ පතුරු ගැසූ සිරිසේනට, අවසානයේදී සිදු වූයේ සිය ඡන්ද ප්‍රතිශතය සියයට 4 ක් වැනි කුජීත මට්ටමකට බස්සවා ගැනීමටය. ඉන් අනතුරුව ශ්‍රී ල නි ප ය තුළ  ” 16  කල්ලිය ” නිර්මාණය කොට ඔවුන් ලවා අනාගත ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් කිරීමටත්, ඒ වෙනුවෙන් ඔවුන්ට ප්‍රසිද්ධියේ පෙනීසිටීමට ඇති අයිතිය තහවුරු කිරීමටත් ජනාධිපති සිරිසේන ක්‍රියා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව බල්ලට දමමින්ය.

තමා රටේ නොසිටින මොහොතක ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමට සූදානමක් ඇති හෙයින් කඩිනමින් රටින් පිටවී යන ලෙස ජනාධිපති සිරිසේන විසින් ගෝඨාභය රාජපක්ෂට දන්වා තිබුණි.

සිරිසේන හා ගෝඨාභය අතර පැවැති මෙකී හොර ඩීල් එක ජනතාව ඉදිරියේ හෙළි වූයේ , සිරිසේනගේම හෙංචයියෙකු වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේශප්‍රියගේ වාචාල කට නිසා ය.

ඇමරිකාවට මාරු වී සිටි ගෝඨාභය නැවත ලංකාවට පැමිණි විගස, මුළු ලෝකයම තුෂ්නිම්භූතවන අරුම පුදුම නියොගයක් වන තමන්ව අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලන  නියොගයක් ලබා ගත්තේ ද , ඉහළම පන්තියේ ඩීල් එකක් හරහා බව සැඟවිය නොහැක.

අධිකරණයේ දූෂිත විනිසුරුවන් බහුතරයකගේ ක්‍රියා කලාපය හේතුවෙන් , රාජපක්ෂ යුගයේ දූෂිතයන්ට එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා ස්ථාපිතවූ විශේෂ අධිකරණයයේ නඩු ඇසීම ආරම්භවීමත් සමඟ, රාජපක්ෂවාදීන් මෙන්ම සිරිසේනගේ සෙවනේ සිටින ඇතැම් හොරුන් ද පසුගිය දිනවල බොහෝ කලබල වී සිටිනු අයුරු දක්නට ලැබුණි.

අතේ රෝලේ සැබෑ අරමුණ

රාජපක්ෂලාගේ රාජ්‍ය උරුමක්කාරයා වූ නාමල් බේබි, සංවිධානය කර, කොළඹ වටලා ආණ්ඩු බලය ඇල්ලීමට  දියත් කළ ” ජනබල  මෙහෙයුම ” ද කුජීත වී නන්නත්තාර වීමෙන් රාජපක්ෂලාට ඇති සැබෑ ශක්තිය කුමක්දැයි රාජපක්ෂලාට පමණක් නොව සිරිසේනලාටද මනා ලෙස අවබෝධ විය.

ජනාධිපති සිරිසේනව හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව ඝාතනය  කිරීමේ කුමණ්ත්‍රණයක් ඇති බවට වූ මහා සොයා ගැනීම එළියට පනින්නේ ඉහතකී ජවනිකා ගණනාවක් රඟ දැක්වීමෙන් අනතුරුවය.

රටේ සමස්ථ ජනයාගේම ඇඟ කිලිපොලා යනු ඇති බවට තක්සේරු කර , හිටි හැටියේම කල එළි බැස්සවූ ඝාතන කුමන්ත්‍රණ ” අතේ රෝල ” සමාජගත කිරීමට යොදාගෙන ඇත්තේද නාමල් කුමාරයෙකි.

අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර නමැති “ඇහින්දාස්” කෙනෙකු යොදාගෙන සිරිසේන හා ගෝඨාභය ගැන ජනයා තුළ අනුකම්පාව ඇති කිරීමත්, ආණ්ඩුව කෙරෙහි විරෝධාකල්පයක් ඇති කිරීමත්,  මෙම ඝාතන කුමණ්ත්‍රණ ” අතේ රෝලේ ” මුඛ්‍ය පරමාර්ථය වන්නට පුලුවන. එහෙත් මෙහි සැබෑ පරමාර්ථය හා අරමුණ ඊට ඉඳුරාම වෙනස් බව ඉහත ජවනිකා පෙල සමඟ පහත සිද්ධීන් ගලපා බැලීමෙන් අවබෝධ කර ගත හැක.

නාමල් කුමාර දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයක නිර්මාතෘය. වරකාපොල ප්‍රදේශයේ කසිප්පු කාරයන්ට එරෙහිව ආරම්භවන මෙම බලකායේ නාමල් කුමාර, 2017 ජූලි 02 දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්නේ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවකට විරුද්ධවය.

පොහොය දිනවල මත්පැන් හල් විවෘත කර තැබිය යුතුය යන්න මංගල ගෙනා යෝජනාවය.  නාමල්ගේ උපවාසය පැවැත්වූ දින රාත්‍රී 10 වන විට ජනාධිපති සිරිසේනගේ නියෝජිතයෙකු උපවාසකරුට දැනුම් දී ඇත්තේ ජනාධිපතිතුමා බලයේ සිටින තාක් කල් මංගලගේ යෝජනාව යථාර්තයක් වෙන්නට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා පැවසූ බවය.

නියෝජිතයාගේ ප්‍රකාශය අනුව ජනාධිපතිවරයා පිලිබඳ පූර්ණ විශ්වාසයක් තැබූ නාමල් කුමාරයා ක්ෂණිකව උපවාසය අත් හැරීය.

ජනාධිපති කෙරෙහි විශ්වාසය තැබූ නාමල් එතැන් පටන් ජනාධිපති යටතේ පවතින මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට සහභාගී වී ඇත.

ජාතිවාදියා ජාතිවාදයට එරෙහිවීම

මේ අතරතුර ප්‍රංශයේ ජීවත් වන සිංහල ඩයස්පෝරාවේ කටයුතු කරන තුෂාර පීරිස් යන පුද්ගලයෙකු නාමල් කුමාර හා දුර්කථනයෙන් සම්බන්ධ වී කුළුපගකමක් ඇතිකර ගෙන ඇත.  කුළුපග කම කොතෙක්ද යත්, ලංකාවේ සිටින මුස්ලිම්වරුන්ට හා දෙමළ ජාතිකයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක්  නැගෙන හිර ප්‍රදේශයෙන් ගොඩ නැගීමට අවශ්‍ය අවි ආයුධ, බෝට්ටු මගින් සැපයීමටද  තුෂාර පීරිස් විසින් නාමල්ට පොරොන්දු වී ඇත.

නාමල් කුමාර, පොලිස්පති පූජිත් ජයසුන්දරව හඳුනා ගන්නේ , ප්‍රංශයේ තුෂාර පීරිස් සන්නද්ධ ව්‍යාපාරය ගොඩ නැගීම පිලිබඳව කියූ රහස් පිලිබඳව ඔත්තු සැප යීමට ක්‍රියා කළ මොහොතේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමණ්ත්‍රණය සිදු කළ බවට නාමල් කුමාර විසින් චෝදනා කර ඇති,  ත්‍රස්ත විමර්ෂන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව නාමල් කුමාර හඳුනා ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ මාර්ගයෙන්ය.

නාලක සිල්වා හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ ඉල්ලිම පරිදි නාමල් කුමාර, බැරෑරුම් කොන්ත්‍රාත් කිහිපයක් ද සිදු කොට ඇත.

රෝහින්යා අනාතයින් පිරිසක් මෙරටට පැමිණි අවස්ථාවේ ඔවුන්ව රටින් පිටිවහල් කරන තුරු අධිකරණ නියෝගයක් මත රඳවා තබා සිටි මොහොතක එම ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී ප්‍රහාර එල්ල කළ අරඹේපොල රතනසාර, චින්තක සංජීව, ඩෑන් ප්‍රියසාද් හා ජනිත මීපගේ යන අයව අත්අඩංගුවට ගැනීම සඳහා

ත්‍රස්ත විමර්ෂණ අංශයට ඔත්තු සපයා ඇත්තේ ද නාමල් කුමාරය. ඒ සඳහා ඔහු පොලීසියෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් කුලී වශයෙන් ලබා ගෙන ඇත.

නාමල් කුමාරගේ දෙවැනි වික්‍රමය සිදු කොට ඇත්තේ දිගන දී මුස්ලිම් ප්‍රහාරය සිදු කළ මහසෝන් බලකායේ අමිත් වීරසිංහව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට ඔත්තු සපයමිනි. ඒ වෙනුවෙනුත් නාමල් කුමාර රුපියල් ලක්ෂ දෙකහමාරක් පොලීසියෙන් ලබා ගෙන තිබේ.

විශ්මයට කරුණ නම් නාමල් කුමාරගේ දූෂණ විරෝධී බලකාය හැදී තිබෙන්නේ ද නාමල් විසින් පොලීසියට පාවා දුන් අමිත් වීරසිංහ නායකත්වය දරන මහසෝන් බලකායට අනුබද්ධව වීමය. නාමල් විසින් පොලීසියට පාවා දුන් සියල්ලෝම නාමල්ගේ ගජ මිතුරන්ය.

නාමල්ගේ හැව ඇරීම

තමන්ගේම සගයන් පොලීසියට අල්ලා දුන් නාමල්, කලක් නිහඬව සිට , තමාට එම මුදල් ගැනීමට මාර්ගය පාදා දුන් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව , ජනපති හා ගෝඨාභය ඝතනය කිරීමට සැලසුම් කරනවා යන චෝදනාවක්  හිටි හැටියේම එල්ල කොට ඇත.

මාකඳුරේ මදූෂ් නමැති පාතාල සාමාජිකයා මාර්ගයෙන් සිදු කිරීමට නියමිත මෙම ඝාතනය , නාලක සිල්වා විසින් සැලසුම් කර තිබූ බවට නාමල් කුමාර මාධ්‍යයට පැවසුවද ,ඒ පිලිබඳව වූ කිසිදු සාක්ෂියක් සහිත හඬ පටයක් ඔහු විසින් තවමත් මාධ්‍යයකට ඉදිරිපත් කොට නැත.

මෙකී චෝදනා සියල්ල නාලක සිල්වා විසින් ප්‍රතික්ෂේප කළ තත්ත්වයක් තුළ , පොලිස්පතිවරයා මේ සම්බන්ධ පරීක්ෂණය පොලිස් විශේෂ විමර්ෂන ඒකකයට පැවරුවේ පසුගිය 13 වැනිදාය. එහෙත් කඩිනමින් ඊට එරෙහිව මැදිහත් වූ ජනාධිපතිවරයා එකී පරීකෂණය එතැනින් ඉවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පැවරුවේ සැක සංකාවක් ද මතුකරවන අයුරින්ය.

ගෝඨාභය ජනපති කරවීම වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිවාදී බලවේගයෙන් උපන් නාමල් කුමාර, හිටි හැටියේම එම  ජාතිවාදීන්ටම විරුද්ධව පොලීසියට පාවා දී, කලක් ගත වූ සැනින් තමා සමඟ කුළුපගව සිටි පොලීසියේ ලොක්කා ඉලක්ක කර ගනිමින් ඝාතන කුමණ්ත්‍රණයක් කරළියට ගෙන ආවේ පොලීසියෙන් ගත්තාට වඩා රුපියල් ශත කුට්ටියක් වෙනත් කාගෙන් හෝ ලබා ගැනීම වෙනුවෙන් බව තේරුම් ගැනීමට අංජනම් බැලිය යුතු නැත.

මෙම ඝාතන කුමණ්ත්‍රණය සැබෑවක්ම යැයි සැලකුවද, නි. පොලිස්පතිවරයෙකුගේ කෝණයෙන් බැලූවිට , මේ නාමල් නමැති ඇහින්දාස්ගේ තර්කවල  ඇති ගොබ්බ බව අවබෝධ කර ගැනීම අපහසු නොවේ.

රටක ජනාධිපතිවරයෙකු හා හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ පොලිස් ලොක්කෙකු, එකී සැලසුම තමන්ගේම සගයන් රුපියල් ශත වලට පාවා දෙන නාමල් වැනි ගොබ්බයෙකුට ප්‍රකාශ කරාවිද යන්න  පියවි සිහියෙන් කලපනා කළ යුතු කරුණකි.

නාමල් කියන පරිදි මෙතරම් සූක්ෂම සැලසුමක් පොලිස් ලොක්කෙකු විසින් දුරකථනය මාර්ගයෙන් විස්තර කරයි නම් , එවැනි පොලිස් ලොක්කෙකු ලංකාවේ සිටිය නොහැක. මහ බැංකු බැඳුම්කර සිද්ධියේ දී අර්ජුන් ඇලෝසියෙස් සමග දුරකථන සංවාද කළ දේශපාලනඥයන් රොත්තේ පැටිකිරිය එලිදරව් වී ඇති මොහොතක ලංකාවේ පොලීසියේ ලොක්කෙකු නාමල් වැනි ගොබ්බයෙකු සමඟ මෙතරම් භයානක ඝාතන සැලසුමක් ගැන දුරකථනයෙන් පැහැදිලි කරයි නම් එවැනි පොලිස් ලොක්කෙකු සිටිය යුත්තේ පොලීසියේ නොව අංගොඩ මානසික රෝහලේ විය යුතු

 

මුට්ටිය දැමීමේ කලාව

අනෙක් අතට සිරිසේනව සහ ගෝඨාභයව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ මඩකලපුවේදිය. ඝාතනයේ වගකීම කොටි සංවිධානයට පැටවීම පොලිස් ලොක්කාගේ බලාපොරොත්තුව බවද නාමල් කියයි.

මෙයින් ගම්‍යවන කාරණය නම් සිරිසේන සහ ගෝඨාභය ජෝඩු දමා මඩකලපු යන බව පොලිස් ලොක්කා දැන ගෙන සිටින බවකි. සිරිසේනලා සහ රාජපක්ෂලා අතර රහසිගත ඩීල් ඇති බව රටේ ජනතාව නොදන්නවාට පොලිස් ලොක්කන් හොඳින් දන්නා බව මේ  ඝාතන හෙළිදරව්වෙන්  අනාවරණය වෙයි.

ජනපති – ගෝඨා කුමන්ත්‍රණ කතාව ” අතේ රෝලක් ” වුවත්,  එමගින් සමස්ථ සමාජයම හිරිවට්ටා, සිරිසේන – මහින්ද පූට්ටුව නැවත ඇති කොට , ඉදිරි ජනාධිපතිවරණයේදී සිරිසේන ජනාධිපති බවටත්, අගමැතිධූරය මහින්දට ලබා ගැනීමටත් සමාජ කැමැත්තක් නිර්මානය කර ගැනීම සඳහා  මෙය මුට්ටිය දමා බැලීමක් බව පැහැදිලිය.

මහින්ද රාජපක්ෂගේ සහෝදරයාගේ අවමගුලට සහභාගී වු ජනාධිපති සිරිසේන, තමන් සමඟ ගිය ලසන්ත අලගියවන්න ඇමැතිවරයාටවත් ඇතුලට එන්නට ඉඩ නොදී දොර ජනෙල් අගුලු දමා ගෙන පැය ගණනක් මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන තුන්කට්ටුව සමඟ  පැවැත්වූ රහස් සාකච්ඡාව මෙකී ඝාතන කුමන්ත්‍රණ  ” අතේ රෝලේ ” උප්පත්තිය සිදුවූ අවස්ථාවද විය හැක.

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගනිමින් හමුදාවට අණ කිරීමේ බලයට අමතරව පොලීසිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමේ වුවමනාවක් ද සිරිසේන ජනාධිපතිවරයාට තිබෙන්න ට පුළුවන.

ඒ අනුව ඝාතන කුමන්ත්‍රණ ” අතේ රෝලෙන් ” කුරුල්ලන් දෙන්නෙක්වම බිම දමා ගැනිමට රාජපක්ෂලා මෙන්ම සිරිසේනලාත් උත්සාහ දරනු ඇත.

 

සුනිල් ගාමිණී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *