ඉතිං එන්න… අපි කාන්තා දිනය සමරමු

මාර්තු 08 සමස්ත ලෝක කාන්තා දිනය යි. ශ්‍රි ලංකාවේ අපිත් මහත් උත්කර්ෂයෙන් කාන්තා දිනය සමරන්නෙමු.   මෙවර කාන්තා දිනය වෙනදා මෙන් ඒකාකාරි නොවේ.  අමුතු වෙනසක් තිබේ. මන්ද මෙවර අපි කාන්තා දිනය සමරන්නේ ලක්ෂ සංඛ්‍යාත මුසල්මානු ස්ත්‍රින්ගේ මරණ භීතිය හා ඔවුන්ගේ හි‍තෛෂියන් අහිමි කිරිමේ  ත්‍රිල් එක  තුළිනි. අනෙකාගේ වේදනාව  අපේ සතුට බවට පරිවර්තනය කර ගැනීමේ අපුරු හැකියාව අප තුළ ගොඩ නැගි වසර දහයකටත් වැඩි ය.වේදනාව කදූළ හා මරණ බිය යනාදි සියල්ල සම්පූර්ණ ය. ඉතිං එන්න.  අපි කාන්තා දිනය සමරමු.

ඈත දුරාතීතයේ හේමමාලා කුමරිය විසින් දන්ත ධාතුන් වහන්සේ ලංකාවට ගෙන ආ වග අපි පෙළ පොතින් ඉගෙන ගෙන ඇත්තෙමු. එමෙන්ම කාන්තාවන් වන අපට දන්ත ධාතුන් වහන්යේ අසලට ළගා වීමට නොහැකි වගත් ඒ හා සමගාමීවම අසා ඇත්තෙමු. එයට හේතුව දින 28කට වරක් ශුක්‍රාණුවක් මුණ නොගැසුනු ඩිම්බයක් ගර්භාෂයේ  බිත්ති හා ගැටී රුධිරය ලෙසින් යෝනි මාර්ගයෙන් පිට වීමේ ක්‍රියාවලිය හෙවත් ඔසප් වීම යි. හේමමාලා කුමරිය ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ හෙලිකොප්ටරයකින් නොවේ. මහ මුහුද තරණය කරමින් පැමිණි ඒ දුෂ්කර ගමනට කෙතරම් කාලයක් ගතවුවා දැයි ඉතිහාසය කිසිත් නොකියයි. ඒ අතරතුර කුමරියට ඔසප් නොවුයේදැයි අපි නොදත්තෙමු. ඉතිං එන්න. . . දන්ත ධාතුන් වහන්සේ ගෙන ආවේ අපේ එකියකැයි හඩගා කියමින් අපි කාන්තා දිනය සමරමු.

සංඝමිත්තා තෙරණිය ලංකාවට ගෙන ආවේ කපුටු බෝරුකක් නොව බුදුන් වහන්සේ බුද්ධත්වය පසක් කරගැනිමේ ලා පිට දුන් ඇසතු බෝරුකෙහි දක්ෂිණ ශාඛාව යි. ලෝක වාසි සමස්ත ජනයාගේම ඉමහත් ගෞරවාදරයට පත්වු ශ්‍රි මහා බෝධියේ උඩමඵවට කාන්තාවන් වන අපට යා නොහැකිය හේතුව මසකට වරක් සිදුවෙන ඔසප් වීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය යි. ඉතිං එන්න. . . කාන්තාවක් විසින් ශ්‍රි මහා බෝධිය රැගෙන ආවා යැයි පුරසාරම් කියමින් අපි කාන්තා දිනය සමරමු.

පල්ලියේ ඇත්තේද අමුතු ක්‍රමයකි .පිරිමියෙකුගේ පහස ලබනු තියා ඔවුන් දෙස ඇස් කොණකින් වත් නොබලා මරණ මංචකය දක්වා දෙවියන් වහන්සේගේ නාමයෙන් කන්‍යා භාවය ආරක්ෂා කරන කන්‍යා සොයුරියන්ට දිව්‍ය පුජාව මෙහෙයවීමට දෙවියන් වහන්සේ ඉඩ ලබා දෙන්නේ නැත.අල්තාරයේ  ඔවුන්ට වලංගු වන්නේ එක් කලාපයක් පමණි. කෝවිලේ හෝ දේවාලයේ තත්ත්වයත් එසේමය. වඩාත්ම සුන්දර ඛෙිදවාචකය වන්නේ ඔසප් දිනයන් වලදී දේවතාවියන් ළගට එන්නට ඔවුනුම අනුමැතිය ලබා නොදීමයි. ඉතිං එන්න. . සියලු දෙවි දේවතාවියන්ගේ ආශිර්වාදය ලබාගෙන අපි කාන්තා දිනය සමරමු. එසේම තවත් වැදගත් දෙයක් අමතක නොකළ යුතු මය. එනම් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාරිත්වයට කාන්තාවක් පත්වීම කරණ කොට ගෙන  එකට වැඩ කිරිම අපහසු බවට උරණ වු භික්ෂුන් වහන්සේලාගෙන්ද ආශිර්වාද අත්‍යවශ්‍ය වේ.

දුරස්ථ මගි ප්‍රවාහන සේවා බස් රථවල යන කාන්තාවන්ට මා මේ කියන කාරණය හොඳින් වැටහේ .බස් රථයක තිබිය යුතු ආසන සංඛ්‍යාව හා ආසන අතර පරතරය තීරණය කළ යුත්තේ මගියාගේ පහසුව තකා වුවත් එකී ප්‍රමාණයේ තිරකයා කවුදැයි මා දන්නේ නැත. බස්රථයේ දි කාන්තාවගේ ශරිරය හෝ පශ්චාත් භාගයේ ප්‍රමාණය මනසින් ගණන් බැලිමේදි උත්තේජනය වන පුරුෂ ලිංගයේ සෘජු පීඩනය දරා ගැනීමට කාන්තාවට අනිවාර්යෙන් සිදු වේ. ඒ වග පෙරළා ප්‍රශ්න කරන විට සිදුවන්නේ අපට කාර් එකක් මිලදි ගත යුතු බව හෝ පුරුෂයාගේ සිල්වත් බව ඔහුගේ විවාහ ජිවිතයේ අති සාර්ථකත්වය අසා සිටිමට ය. මෙසේ දිනපතා බස්රථ වලදි පමණක් කාන්තාව මුහුණ දෙන සෘජු හා වක්‍ර ලිංගික හිංසන ප්‍රමාණය ජිවිතයට බස් රථයක නොයන වනිතා කටයුතු ඇමතිලාට වැටහෙන්නේ නැත. අනෙක් අතට කාන්තා දින සැමරුම් පෙළපාළිවල මීටර් 200ක් පමණ වත් අව් කණ්නාඩි නැතිව ඇවිදින්නට නොහැකි මැතිනියන්ට හෝ රාජ්‍ය නොවන කාන්තා සංවිධානවල  නෝනාවරුන්ට අවබෝධයක් තිබේ දැයි මා දන්නේ නැත. ඉතිං අපි ඔවුනු සමග එක්ව චොක්ලට් බ්‍රවුනි කේක් කා මිල්ක් ෂේඩ් බී කාන්තා දිනය සමරමු.

අප ජිවත් වන්නේ කන්‍යාවියයන් සියයක් දුෂණය කර පාටි දමන දේශපාලකයන් විසින් නඩත්තු කරන රටක වග අමතක ‍නොකළ යුතුය. උතුරේ ප්‍රාණ ශරිර සහිතව ශ්‍රි ලංකා හමුදාව වෙත භාර දුන් දරුවන් එනතුරු මග බලා සිටින අම්මලා කරේ බැඳි තැල්ල ගලවන්නේ හෝ නැද්දැයි දෙගිඩියාවෙන් සිටින බිරින්දෑවරු හා අපේක්ෂා සහිත දැස් දල්වමින් මග බලන දැරිවියන්ගේ දෑස් අමතක කර අපි කාන්තා දිනය සමරමු. එදා මෙදා තුර දේශපාලකයන් විසින් උත්කර්ෂයට නංවන ලද යුද්ධයේ අමානුෂිකත්වය හමුවේ ජිවිතය අත්හරින්නට සිදුවු දකුණේ පියවරුන් වෙනුවෙන් හඬා වැටෙන දියණියන්  දහසක් සල්ලාල දෑස් මඟ හරිමින් ජිවිතය ගැට ගහන දිරිය බිරින්දැවරුන් මවිවරුන්ගේ සෝ සුසුම් මැද අපි කාන්තා දිනය සමරමු. යුද්ධයේ නාමයෙන් අතුරුදහන් වු හෝ කළා වු මිනිසුන් වෙනුවෙන් තවමත් නීතියේ සාධාරණත්වය යදින ආදරණිය කාන්තාවන් අතැර අපි කාන්තා දිනය සමරමු.

දරුවා පාසලට ඇතුළත් කර ගැනිමේ නෛතික අයිතිය  විදුහල්පතිතුමා සතු හෙයින් ඔහු අබියස සලුපට අහසට විසිකරන්නට සිදුවන කාන්තාවන් වෙන රටවල කෙසේ වෙතත් අප රටේ නම් හිඟ නැත. එමෙන්ම සේවයේ   උසස්වීම්  හා  ඵලදායිතාව නිර්ණය කරනු වස් ප්‍රධාන සුදුසුකම ලෙස මසම ඉල්ලා සිටින ඉහළ පෙළේ නිලධාරින් පිළිබඳ ඇති පදමට අපි අසා ඇත්තෙමු.  ඔවුන් දේශනයන්   වලට සවන් දෙමින් අපි කාන්තාව පිළිබඳ අවබෝධය ලබා ගනිමු.

තව දෙයක් අවධාරණය කළ යුතු ය.  මෙම ලියුම්කාරියගේ පරමාර්ථය වනුයේ සියලු පුරුෂයන් එකම තලයක ලා විශ්ලේෂණය කොට නිගමන කරා එළඔිම නොවේ. වන සිවුපාවුන් වැනි මිනිසුන් මැදත් දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇති වග  සමස්ත කාන්තාවන්ම දන්නවා ඇත. දෙවි දේවතාවුන් වේගයෙන් ක්ෂය වී යන සමාජයක සිටින කාන්තාවන් වන අපි වන සිවුපාවුන්ට හසු නොවන්නට ඉගෙන ගත යුතු ය.   අතිවිශාල ඵලදායි සමාජ කතිකාවතකින් තොරව අයිසින් තැවරූ කාන්තා දින දහසක්  සැමරුවත් පළක් නොවන වගත් අවසන ලියා තබමි.

 

නිරෝෂා අන්තෝනි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *