කෝන්දුරු සෙනෙහසේ සිට මන්නා ඔසවන සිවුරු දක්වා….

 මන්නය තියෙන්නේ කොස් කොටන්නදැයි අසන්නේ ලියුම්කාරිය නොවේ. මෙය බුද්ධපුත්‍රයෙක් යැයි කියාගන්නෙකු විසින් සිංහල බෞද්ධ ජනයා වෙත යොමුකළ ප්‍රශ්නයකි.   පාදක වු ස්ථානය මහනුවර බල ප්‍රදේශයයි. මා පවසන්නට යන්නේ කුමක්දැයි පිළිබඳව අටුවා ටීකා අවශ්‍ය නැතයි සිතමි. දැනටමත් ඔබ වටහාගෙන ඇති බවට සැකයක් නැත.

යම්කිසි රටක පුරවැසියෙක් එරට නීතිය විසින් අනුමැති කර ඇති සාර ධර්මයන්ට පටහැනි යමක් සිදුකළ හොත්, එකී  නීති පද්ධතිය ප්‍රකාරව ඔහුට හෝ ඇයට දඬුවම් ලබාදිය යුතු ය. ඒ සඳහා ජන වර්ගය, ඔවුන් අදහන ආගම, පන්තිය හෝ ස්ත්‍රි පුරුෂ බව ආදි නිලීන සාධකයන් කොහෙත්ම වැදගත් වන්නේ නැත. පසුගිය දා තෙල්දෙණිය ප්‍රදේශයේ දී සිව්දෙනෙකු විසින් අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන ලදි.  ලංකාවේ නීති පද්ධතියට අනුව  මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ විට නිර්ණය කර ඇති දඩුවම ඝාතකයන්ට හිමි විය යුතුම ය . ඒ පිළිබඳ ව කිසිම විවාදයක් නැත. ගැටලුව ඇත්තේ නීතිය තමන්ගේ අතට ගෙන රටක ජනවර්ගයක් පෙති ගැසිම පිණිස එරටේම තවත් ජනවර්ගයක් මෙහෙයවීම තුළ ය. අප දන්නා ලාංකිකයා මන්නය භාවිත කරන්නේ පොල්ලෙලි ගැසීම, දර කැපීම, කොස්, දෙල් කැපීම, ගහක අතතක් කැපීම වැනි කාර්යයන් උදෙසායි. සමාවන්න හාමුදුරුවනේ, මන්නයෙන් මිනිස්සු පෙති ගැසීමට අප දන්නේ නැත.

අපේ ගම් පළාතේ අවුරුද්දට කැවුම් පිළියෙළ කරන විට කෝන්දුරුවන් වෙනුවෙන් කැවුමක් වෙන් කරනු මා දැක තිබේ. මා කුඩා කළ ආච්චි අම්මාගෙන් එසේ කරන්නේ ඇයි දැයි ඇසු විට ඇය පැවසුවේ කෝන්දුරුවන් කැවුම් කන්න ආස බවත් ඇගේ අම්මාත් එසේ කරනු තමන් දැක ඇති  බවත් ය. ඇසට නොපෙනෙන කෝන්දුරුවාටත් සෙනෙහස දැක්වු මිනිසුන් වු අපි තවත් එබඳුම මිනිසුන් කොටසක් මන්නයකින් පෙති ගැසිමට පෙළ ගැස්සවීම කෙතරම් ඛේදවාචකයක් ද? මන්නය තියෙන්නේ කොස් කොටන්නටදැයි මහ ඉහළින් ගර්ජනා කළ භික්ෂුව, සිවුරක් ඇඟ වටා එතූ පමණින් භික්ෂුවක් වේද?  සිවුරක්, ලෝගුවක්, ජුබිබාවක් ඇඳි පමණින් නීතියේ ආධිපත්‍යය අතට ගත හැකි බව සඳහන් වෙන්නේ කවර ව්‍යවස්ථාවේද? විනයගරුක සංඝ සමාජයක් පවත්වාගෙන යාම උදෙසා ගරු කටයුතු භික්ෂුන් වහන්සේලා අවැසිය. එසේ නොවුවහොත් මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව ගහකොළ සතා සිව්පාවාටත් මෛත්‍රි කරන්නට ඉගැන්වු බුදුන් වහන්සේටද සිදුවන්නේ අවමානයකි. ධර්මය සහ එම ධර්මයේ හරයන්ට වින කරන්නේ අනෙත් ආගම් නොව ආගමේ නාමයෙන් පිස්සු කෙළින අන්තවාදින් ය.

ජාතික සමගිය පසෙකලා ජාතින් අතර වෛරය අවුලුවමින් ජාතිවාදයට අවකාශ සලසා දෙන කවරකු වුවත් ඒ රටට කරන්නේ අතිවිශාල පරිහානියකි. මෙවැනි අවස්ථාවකදී ආගමික නායකයන්ගේ කාර්යය භාරය‍ විය යුත්තේ මුසල්මානුවා පෙති ගැසීමට මන්න සෙවීම නොව මිනිස් හදවත් වල ඇවිලවු ගින්න නිවිමට ක්‍රියාත්මක වීමයි. නැවත සමාවන්න අපේ හාමුදුරුවනේ,  ඔබ වහන්සේලාට නැති ගිහියන් වන අපිට ඇති දහසක් ජිවන ප්‍රශ්න වලින් හා පවුල් ආරවුල් වලින් හෙම්බත් වී ඉන්නා අපි ඔබ වහන්සේලා තුළින් බලාපොරොත්තු වන්නේ හිත නිවා ගැනීමට බුදු බණ පදයක් හෝ අවවාදයක් විනා කමාන්ඩර් කෙනෙකු ‍නොවේ. සියලු මුසල්මානුවන් පෙති ගැසීම, දෙමළා මරා දැමීම හා දේවස්ථාන විනාශ කිරිම සිදු කරන්නේ බුදු දහමේ පැවත්ම උදෙසා යැයි ජනමතයක් නිර්මාණය කිරීම ආනන්තරිය පාපකර්මයක් නොවන්නේදැයි ඔබ සිතන්න. ශ්‍රද්ධාව වු කලි ප්‍රචණ්ඩත්වය හා  මිනිමැරීම ලෙසට අර්ථ ගැන්වෙමින් පැවතීම සමාජයක පරිහාණිය විනා අන් කවරක්ද? ජාතියේ සහ ආගමේ නාමයෙන් අනෙකාගේ  හිස් කබල හෝ පපුකුහරය සිදුරු කරන්නට තුවක්කු වලට පිරිත් පැන් ඉසින, පිරිත් නුල් ගැට ගහන භික්ෂුන් වහන්සේලා සිටින රටක මීට වඩා යමක් බලාපොරොත්තු වීම වරදක් යැයි මට සිතේ. අනෙකා මරා දමමින් හෝ මරණ භීතිය අවුඵවාලමින් පීඩාවට පත්කිරිම තුළ තමන් සංතෘප්ත වීම පරපීඩක කාමුකත්වයේ ලක්ෂණයක්  බව කියනනේ මා නොව මනෝ විද්‍යාවේ පියා වන සිග්මන් ෆ්‍රොයිඩි ය.

මේ නීරස කතාවේ තවත් සොඳුරු පැතිකඩක් තිබේ. ඒ සමස්ත ශ්‍රි ලාංකිය ජනතාවගේම හදවත් තුළ සදා අංජලිකරණියවු සැබෑ බුද්ධ පුත්‍රයන්  හමුවීම පිළිබඳවයි. ඝාතනයට ලක්වු ලොරි රථ රියදුරාගේ ගමේ භික්ෂුන් වහන්සේ සමස්ත ජනතාවගේම ගෞරවයට පාත්‍ර විය යුතුම ය. උන් වහන්සේට අවශ්‍ය නම් බොහෝ පහසුවෙන් ගම අවුඵවන්නට තිබිණි, මාධ්‍යය හා මිනිසුන් ඉදිරියේ දැවන්ත ප්‍රතිරූපයක් මවන්නට හැකියාව තිබිණි. එහෙත් සැබෑවටම බුද්ධ පුත්‍රයෙක් යනු කවරෙක්දැයි උන්වහන්සේ නිහඬව එහෙත් ගැඔුරින් ජනතාවගේ හදවත් වලට පෙන්වා දුන් වග සතුටින් සඳහන් කරමි.  එමෙන්ම සිංහල අන්තවාදින් විසින්  ගිනිබත් කළාවු මුස්ලිම් ජනතාවගේ  කඩසාප්පු එක රැයින් ප්‍රතිසංස්කරණය කිරිමට නායකත්වය දුන් සැබෑ බුද්ධ පුත්‍රයන් පිළිබඳව ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් අසන්නට ලැබිණි.  අවසගව හුස්ම අදින අපේ හදවත් වලට යළි ප්‍රාණ වායුව පිමිබාවු ගරු කටයුතු හාමුදුරුවනේ… ඔබ වහන්සේලා මුස්ලිම් ජනතාවගේ  පමණක් නොව අප හැමගේම හදවත් තුළ සදා අංජලිකරණිය වන වග ලියා තබන්නේ බුදුන් වහන්සේ දෑසින් දුටුවා සේ භක්තියෙනි. මහනුවර, අකුරණ, අලුත්ගම ආදි ප්‍රදේශවල සිංහල බෞද්ධයන්ගෙන් මුස්ලිම් දේවස්ථාන ආරක්ෂා කිරිමට එඩිතර වු භික්ෂුන් වහන්සේලා ලෝකයටම ආදර්ශයකි. සිංහ ලේ විසින් ඉවකළ මරක්ක ලේ  සංරක්ෂණය කරමින්  මනුසත් ලේ වල වටිනාකම පෙන්වා දුන් ඔබ වහන්සේලා  සිරිමා බෝධිය තරමටම සිසිලස යැයි පැවසිම අතිශයෝක්තියක් නොවේ.

 

මේ කතාවේ අනෙක් අපුරූ පැතිකඩ වන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවයි. සාමය සහ ආරක්ෂාව පතා බොහෝ මුස්ලිම්වරුන් මේ ආණ්ඩුව පත්කර ගැනීමට ඡනදය දුන් බව නොරහසකි. දකුණ විසින් බිල්ලෙකු කොට මවා ඇති උතුරේත්, උතුර විසින් මුරුගයෙක් සේ දකින දකුණේත් බොහෝ පිරිසක් සිරිසේන ජනාධිපති කරවනු වස් ඡන්දය භාවිතා කළහ. අන්තවාදය විසින් නැවතත් රටේ යුද්ධයක් ප්‍රතිනිර්මාණය කරද්දි යහපාලන මැති ඇමතිලා කවුරුත් මහනුවරට ගියේ නැත. රනිල්ගේ දේශපාලනය සමග  එකඟද නැද්ද යන්න වෙනම කතාවක් වුවත් රනිල් ජාතිවාදියෙකු නොවන වග බහුතරයකගේ විශ්වාසයයි. එහෙත් ඔහු ප්‍රමුඛ ආණ්ඩුවටත් මහනුවර මතක් වුයේ සියල්ල සිදු වී අවසන් වුවාට පසුවයි.  කතාව දෝලාවෙන් ගමන පයින් සේ ආණ්ඩුවේ සංහිඳියා කතන්දර සියල්ල මහනුවරදී දියාරු වී ගියේ ය. ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය, සංහිඳියා කාර්යාංශ රූපවාහිනිය බලමින්  අනේ අපොයි කීවාදැයි නොදනිමි. ගුණත් නැති අගුණත් නැති පතෝල වන් මේ ආණ්ඩුව නොමිලේ විහිඵ සපයමින් සිටින බව නම් පැහැදිලි ය. දොම්පෙට යන පාර ඇසු මගියාට ගමයා උත්තර දුන්නාසේ කිරිඇල්ල කියන්නේත් වෙනමම කතාවකි.

කිසිම පර්යේෂකයෙකු, වෛද්‍යවරයෙකු හෝ නිෂ්පාදකයෙකු විසින් සොයා නොගත් වඳ පෙත්තෙන් අම්පාර ඇවිලෙද්දි සෞඛ්‍යය ඇමති රාජිතට මෙහි ඇත්ත නැත්ත පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරන්නට තිබිනි. රාජිතට කියන්නට ඇත්තේ අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පළක් නොවන වග ය.  දියතලාව බස් රථයක් තුළ දී  යුධ හමුදා සාමාජිකයෙක් මගින් අත් බෝම්බයක් පිපිරි ගිය වග අද වන විට රටම දන්නා කරුණකි.  එහෙත් නිසි විමර්ශනයක් සිදු කිරිමට පෙර ඇතම් වෙබ් අඩවි දියතලාවට කොටි ආවායැයි ක්ෂණිකවම පළ කර තිබිනි. ජනාධිපති මාධ්‍යය අංශය මර නින්දේ දැයි මා නොදනිමි. තමා මේ ප්‍රවෘත්තිය දුටුවේ පුවත්පතින් වග කියා ඇඟ බේරා ගන්නට සිරිසේනට අයිතියක් නැත. මන්ද හැට දෙලක්ෂයක ජනතාව  ඔහු ජනපති පුටුවේ අසුන් ගැන්වීමට දර දිය ඇද්දෝ ය. පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා සේ සමාජ ජාලා අවහිර කළ ටිකිරි මොළේ  කාගේදැයි අපට අදාළම නැත. කළ යුතුව තිබුනේ ඒ සමාජ ජාලා වල සැරිසරන වීඩියෝ උපයෝගි කරගෙන අන්තවාදින්  අත්අඩංගුවට ගැනිමයි.  කෙසේ නමුත්  ආණ්ඩුව ඇති පදමට නාගත්තේ ය.

බොරදියේ මාලු බෑමට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද කවදත් චැම්පියන් ය. දීර්ග නින්දකින් පසුව අවදිවු නිදිකුමාරිය සේ  දැන් මාධ්‍යය නිවේදන නිකුත් කළාට පළක් නැත. ඔබතුමා නින්දේ පසුවුවත් අප නම්  සිටියේ අවදියෙනි. අලුත්ගම, බේරුවල ඛේදවාචකයන් තවමත් අපට මතක ය. හෘද සාක්ෂියක් නැති සෑම මනුෂ්‍යයෙක්ම අවසන රිංගන්නේ ආගමේ ගුහාව තුළට ය. මුසල්මානුවාගේ රුධිරයම ඉල්ලා කෑ මොර දෙන ඇතැම් අන්තවාදින් සමග එක්ව මහනුවර මුසල්මානුවන් ගැන කඳුඵ සැලුවාට වැඩක් නැත. පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට යැයි රැඟුම් පෑවාට අප තව දුරටත් අත්පුඩි ගසන්නේ නැත.

අප ජිවත්වන්නේ බහු සංස්කෘතික, බහු ආගමික වටපිටාවක ය. කවර හෝ ආගමික නායකයෙක් මෙම සංස්කෘතික ඒකාබද්ධතාවයට හානි කර ප්‍රකාශ නිකුත් කිරිම තුළ අභියෝගයට ලක්වන්නේ ශ්‍රි ලාංකිය සහජීවනයයි. කාදිනල් තුමා වරෙක එවැනි බහුබූත ප්‍රකාශයක් නිකුත් කළේ ඇයිදැයි දන්නේ එතුමාම පමණි. එතුමා විසින් ශ්‍රී ලාංකාව සිංහල බෞද්ධ රටක් පමණක් වගට ප්‍රකාශ කරද්දි අන්තවාදින් ඔල්වරසන් දුන්නෝය. අපට නම් දුක හිතුණේ කාදිනල් තුමා ගැනය. තමන් ජාතිවාදි නොවුවද අනෙකා ජාතිවාදියෙකු බවට අභිප්‍රේරණය වන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම ශ්‍රි ලාංකිකත්වය ගොඩ නැගීමට ඇති අභියෝගයකි. ශුද්ධ වු බයිබලයේ සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වු දේශයට ජනතාව රැගෙන ගිය බව හා කිරියෙන් පැණියෙන් ඉතිරුණු එම දේශය ජනතාවට බාර දුන් බවයි. නමුත් මෙහි වාසය කළ යුත්තේ නුඔලා පමණක් වගත්, දේශයේ හිමිකම නුඔලාට පමණක් සතු වන බවත් උන්වහන්සේ කීවේ නැත.  අප දන්නා බයිබලයට අනුව නම් එම දේශයේ විජාතිකයන්ද සතුටින් ජීවත් වුහ. මා මෙසේ කියන්නේ යම් කිසි අරගලකාරී අවස්ථාවකදී ඇතම් භික්ෂුන් අන්තවාදින් ලෙස හංවඩු ගසන්නට කලින් අනෙත් ආගමික නායකයන් තම තමන්ගේ වගකිම කුමක්දැයි නිශ්චිතව හඳුනා ගනු පිණිස ය. එසේ නොවුනහොත් ඊ ළඟ වතාවේ මන්නය ඇත්තේ කොස් කොටන්නට නොවන වගට ජනමතයක් නිර්මාණය විය හැකි බවත් අවසන සඳහන් කරමි.

 නිරෝෂා ඇන්තනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *